Colombo Today Local News

විනිසුරුවරුන් හමුවීමට එ.ජා. නියෝජිත කළ ඉල්ලීමට අවස්ථාව නොදිය යුතුව තිබුණා – කථානායක කරූ ජයසූරිය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නයලෙට්සෝසි වොයෙල් මහතා අගවිනිසුරු සහ මහාධිකරණ විනිසුරුවරුන් හමුවීමට කළ ඉල්ලීමට අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරීම නොකළ යුතුව තිබූ බවත්, මෙවැනි දෑ ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගැනීමට තමන් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් බවත් කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් හමුවීමට ඉල්ලා ඇති බවත්, හෙතෙම විශේෂ නඩු කිහිපයක් සම්බන්ධ තොරතුරු විමසා තිබෙන බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසින් පෙරේදා (23 දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් ඊයේ කථානායකවරයා එසේ සඳහන් කළේය.

එම විශේෂ ප‍්‍රකාශය මෙසේය.

ඊයේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් විසින් මතු කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නයලෙට්සෝසි වොයෙල් මහතා හට අගවිනිසුරුතුමා සහ මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සඳහා අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් මා විසින් කරුණු සොයා බැලූවෙමි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අහමඞ් එජාවිඞ් මහතාගේ ඉල්ලීම පරිදි අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බව මා හට දැන ගන්නට ලැබුණි.

මේ පිළිබඳව මාගේ අදහස වනුයේ ද අදාළ නිලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙවැනි අවස්ථාවක් ලබාදීමට කටයුතු කිරීම නොකළ යුතුව තිබූ බවයි.

ඒ අනුව එම අවස්ථාවේදීම අධිකරණ අමාත්‍යතුමියටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්හටත් මෙම කරුණු පිළිබඳව දැනුවත් කොට වහාම සුදුසු පියවර ගන්නා ලෙස දන්වනු ලැබුවෙමි. ඒ අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවීම සිදු නොවුන බව දැන ගතිමි. අතීතයේදී ද මෙබඳු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් අගවිනිසුරුතුමන්ලා සමඟ සුහද හමුවීම් පවත්වා ඇති බව ද දන්වනු කැමැත්තෙමි.

මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡුා කිරීම සඳහා අද දින අධිකරණ අමාත්‍යතුමියත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමාත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඇතුළු නිලධාරීන් මා හමු වූ බවත්, ඉදිරියේදී මෙවැනි දෑ සිදු නොවීමට වගබලා ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

මේ සම්බන්ධව එහිදී පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු ද අදහස් දැක්වූහ.

දිනේෂ් ගුණවර්ධන මහතා – මෙහි ඇති බරපතළකම පිළිගෙන කටයුතු කිරීම ගැන කථානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ස්වාධීන අධිකරණයට ඇඟිලි ගැසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කටයුතු කිරීම ගැන දැන් හෙළි වී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා උසස් නිලතල කමිටුව විසින් පවරන ලද වගකීමක් දැරිය හැකි අයකු ලෙස පත් කරලා තිබෙනවා. දැන් එතුමන් පිළිඅරන් තිබෙනවා. මෙහිදී බරපතළ වරදක් වෙලා තිබෙනවා කියලා. ඔහුගේ උපදෙස් පරිදි අතිරේක ලේකම්වරයා කරන ලද මේ ක‍්‍රියාව ගැන පිටපතක් අපට ලැබිලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නට මේ ස්වාධීන අධිකරණයේ විනිශ්චයකාරවරුන් හා ඔවුන් යටතේ තිබෙන ලිපිගොනුවලට ඇඟිලි ගසන්නට මේ විදේශ නියෝජිතයාට අවස්ථාව ලැබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ ඔබතුමාට දෙන ලද ප‍්‍රතිඥාව කිසි ලෙසකින්වත් සාධාරණ නෑ. වැරැුද්ද කරලා ඉවරයි. මේ වගේ වැරැුද්දක් කරපු නිලධාරියකු එතැනින් ඉවත් කර වෙනත් දෙපාර්තමේන්තුවකට යෑම වැදගත්. නැත්නම් ඔහු පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවන් ගෙන ආ යුතුයි. වහාම ඊට අපට අවස්ථාව දිය යුතුයි.

අජිත් පී. පෙරේරා මහතා – මේ ගැන ක්‍ෂණිකව මැදිහත් වෙලා මෙම තත්ත්වය නිවැරැුදි කරන්න පියවර ගැනීම ගැන ඔබතුමාලට අප ස්තුතිවන්ත වෙනවා.

මෙය රාජ්‍ය ප‍්‍රතිපත්තිය නොවෙයි. මේ නිලධාරීන් හිතුවක්කාරි ලෙස ගන්නා තීන්දුයි මේ. මේ වගේ හිතුවක්කාර පියවර ගැනීම දැන් ඔබතුමා පාලනය කරලා තිබෙනවා.

වාසුදේව නානායක්කාර මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකිවයුතු නිලධාරියකු මේ ඇවිත් තිබෙන්නේ. එතුමාගේ ඉල්ලීමක් මත මේ සාකච්ඡුා ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කළා නම් වැරදියි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගෞරවයෙන් මතක් කළ යුතුයි, අපේ අධිකරණයට ගරු කළ යුතුයි කියලා.

මහින්ද අමරවීර මහතා – මේ කාරණය හෙළිදරව් කිරීම ගැන දිනේෂ් ගුණවර්ධන මහතාට වගේම විපක්‍ෂ නායකතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ තොරතුරු ලැබුණේ නැත්නම් මෙය යට ගිහින් ඒ ක‍්‍රියාවලිය ඒ විදිහටම වෙනවා. මේක සුළු කොට සලකන්න බෑ. ඒ අය තමයි අපිට නිතරම කියන්නේ ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යන්න කියලා.

අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය – වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීතුමා විනිශ්චයකාරවරුන් කිහිපදෙනෙකු ඇමරිකාවට ගිය වෙලාවේ කරපු සාකච්ඡුාවක හඬපටයක් තිබෙන බව මේ සභාවට කිව්වා. ඒ නිසා මම බොහොම බැගෑපත්ව ඉල්ලනවා. එහෙම හඬපටයක් තිබෙනවා නම් එය අපටත් භාරදෙන්න. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.

බන්ධුල ගුණවර්ධන මහතා – මේ දේවල් වළක්වා ගන්න ඉදිරි පියවරගැනීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට මහින්ද අමරවීර මන්ත‍්‍රීතුමා කරපු යෝජනාව ගැන අපි විපක්‍ෂ නායකතුමා වෙනුවෙන් ඉල්ලා සිටිනවා එය කරන්න කියලා.

සුජීව සේනසිංහ මහතා – පක්‍ෂ පාට භේදයෙන් තොරව, අපි විපක්‍ෂය ගෙනාපු කාරණය ගැන ප‍්‍රශංසා කරනවා. ඒ වගේම නීතිඥවරුන් විදිහට අපිත් ඉල්ලනවා. මොන පදනමක් මත මෙය කළාද කියලා අපිත් තේරීම් කාරක සභාවක් යෝජනා කරනවා.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා – 

කතාවක් තිබෙනවා අගවිනිසුරුව හමුවෙලා තිබෙනවා කියලා. ඒ කාරියවසම් මහතා සිටින කාලයේ. ඊට පස්සේ මේ දෙවැනි අවස්ථාව.

කථානායක – මම මේ ගැන අවශ්‍ය පියවර ගන්නම්.

Related posts

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

colombotoday

කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි MSC Messina නෞකාවේ ගින්නක්

colombotoday

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

විගණකාධිපති වාර්තාව ගැන සැකයි.. දේශපාලන හස්ථයක් පිටුපසින්.. නැතිනම් වාර්තාව මීට වෙනස්

colombotoday