Colombo Today Local News

නැගෙනහිර හිටපු ආඥාපති පාස්කු කොමිසමේ දී කල හෙළිදරව්ව

2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අවස්ථාවේ එවැනිම නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළ ද ඇති කිරිමට සහරාන් ඇතුලු පිරිසක් සැලසුම් කළ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය.

එවක නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ, එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්වය නිසි පාලනයකට නතු කර තිබූ බවයි.

2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාම ගොස් සිටින මේජර් ජෙනරල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා ඊයේ (16)දින රාත්‍රියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ තමන් සේවය කළේ එම කාලය තුළ නැගෙනහිර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පූජිත් ජයසුන්දර සහ නන්දන මුණසිංහ යන මහත්වරුන් කටයුතු කළ අතර මසකට වරක් පැවැත්වූ බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සදහා ඔවුන්ගේ නියෝජිතයන් ද එක්වූ බවයි.

කොමිසම එහි දී විමසුවේ එවක නැගෙනහිර ජන කොට්ඨාස අතර ස්වදේශිකභාවය ඉක්මවා කටයුතු කිරිමේ වෙනස්වීම් දක්නට ලැබුනේ ද යන්නයි.

කාත්තන්කුඩි හා කින්නියා ප්‍රදේශ අරාබිකරය වීමට ආරම්භ වූවත් බුද්ධි අංශ ප්‍රබල ලෙස ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීම හරහා එම කටයුතු ආරම්භයේදීම මැඩපැවැත්වීමට සමත් වූ බව ආඥාපතිවරයා සඳහන් කළේය.

එලෙස අරාබිකරණ කටයුතු සිදුකල අයට දේශපාලන සහයෝගයක් තිබුණේ දැයි කොමිසම මෙහි දී ආඥාපතිවරයාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ඇතැම් දේශපාලකයන් එලෙස ක්‍රියාකර තිබුනත් තමන් ඔවුන් ගැන කිසිදු තැකීමක් නොකල බවයි.

“සමහරක් ප්‍රදේශ එළිවෙනකොට අක්කර 100 ඩෝසර් කරපු කාලයක් තිබුනා දීඝවාපිය, මුහුදු මහා විහාරයට අයිති ඉඩම් අහිමි වෙන්න ගත්තා. අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එම ස්ථානවල කදවුරු ඉදිකරල ඒවා ආරක්ෂා කලා ඒ වගේම ගෙවල් 10 කට 12 කට එක පල්ලියක් ගානේ ඉදිවෙන්න ගත්තා මේවා ඔක්කොම කළේ විදේශිය රටවලින් ආධාර ලබාගන්න,‘‘ ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ කාත්තන්කුඩි ප්‍රදේශය තුළ වැඩිවශයෙන් දේශපාලන ක්‍රියාවල නිරත වූයේ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා බවයි.

එමෙන්ම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් වරක් දීඝවාපිය අවට සිදුවූ ඉඩම් ගැටලු විසදීමට තමන් විසින් ස්ථාපිත කල කදවුරු ඉවත් කරන ලෙස ඉහළ නිලධාරීන්ට බලපෑම් කළ බව ද ඔහු සඳහන් කළේය.

2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ සිදුවූ ගැටුමෙන් පසු එම දිනවලම නැගෙනහිර පළාත තුළ පන්සලකට හෝ භික්ෂූන්වහන්සේ නමකට පහරදීමට තවිහිද් ජමාත් සංවිධානයේ පිරිසක් සැලසුම් සකස් කරමින් සිටි බවට බුද්ධි නිලදාරීන් ඉතා සූක්ෂමව තොරතුරු අනාවරණ කර ගත් බව සාක්ෂිකරු කොමිසමට පැවසුවේය.

පසුදින උදෑසනම අදාළ කුමන්ත්‍රකයින් පිරිස තම කඳවුරට ගෙන්වා දැඩි ලෙස අවවාද කර පිටත් කිරීමෙන් පසු එම සිද්ධිය වැලක්වූ බවද ඔහු එහිදී සඳහන් කළේය.

කොමිසම එහි දී ප්‍රශ්න කළේ, එම පිරිස අතර සිටි අය අතර පසුගිය වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධය අය සිටි බවට පසුව හෙළිවූයේ ද යන්නයි.

එම පිරිස අතර සහරාන් හෂීම් සිටි බවට තමන් ප්‍රහාරයෙන් පසු දැනගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.

කොමිසම එහි දී විමසුවේ එතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ බුද්ධි අංශයකට පසුව සිදුවූයේ කුමක්ද යන්නයි.

2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු තමන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් තමන්ට ස්ථාන මාරුවක් ලැබුණු බවත් ඉන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වල වීමට විවිධ කරුණු බලපෑ බව පෙන්වා දුන් සාක්ෂිකරු පැවසුවේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් වූ අතර සෙසු නිලධාරීන් වැඩි ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ද ලැබුණු බවයි.

ඒ හරහා සමස්ථ බුද්ධි අංශ ජාලයම බිඳ වැටී තිබූ නිසා සහරාන් වැනි පුද්ගලයන් මෙතරම් විනාශයක් සිදුකිරීමට තරම් බලවත්වූ බව පෙනීයන බවයි ඔහු පැවසුවේය.

2015 ට පෙර රැඩිකල් කණ්ඩායම් නිරීක්ෂණය සඳහා වෙනම වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූ බවත් එය නොකඩවා සිදු වූයේ නම් පසුගිය වසරේ සිදූවූ අවාසනාවන්ත සිදුවීමට ඉඩක් නොලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’

colombotoday