Colombo Today Local News

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

rajitha

ඇවන්ට්ගාර්ඞ් සමුද්‍ර ආරක්ෂක ව්‍යාපාරයට එරෙහි දරුණුම ප‍්‍රහාරකයා බවට පත්ව සිටින්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නය. ඔහු සමඟ මෙගාපොලිස් ඇමැති චම්පික රණවක හා වරාය ඇමැති අර්ජුන රණතුංග ද මේ සටනේ සිටියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ද මේ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් හා එක පෙළට සිට ගනිමින් මේ ඇවන්ට්ගාර්ඞ් විරෝධී පෙරමුණට පණ පෙවීය. ඒ අතරම අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂත් හිටපු නීතිය හා මහජන සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන, ඩිජිටල් පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ද පෙනී සිටියේ ඇවන්ට්ගාර්ඞ් ව්‍යාපාරය නීත්‍යනුකූලය කියන පදනමේය. ආණ්ඩුවේම පිරිසකුත් විපක්ෂයේ පිරිසකුත් මෙලෙස තමන් විසින් දූෂිත යැයි කියන ව්‍යාපාරයක් අවසන් කිරීම සඳහා හෝ ඒකරාශී වී සිටීම එක අතකින් වෙනදා දකින්නට නොලැබුණු ජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක සලකුණක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අතරෙහි ජනාධිපතිවරයා විසින් එම ව්‍යාපාරය කිසිදු නීත්‍යනුකූලභාවයකින් තොරව රජයට පවරා ගැනීම පෙර පැවැති ඒකාධිපති පාලකයන්ට වඩා එහා ගිය පියවරක් ලෙස ද හඳුනාගත හැකිය.

කෙසේ නමුත් මේ ලියන මොහොත වනතුරුත් මෙම ව්‍යාපාරය පවරා ගැනීමට නිශ්චිත හේතුව කිසිවකුත් පැහැදිලිව නොදනී. එහි නීති විරෝධීභාවය හෝ වෙන යම් අවුලක් ගැන කිසිවකුට පැහැදිලි අදහසක් නැත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ කිසිදු නිල නිවේදනයක් හෝ සිදු කර නොමැත. ඊටත් වඩා බරපතළ කරුණ වන්නේ මේ රටේ නීතියේ අවභාවිතාවට එරෙහිව ප්‍රජාතන්තත්‍රවාදය වෙනුවෙන් මානව අයිතිවාසිකම් වෙනුවෙන් කෑ මොර දුන් සංවිධාන හා පක්ෂ ද මේ කාරණය සම්බන්ධයෙන් බක තපස් වෘතය රකිමින් සිටීමය.

රාජපක්ෂ යුගයේ දී බොහෝ ව්‍යාපාරිකයන්ට දේශපාලන අධිකාරියේ බලපෑමට යටත්ව සිටින්නට වූ බව මේ මහත්වරුන්ට මතක නැත. එමෙන්ම මේ යහපාලන ආණ්ඩුව බලය ගත්තේ ද මේ කතා තොරොම්බල් කරමිනි.

පසුගිය දා අප ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපතිවරයා සමඟ කළ කතා බහ අතරතුරේ දී (එම ලිපිය මේ සමඟ පළ කර තිබේ.) සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා, ඔහුගෙන් මිලියන ගණනක මුදල් ගත් අයකු බව ඔහු හෙළි කළේය. ඊට අදාළ හඬපට හා ලිඛිත සාක්ෂි රැසක්ම අප වෙත ලැබිණි. මේ අතරතුරේ දී එම මුදල් ගනුදෙනුවට අදාළ හඬපට දෙකත් අන්තර්ජාලයට එක් වී තිබෙන අතර මෙය මහත් ආන්දෝලනයකට ද තුඩු දී තිබේ.

මැතිවරණ සමයේ දී හොරු දූෂිතයන් බෙල්ල මුලින් අල්ලන බවට වහසි බස් දෙඩුව ද තවම එක හොරෙක්වත් අල්ලා ගන්න බැරි වුව ද රන්ජන් රාමනායක ඇමැතිවරයා එම හඬපට දෙකත් සමඟ අල්ලස් කොමිසමට යාමට ඉක්මන් වී තිබිණි. පරණ හොරු ඔහුට දැන් මතක නැත. මේ දවස්වල ඇවන්ට්ගාර්ඞ් මාර්කට් නිසා ඔහු තැටිය අලූත් කරගෙන ඇත.

අප වෙත ලැබුණු තොරතුරු අනුව රාජිත සේනාරත්න මහතා, නිශ්ශංක සේනාධිපති මහතා හා මෙම ගනුදෙනුවට මැදිහත් වූ ඇමැතිවරයාගේ සමීප මිතුරා වන සයුරු සමරසුන්දර මහතා ද කලකට පෙර පටන්ම මිතුරන්ය. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී මේ දෙතුන් දෙනාම හිටියේ රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කරමින්ය. යැපුණේ ද රාජපක්ෂ රෙජීමය හා වූ බැඳීම් හේතුවෙනි. දේශපාලනය ද ව්‍යාපාර ද ජීවිත ද හැඩ ගැසුණේ රාජපක්ෂ සංස්කෘතිය අනුවය. රාජිත සේනාරත්න පමණක් නොව ඇමැති චම්පික රණවක ද සිටියේ එතැනය.

රාජපක්ෂ රෙජීමය පරාජය කළ යුතු තැනට කරුණු කාරණා යෙදෙද්දී රාජිත සේනාරත්න මෙන්ම චම්පික රණවක ද පැත්ත මාරු කළේය. ඒ සත්‍ය ලෙසම දූෂණයට වංචාවට එරෙහිව හෝ රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව හෝ රටේ යහපාලනය ප්‍රජතන්ත්‍රවාදය පිහිටුවා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සඳහාද යන්න ගැන මේ වන විටත් බරපතළ කුකුසක් පවතී. මේ කුකුස දෙගුණ තෙගුණ වන සිදුවීම් රැසක් මේ වන විට සිදුව ඇති අතර රාජිත සේනාරත්න හා නිශ්ශංක සේනාධිපති අතර ගනුදෙනුව මෙය තවත් තීව‍්‍ර කරන්නකි.

සේනාධිපති මහතා පවසන්නේ තමන්ට හිතවත් දේශපාලකයන්ගේ මැතිවරණ කටයුතු ආදියට තමන් රටේ අනෙකුත් ව්‍යපාරිකයන් මෙන් උදව් උපකාර කළ බවය. ඒ අතර රාජිත සේනාරත්න මහතා ද චම්පික රණවක මහතා ද සිටි බව ඔහු පවසයි. ඔවුන් තමන් හා උරණ වූයේ තවත් මුදල් ඉල්ලා සිටිය ද එය නොලැබීමෙන් බවය.

රාජිත සේනාරත්න මහතා සහ සේනාධිපති මහතා අතර මුදල් ගනුදෙනු අද ඊයෙක සිදු වූ ඒවා නොවේ. ඊට තරමක දිගු ඉතිහාසයක් තිබේ. එය කෙසේ වූවත් අප මේ සමඟ ඉදිරිපත් කරන චෙක්පත් පිටපත් කිහිපය සේනාධිපති මහතා විසින් සයුරු සමරසුන්දර මහතාට ලබා දුන් ඒවා වේ. ආන්දෝලනයට තුඩු දුන් හඬපටයට අදාළ වන්නේ පසුගිය මහ මැතිවරණයට පෙර ලබා දුන් රුපියල් මිලියන 5ක් ගැන විස්තරයක් වුව අප සතුව තිබෙන තොරතුරු අනුව තවත් මිලියන පහක වටිනාකම සඳහන් චෙක්පත් කිහිපයක්ම එ් අතර තිබේ.

එමෙන්ම මෙම මුදල් ඉල්ලා සමරසුන්දර මහතා හා සේනාධිපති මහතා අතර වූ ිපි පණිවුඩ කිහිපයක තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ අනුව මෙම ගනුදෙනුවේ වුවමනාව ගැන යම් අවබෝධයක් ලබාගත හැක.

සමරසුන්දර මහතා විසින් අන්තර්ජාලයට එක් කර තිබූ හඬපටයෙන් මෙම මුදල් රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කළ බව සඳහන්ය. එහෙත් එම මුදල ආපසු තමන් වෙත ලැබුණේ නැති බව සේනාධිපති මහතා පවසන අතර එමෙන්ම එම හඬපට දෙක අතර කාලය ද මාස කිහිපයකි. ඒ ගනුදෙනු දෙකක කතන්දර දෙකක් බව ද පෙනී යයි.

ඒ කෙසේ නමුත් ඇමැතිවරයකු, රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු හා ව්‍යාපාරිකයකු අතර යම් බේරුම් කිරීමක් වෙනුවෙන් මුදලක් හුවමාරු වී ඇති බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් යම් නිතී විරෝධී කටයුත්තක් සිදුව තිබෙන්නේ නම් ඒ වගකිවයුත්තන් විසින් පරීක්ෂණ පවත්වා එය සොයාගත යුතුය.
එමෙන්ම නිශ්ශංක සේනාධිපති මහතා සිදු කළ තවත් හෙළිදරව්වක් වූයේ රාජිත සේනාරත්න මහතාට අයත් ව්‍යාපාරයක් ලෙස සැලකෙන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන බ්ලූ ඕෂන් ෆිෂරි පෞද්ගලික සමාගමට අයත් ධීවර යාත්‍රා අටෙන් හයකට සමුද්‍ර ආරක්ෂාව ලබා දුන්නේ ඇවන්ට්ගාර්ඞ් සමාගමෙන් බවය. එම ගනුදෙනුවට අදාළ එකඟතා සහ බිල්පත් කිහිපයක් ද ඔහු සාක්ෂි ලෙස ඉදිරිපත් කළේය.

මෙයට ඇමැතිවරයාගේ සම්බන්ධයක් නොමැතිය යනුවෙන් කල්පනා කළ ද රුපියල් මිලියන 400ක් පමණ වටිනාකමකින් යුතු ධීවර යාත‍්‍රා 8ක් මිල දී ගැනීම සඳහා මේ ලලිත් අනුරාධ සෙනෙවිරත්න නම් තැනැත්තාට මුදල් ලැබුණේ කවර ක‍්‍රමයකින්ද යන්න අබිරහසකි. මේ සමාගමේ අනෙක් කොටස්කාරයා වන්නේ එල් අයි පෙංග් නමැති චීන ජාතිකයෙකි. ඔහුට සියයට 40 ක කොටස් හිමි අතර ඉතිරිය ඇමැති සම්බන්ධීකාරකවරයා සතුය.

එමෙන්ම මෙම ධීවර යාත‍්‍රා අතරින් ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කිරීම සඳහා අවසර ලබාගෙන ඇත්තේ යාත්‍රා දෙකකට (blue ocean 101 හා blue ocean 106) පමණක් නමුදු එම යාත්‍රා අටෙහිම ශ්‍රී ලංකා ධජය ප්‍රදර්ශනය කරමින් තිබෙන බවත් තතු දත්තෝ පවසති. එමෙන්ම මෙම ධීවර යාත‍්‍රාවලට බදු සහනයක් ලබා දී තිබෙන්නේ මත්ස්‍ය අස්වැන්නෙන් 10%ක් ධීවර සංස්ථාවට ලබා දීමේ පොරොන්දුව මත වූවත් එක මත්ස්‍යයකු හෝ මේ දක්වා ලබා දී නැත. ඒ ඇමැති අනුහසින් වූවක් බවට සැකයක් නැත. එමෙන්ම එම මත්ස්‍ය අස්වැන්න හොර රහසේ චීන නැව්වලට විකුණා දැමූ බවට ද චෝදනා එල්ල වී ඇත.

මේ ධීවර නැව් සම්බන්ධයෙන් බරපතළම චෝදනාව එල්ල වන්නේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න මිල දී ගැනීම යුරෝපා සංගමය විසින් තහනම් කිරීම සම්බන්ධයෙනි. ධීවර කර්මාන්තයේ යෙදෙන යාත්‍රා, තම ස්ථානය හා ගමන් මාර්ගය අනෙක් යාත්‍රාවලට දැන්විය යුතු වීම ජාත්‍යන්තර නීතියක් වන අතර ඒ සඳහා VMS (Vessel Monitoring System) නම් තාක්ෂණය භාවිත කළ යුතු නමුත් මෙම යාත්‍රා එම තාක්ෂණය පාවිච්චි නොකර හොර රහසේ නීති විරෝධීව එම කටයුත්තේ යෙදී ඇත. මෙය අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාව නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදෙන රටක් ලෙස හංවඩු ගැසුණු අතර මෙරට මත්ස්‍ය අස්වැන්න මිල දී ගැනීම යුරෝපා සංගමය විසින් තහනම් කළේය. පසුව එවකට ධීවර ඇමැතිව සිටි රාජිත සේනාරත්න මෙය සුළු පරිමාණ ධීවරයන් නිසා සිදු වූ දෙයක් ලෙස පෙන්වා දීමට උත්සාහයක් ගත්තේය. මෙවැනි තවත් චෝදනා ගණනාවක්ම මේ ධීවර ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇත.

වරක් නීති විරෝධී ඖෂධ ව්‍යාපාරයක නියැළී සිටි බවට අධිකරණය හමුවේ ඔප්පු වීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ද අහිමි වූ අතර ඒ දූෂිත ගනුදෙනුව නොසලකා හැර එජාප නායකයා මොහුට නැවත ජාතික ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් ලබා දුන්නේය. එදා සේනාරත්න මහතාගේ දූෂිත ගනුදෙනුව හෙළි කර ඔහුට දඬුවම් ලබා දීමේ නීතිමය කටයුත්ත සිදු කරනු ලැබුවේ අද සේනාරත්න මහතාගේ මඩ ප්‍රහාරයන්ට ගොදුරුව සිටින අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතාය.

කොහොම නමුත් මඩ, ලේ හා කළු පැල්ලම්වලින් ගහන දේශපාලන ඉතිහාසයක් ඇති රාජිත සේනාරත්න මහතා ඇවන්ට්ගාර්ඞ් සමාගම සම්බන්ධයෙන් රඟ දෙන චරිතය ද මේ වන විට පැහැදිලිවම බරපතළ ගැටලූකාරිත්වයක් මතු කර තිබේ. එහෙත් ඔහු අද මේ යහපාලන ආණ්ඩුවේ නීතිය තීරණය කරන්නා දක්වා බලයක් ගොඩනගා ගෙන ඇත. පසුගිය මහ මැතිවරණයේ දී රාජිත සේනාරත්න මහතාට එජාපයෙන් නාම යෝජනා ලබා නොදෙන ලෙස එජාපයේම ප්‍රබලයන්ගෙන් එහි නායකත්වයට එල්ල වූ බලපෑම සාර්ථක වූවා නම් අද මේ යහපාලන ආණ්ඩුවට ඇවන්ට්ගාර්ඞ් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා වැදගත් ලෙස නීතිගරුකව, ශිෂ්ට සම්පන්න ලෙස විසඳාගත හැකිව තිබිණි. අද ආණ්ඩුව විශාල මඩ ගොහොරුවකට මේ ප්‍රශ්නය නිසාම තල්ලූ වී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවා මේ වන විට පෙන්වා දෙනු ලබන සත්‍යයයි.

– සුභාෂ් ජයවර්ධන (සත් හඩ )

Related posts

“රටේම මිනිසුන් මැරුණත් කමක් නෑ.. ඔහුට ඕනෑ සයිටම් රකින්නයි” විජේදාස රාජිතගේ පතුරු අරී

colombotoday

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

colombotoday

‍”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයි

colombotoday