Colombo Today Local News

සහරාන්ගේ සොහොයුරා ජාතික රෝහලේදී පොලීසියෙන් බේරුණු හැටි

සහාරන් හෂිම්ගේ සහෝදරයෙකු වු රිල්වාන් හෂිම් පිපිරුමකින් ඇතිවු තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට සැක මතුව තිබු බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකොන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කෙසේවෙතත් ඒ පිළිබඳව රෝහල් පොලීසිය දැනුවත් කළද ඔවුන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් රිල්වාන් හෂිම් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර නොමැති බව ඔහු කොමිසම හමුවේ අනාවරණ කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (12) දිනයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතායි.

සහරාන් හෂීම්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම් 2018 වර්ෂයේ අගෝස්තු 27 වන දින පිපිරීමකින් ඇති වු තුවාල සහිතව රෝහලට ඇතුළත්ව ඇති බව ඇඳ ඉහපත් වාර්තා මඟින් අනාවරණය වූ බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය.

පිපිරුමකින් තුවාල ලැබු රිල්වාන් විසින් එම්.අයි. ෂාහිඩ් ලෙස කොළඹ ජාතික රෝහලට ව්‍යාජ නමකින් ඇතුළත්ව ඇති අතර ඔහුව රෝහලට ඇතුළත් කර ඇත්තේ එම්.අයි. සාදික් නම් දෙල්ගහගොඩ, හිඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එහිදී කොමිසම අධිකරණ වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ රිල්වාන් රෝහල වෙත ඇතුළත් කිරීමේ දී නිරීක්ෂණය වූ තුවාල කවරේද? යන්නයි.

එහිදී ඔහුගේ අත් දෙකෙහි තුවාල සහ ඇඟිලි කිහිපයක් කැඩී වෙන්ව ගොස් තිබූ අතර මුහුණේ වම් ඇසට, නළලේ වම් කොටසටත් තුවාල වී තිබු බව වෛද්‍ය වාර්තාවල සඳහන්ව ඇතැයි අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු රෝහල්ගත කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් අනතුර සිදුවු බවයි.

කෙසේවෙතත් රිල්වාන් පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇඳ ඉහපත් වාර්තාවේ අනතුර සම්බන්ධයෙන් සෑම වෛද්‍ය වාර්තාවකම ප්‍රශ්නාර්ථ ලකුණක් තබා ඇති බවට එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණය වු බව සාක්ෂි ලබාදෙමින් අධිකරණ වෛද්‍යවරයා සඳහන් ක‍ළේය.

එහිදී කොමිසම විමසා සිටියේ මෙවැනි තුවාල ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු විය හැකි ද? යන්නයි.

රිල්වාන්ගේ ශරීරයේ පහළ කොටසේ කිසිඳු තුවාලයක් නොතිබීමෙන්, ඔහු යමක් අත් දෙක හා මුහුණට ඉතා සමීපව තබාගෙන සිටියදී යම් පිපිරීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බව ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමකින් මීට වඩා බරපතල තුවාල ඇති විය හැකි බව ප්‍රකාශ කළ අධිකරණ වෛද්‍යවරයා මෙම අනතුර ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් සිදුවිය නොහැකි බව ප්‍රකාශ කරනු ලැබුවේය.

රිල්වාන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදි මෙවැනි අනතුරකට ලක්වීමට නම් යම්කිසි පුපුරණ ද්‍රවයක් හෝ රසායනික ද්‍රවයක් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේදි ඇති වු පිපිරීමක් සිදු විය යුතුය, යන්න තම නිගමනය බව කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අනතුරුව කොමිසම විසින් රිල්වාන් සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් තුළ ස්වයං ඝාතනයට පෙර සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලැබු වීඩියෝ පටය නිරීක්ෂණය කරමින් රිල්වාන්ගේ ඇඟිලි ප්‍රතිකාර කිරීමේදි ඉවත් කර ඇති ආකාරය සහ ඇසට තුවාල සිදුව ඇති ආකාරය නීරික්ෂණය කරනු ලැබීය.

කොමිසම මෙහිදී අධිකරණ වෛද්‍යවරයාගෙන් විමසා සිටියේ යම්කිසි අවස්ථාවක රිල්වාන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත්ද? යන්නයි.

ඊට “නැත” යන්න පිළිතුර ලබාදුන් අධිකරණ වෛද්‍යවරයා රිල්වාන් ජාතික රෝහලට ඇතුළත් කළ දිනයේ දී “inform police” ලෙස ඇඳ ඉහපත් වාර්තාවේ සටහනක් දමා ඇති බව සඳහන් කළේය.

නැවත කොමිසම විමසා සිටියේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැති හේතුව කුමක් ද? යන්නයි.

එහිදී අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රිල්වාන්ගේ ඇඳ ඉහපත් වාර්තාව නිරීක්ෂණය කිරීමේදි යම්කිසි පුද්ගලයකු දෙමළ වචනවලින් සටහනක් යොදා ඊට යටින් අත්සන් කර ඇති බවයි.

එම දෙමළ වචන පෙළින් අර්ථ ගැන්වෙන්නේ “පොලිස් විමර්ශනයක් අවශ්‍ය නොවන” බවටත් රිල්වාන් රෝහල වෙත ඇතුළත් කළ සාදික් නම් පුද්ගලයා එම අත්සන යොදා ඇති බවත් සඳහන් කළේය.

කෙසේවෙතත් රෝහල් පොලීසිය හරහා රිල්වාන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කළේ නම් මීට වඩා පුළුල්ව පරීක්ෂාවන් සිදුකර තොරතුරු රැසක් අනාවරණ කරගන්නට හැකියාව තිබු බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකොන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ 2018 වර්ෂයේ කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එවක උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළ බන්දුල නානායක්කාර මහතායි.

එහිදී කොමිසම ඔහු‍ගෙන් විමසා සිටියේ එම්.අයි. ෂාහිඩ් සම්බන්ධයෙන් රෝහල් පොලීසිය සිදුකළ රාජකාරිය කුමක්ද? යන්නයි.

කිසිදු රාජකාරියක් සිදු නොකළ බව එවක රෝහල් පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේය.

ජාතික රෝහලේ පොලිස් මුරපොළ මේ අවස්ථාවෙදී කිසිදු වගකීමක් නොමැතිව ක්‍රියාකර ඇති බව තමන්ට වැටහේද යන්න කොමිසම මෙහිදී ඔහුගෙන් විමසා සිටියේය.

එහිදි “ඔව් වැටහෙනවා” යනුවෙන් සාක්ෂි ලබා දුන්නේය.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (13) පෙරවරුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණියේය.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

තිරිගු පිටිවලටත් අපමණ අගයක්.. කිලෝව 7.50 කින් ඉහළට

colombotoday

පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන්ට නුදුරේම නඩු

colombotoday