Colombo Today Local News

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

ඉන්දීය සාගරයේ නාවික කටයුතුවල නිදහස සම්බන්ධයෙන් කලාපයේ සියලුම පාර්ශ්වයන් එකතු කරගත් පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කලාපීය රටවල් සියල්ලන්ම ඉන්දීය සාගරය තුළ තමන්ට නිදහසේ යාත්‍රා කිරීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමට එක්සත්ව කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23) මේ බව සඳහන් කළේ ගාලු කතිකාව 2015 ප්‍රධාන දේශකයා වශයෙන් එක්වෙමිනි.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පළමු කොට ම ගාලු කථිකාවේ ජාත්‍යන්තර සම්මේලනයේ 6 වැනි සැසිය වන 2015 සැසිවාරයේ සමාරම්භක දේශනය සඳහා මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයාට කෘතඥතාව පළ කිරීමට අවසර පතමි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මේ උත්සවය සංවිධානය කරනුයේ ආරක්ෂක අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි. ලෝකයේ සෑම දෙසින් ම පාහේ විශාල පිරිසක් සහභාගි වන මෙවැනි උත්සවාංගයක් සංවිධානය කිරීම සැබැවින්ම පැසසිය යුත්තකි. එබැවින් ආරම්භයේදීම මේ කර්තව්‍යයට උරදුන් සියලු දෙනාට සුබ පතන්නෙමි.

මේ වසරේ තේමාව වන පුළුල් සාගර කලාපීය සහයෝගිතාවක් ඔස්සේ මුහුදු ආරක්ෂා කරගැනීම, අභියෝග හා ඉදිරි ගමන යන්න ඉතා කාලෝචිත තේමාවකි. එය ගෝලීය සාගර කලාපීය විනයක් උදෙසා පූර්ව අවශ්‍යතාවන් වන වැදගත් කරුණු වෙත අවධානය යොමු වූවකි. ගෝලීය ආර්ථිකයක් තුළ මුහුදු මගින් සිදු කැරෙන වෙළෙඳාම උපක්‍රමික තීරණ ගැනීම් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරයි.

ආරක්ෂිත මුහුදු යන සංකල්පයට සාගර නීතියේ මූලික සංකල්ප පිළිබඳ එකඟතාවකින් යුතු පදනමකින් සැකසුණු ස්ථාවර සාගර කලාපීය පාලනයක් අවශ්‍ය වෙයි. සාගර කලාපීය අධිකරණ බලය සම්බන්ධයෙන් ගත් කළ රාජ්‍යයක ස්වෛරී බලය ක්‍රියාවෙහි යෙදවීමේ නිදහසත් සාගරයේ යාත්‍රා කිරීමේ නිදහසත් අතර ගැටුමක් ඇති නොවීමට වග බලාගැනීමේ අවශ්‍යතාවක් ද වෙයි. එවැනි වාතාවරණයක් උදෙසා සාගර නීතියත් සාගර කලාපීය ආරක්ෂාවත් අතර මනා අන්තර් සබඳතාවක් අවැසිය. මේ අනුව වර්තමානයේ අප මුහුණ දෙන ගැටලුවලට තුඩු දෙන්නේ වේගවත් ගෝලීය ආර්ථික සංවර්ධනය සහ වෙළෙඳාමටත් පරිසරයටත් එයින් ඇතිවන බලපෑම, ජාත්‍යන්තර අපරාධ හා මංකොල්ල වර්ධනය වීම, ත්‍රස්තවාදය ව්‍යාප්තවීම සහ අධිරාජ්‍යවාදයේ සියවස් දෙකක බලපෑම යටතේ ආසියානු රාජ්‍යයන්හි නාවික බලය නැගී සිටීම සිරවීම යනාදියයි.

සාගර පාලනයේ වත්මන් නීතියේ මූලාරම්භය 1949 ජාත්‍යන්තර නීති කොමිසම දක්වා විහිදෙයි. උක්ත මාතෘකාව එකී කොමිසමේ න්‍යාය පත්‍රයෙහි පළමු වතාවට දිස්වූයේ ඒ වතාවේ ය. එකල ගෝලීය සාගර කලාපීය විනය රඳා පැවතුණේ ඇමෙරිකාව බ්‍රිතාන්‍යය සෝවියට් සංගමය හා ප්‍රංශය යන සුපිරි බලවතුන්ගේ නාවික හමුදාවල සහයෝගිතාව මත ය. අදාළ ගිවිසුම් අත්සන් තැබෙන 1982 වන විට නාවික සුපිරි බලවතුන් වශයෙන් සිටියේ ඇමෙරිකාවත් සෝවියට් දේශයත් පමණි. බ්‍රිතාන්‍යය යුරෝපයේ නව කාර්ය භාරයකට සූදානම් වෙමින් ම තමන් වෙත ශේෂ වූ නාවික බලය ෆෝක්ලන්ත නාවික බළ ඇණියෙන් ප්‍රදර්ශනය කළේය. සාගර නීතියේ බලාත්මක වන අවධිය වන විට සිටියේ එක් නාවික සුපිරි බලවතෙක් පමණකි. ඒ එක්සත් ජනපදය වූ අතර ඔවුන් ද ස්වකීය බලය අඩුකරගෙන තිබිණි. මේ සමග ආසියාකරයේ ඇති වූ රික්තය ජපානය චීනය ඉන්දියාව හා දකුණු කොරියාව යන නාවික බලය පුළුල් වෙමින් සිටි රටවල් විසින් පුරවන ලදී. මේ ආකාරයෙන් ගොඩනැගුණු නව පරිසරය සාගර බලය ප්‍රක්ෂේපණය; අවිහිංසක සාමකාමී යාත්‍රා කිරීම්වලට වෙරළාශ්‍රිත මෙහෙයුම්වලින් ඇති වන තර්ජන සහ මුහුදු කලාපය ප්‍රතික්ෂේප කිරීමේ මෙහෙයුම් ආදී ගැටලු පෙරමුණට රැගෙන ආයේය.

ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් සෝවියට් නාවික බලය ඉවත්කර ගැනීමත් සමග විවෘත සාගරයේ ඇතිවන සටන්වල ස්ථානයට වෙරළාශ්‍රිත යුද කටයුතු ආදේශවනු දක්නට ලැබිණ. මෙහිදී වෙරළබඩ රැකවලෙහි යෙදෙන පාර්ශ්වයට දියඹට යන වේදිකා තොටුපළ සමග මුර සංචාර ඔත්තු බැලීම්, ගුවන් යානා නෞකා නාශක මිසයිල මෙන්ම මරාගෙන මැරෙන බෝට්ටු ආදී වශයෙන් ඒකරාශී වූ බහු ස්ථර ආරක්ෂක ක්‍රමවේදයක වාසිය ලැබිණ. මේ නිසා ගෝලීය නිශ්චිතතාව හා ස්ථාවරත්වය සහිත යුගයක් අවිනිශ්චිතතාවෙන් වැසී යමින් තිබිණ.

19 වැනි සියවසේදී කාර්මික විප්ලවයත් සමග ලොව පළමු නාවික බලවතා බවට පත් වූයේ මුහුදු කොල්ලකාර මූලාශ්‍රයකින් පැවත එන එක්සත් රාජධානියයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එක්සත් ජනපදය මේ තැන ගත්තේය. කෙසේ වෙතත් අද තර්ජනයට ලක්ව ඇත්තේ මේ විනයයි. මේ නීතියයි.

අත්ලාන්තික් සාගරයේ හා ආසියානු සාගර කලාපයේ ඇතිවූ පරස්පර ප්‍රවණතා මතින් ඈත මුහුදේ (ජාත්‍යන්තර මුහුදේ) නව විනය හැඩගැන්වී ඇත. සීතල යුද සමයේ දී අත්ලන්තික් සාගරයේ බටහිර බලය පවත්වා ගන්නට නේටෝ සංවිධානය පටන් ගත්තේය. මෙය යුරෝපා සංගමය බිහිවීමට ද රුකුල් දුනි. ඉන්පසු ඔවුන්ගේ ප්‍රතිමල්ලවයා වූ සෝවියට් සංගමයේ බිඳවැටීම සිදු විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අත්ලාන්තික් සාගරයට ස්ථාවර ආරක්ෂක රෙජිමයක් ඇති වූ අතර එමගින් මුහුද ආරක්ෂිත විය.

මේ අතර දකුණු හා පෙරදිග අප්‍රිකාවේ සිට ඇමෙරිකානු මහාද්වීපයේ බටහිර වෙරළ දක්වා කලාපයේ විහිදුණු ආසියානු සාගර ඉන්දීය සාගර හා පැසිෆික් සාගර ඉසව්වෙහි මුහුදු බල තුලනයේ උඩු යටිකුරු වීමක් සිදුවෙමින් පවතී. වඩ වඩාත් ගෝලීයකරණය වීම හා ආර්ථික පෙරමුණෙන් ලද ශීඝ්‍ර ප්‍රගතිය විසින් ආසියාව අනාගතය උදෙසා වැඩිම අවස්ථා සංඛ්‍යාවක් උදාකරන කලාපය බවට පත් කර ඇත.

මේ කලාපයේ ඇමෙරිකානු හා යුරෝපීය ආයෝජන, ආසියාවේ ආසියානු ආයෝජකයන් විසින් ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන, ආසියානු භාණ්ඩ හා සේවා මත බටහිර වෙළෙඳ‍පොළෙහි රැඳී පැවතීම, ආසියාවේ නැගී එන මධ්‍යම පාන්තික වෙළෙඳ‍පොළ, සිංගප්පූරුව හොංකොං ෂැන්ග්හයි සහ ටෝකියෝ ගෝලීය මූල්‍ය මධ්‍යස්ථාන වශයෙන් නැගී සිටීම, ගෝලීය දාමයේ වටිනාකම ඉස්මතුවීම.

යන මේ කරුණු ආසියාවත් බටහිරත් එකිනෙකා මත යැපෙන්නන් බවට පත් කර ඇත. මේ නිසා ඉන්දීය සාගර ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා ඉන්දියා ආයතනය පෙන්වා දෙන අන්දමට වත්මන් ලෝකයේ වඩාත්ම වැදගත් වන්නේ ඉන්දීය සාගර වෙළෙඳ මාර්ග බව සඳහන් කිරීම තාර්කික ය. දෙවැනි ලෝක සංග්‍රාමයේදී පැසිෆික් කලාපයෙහි ඇමෙරිකානු නාවික හමුදාව ලත් ජයග්‍රහණයත් සමග ආසියානු සාගර කලාපයේ ඇමෙරිකානු බලය තහවුරු විය. පසුකාලීනව ස්ථාපිත වූ ඇමෙරිකානු ආර්ථික ආධිපත්‍යයත් සමග නැගෙනහිර ආසියාව ඇමෙරිකාව පැසිෆික් සාගර ජාතීන් හා ආසියාන් එක්තැන් කළ ආසියා පැසිෆික් ආර්ථික ප්‍රජාව බිහිවීමට මග පාදන ලදී. එසේම ඇමෙරිකාව සමග ඇති කරගත් ආර්ථික හා ආරක්ෂක ගිවිසුම් ඉන්දියාව ආර්ථික බලවතෙකු බවට පත් කළේය. මේ ක්‍රියාවලිය අතරතුර ප්‍රසාරණය වූ ආසියානු නාවික හමුදා ස්වකීය කාර්යභාරය ඇමෙරිකානු නාවික බල අධිකාරියෙන් කඩාගන්නට වීම වත්මන් අවිනිශ්චිතතාවයට හේතු විය. කලාපීය ස්ථාවරත්වය ගොඩනගනු වස් මේ තත්ත්වය පරීක්ෂාකාරී ලෙස කළමනාකරණය වැදගත් ය.

මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීමෙහි සාර්ථක නාවික මෙහෙයුම් ආසියානු සාගර කලාපය තුළ දක්නට ලැබිණ. වර්ෂ 2004 නොවැම්බර් මාසයේ දී කලාපීය රටවල් අතර අත්සන් තබන්නට යෙදුණ ආසියාවේ නෞකාවලට එරෙහි කොල්ලකෑම් හා සන්නද්ධ මං පැහැරීම් මර්දනය කිරීමේ කලාපීය සහයෝගිතා ගිවිසුම් එවැන්නක් ඇති වූ පළමු අවස්ථාවයි.

මෙකී ප්‍රයත්නවල සාර්ථකත්වය මත්ද්‍රව්‍ය ජාවාරමේ පටන් අනෙකුත් ආකාරවල ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීමේ සහයෝගිතාවක් ගොඩනැගීමට මග පාදයි. ගත වූ අවුරුදු කිහිපය තුළ අප්‍රිකානු මුහුදු මාර්ග හා දකුණු ආසියානු මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් ප්‍රමුඛ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ වැඩිවීමක් දක්නට ලැබිණ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට පෙරාතුව වඩාත් අවබෝධාත්මක උපක්‍රමයක් සැකසීමේ තදබල අවශ්‍යතාවක් පවතී.

මම මෙතන සඳහන් නොකරන අනිත් කරුණ ත්‍රස්තවාදයයි. හේතුව මෙය අද ඔබ සැම සාකච්ඡා කරන දෙයට වඩා බැහැර කරුණක් වීමයි.

මිනිස් ජාවාරම ජාතීන් අතර සහයෝගිතාවක අවශ්‍යතාව පෙන්වන තවත් අංශයකි. ආසියානු හා අප්‍රිකානු නාවික හමුදා අනෙකුත් පංගුකරුවන්ගේ ද සහාය ඇතිව ජාත්‍යන්තර ජාවාරම් හා අපරාධ මැඬලීම සඳහා වඩ වඩාත් සහයෝගිතා ඇති කර ගැනීම ආසියානු සාගර කලාපය තුළ ආරක්ෂාව ස්ථාවර කරනු වස් ඊට අවශ්‍ය වාතාවරණය සකසනු ඇත. ආසියානු සාගර කලාපය සඳහා පුළුල් ආරක්ෂක ක්‍රමවේදයක් අවශ්‍ය වන අතරම එක් එක් මුහුදේ අවශ්‍යතා වෙන වෙනම සලකා බැලිය යුත්තේය.

චීනයේ නාවික බලය වර්ධනය වීමත්, චීන මුහුද ගොඩකිරීමේ ප්‍රයත්නත්, ජපානය හා චීනය අතර අළු යට සැඟව පැවැති ගිනි පුපුරු අවුළුවන්නට සමත් විය. කෙසේ වෙතත් අනෙක් අතින් චීනයේ නාවික හමුදාවට දිගුකාලීනව හෝ ඇමෙරිකානු නාවික බලයට සමවන්නට නොහැකිය. මේ බව 2015 චීන හමුදා උපක්‍රම පිළිබඳ ධවල පත්‍රිකාවන්ද පිළිගෙන ඇත. එහි කියා ඇත්තේ අනාගත ලෝක යුද්ධයක නිමිත්තක්වත් පෙනෙන්නට නැති බවයි. විවෘත මුහුදු ආරක්ෂාව සම්බන්ධයෙන් වර්ධනය වන උපක්‍රමික උනන්දුව මගින් හටගන්නා නව අවශ්‍යතා පිළිබඳව ද ධවල පත්‍රිකාව සඳහන් කරයි. මෙය පෙනී යන්නේ ඇමෙරිකා නාවික හමුදාවේ තීරණ ගැනීමේ හා මුහුදු පාලන අරමුණු ව්‍යර්ථ කිරීමේ වෑයමක් වශයෙනි. එබැවින් ඇමෙරිකාවත් සෙසු නැගෙනහිර ආසියානු ජාතීනුත් එවැනි පියවරක් වැළැක්වීම පිණිස පියවර ගනු ඇත.

ඉන්දීය සාගරය ආශ්‍රිත ගැටලු වඩාත් සංකීර්ණය. වසර 3000 කට අධික පැහැදිලි ඉතිහාසයක් ඇති ඉන්දීය සාගරය 17 වන සියවස තෙක්ම ලෝකයේ ධනවත්ම කලාපය විය. රුවල් යාත්‍රාවල ස්වභාවයක් මේ කලාපයේ නාවික බලවතකු බිහිවීමේ හැකියාවට සීමා පැනවීය. කාර්මික විප්ලවයත් වාෂ්ප නෞකා තාක්ෂණයත් සමග සමස්ත ඉන්දීය සාගර කලාපයම 19 වැනි සියවස වන විට බ්‍රිතාන්‍යයන්ගේ තෝතැන්නක් බවට පත් කළේය. එමෙන්ම සූවස් ඇළ ඔස්සේ යුරෝපයත්, ආසියාවත් අතර මුහුදු මාර්ගික සබඳතාවක් ගොඩනැගිණ.

අද ලෝකයේ බහාලුම් මගින් ප්‍රවාහනය කෙරෙන වෙළෙඳ භාණ්ඩවලින් අඩකටත් වඩා ගමන් කරන්නේ ආසියානු මුහුදු මාර්ග ඔස්සේය. ලෝකයේ හයිඩේ‍රාකාබන් වෙළෙඳාමෙන් අඩක් තුනෙන් දෙකත් අතර කොටසක් ද ලෝකයේ තොග භාණ්ඩ නැව්ගත කිරීම්වලින් තුනෙන් එකක් ද ඉන්දීය සාගරය හරහා ගමන් ගනී. තෙල් හා ස්වභාවික ගෑස් නිධියක් වශයෙන් තිබෙන වටිනාකමට අමතරව ලෝක ආර්ථිකයේ එන්ජිම පණගන්වන ගල් අඟුරු හා තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මාර්ගය වන්නේ ද ඉන්දීය සාගරයයි. ඉන්දීය සාගරය සලකා බලන කල නාවික කටයුතු පංගුකාරයන්ගෙන් වැඩිදෙනා කලාපයෙන් බාහිර පුද්ගලයන් ය. ස්වකීය ආර්ථිකයට පහර වැදෙන හෙයින් ඉන්දීය මුහුදු මාර්ගික වෙළෙඳාම ආරක්ෂාව පිළිබඳව යුරෝපා සංගමයත්, චීනය ජපානය හා දකුණු කොරියාවත් බෙහෙවින් උනන්දු වෙති.

ආසියාව හා නැගෙනහිර අප්‍රිකාවේ තානාපති සබඳතා කෙරෙහි චීනය දක්වන මුදු පිළිවෙතත් හම්බන්තොට වැනි නව වරාය ඉදිකිරීමත් මුතු දාම ප්‍රතිපත්තියත් ඉන්දීය සාගරය තුළ චීනයේ බලය පතුරුවාලීමේ දිගුකාලීන සැකසුමේ ප්‍රතිඵලයන් වේ. එසේම ආසියා පැසිෆික් හා ඉන්දීය සාගර කලාපය පිළිබඳ ඇමෙරිකා ඉන්දියා උපක්‍රමික දැක්ම සම්බන්ධයෙන් ද චීනය විමසිල්ලෙන් පසුවෙයි.

ඉන්දීය සාගර කලාපයේ අනෙක් විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය නිසා මෙකී සීමිත මුහුදු ප්‍රදේශවලට එල්ලවන ආරක්ෂක තර්ජනයයි. මෙහිදී වඩාත්ම අනතුරුදායක ප්‍රදේශ වන්නේ ගෝලීය ආර්ථිකයට අවශ්‍ය ‍පොසිල ඉන්ධන සපයන ප්‍රධාන මාර්ගයේ පිහිටි හෝරමස් සමුද්‍ර සන්ධියත් බැබ් එල් මැන්ඩෙප් සමුද්‍ර සන්ධියත් ය.

මේ තත්ත්වයන්ට එරෙහිව ඉන්දීය සාගරයේ නාවික කටයුතුවල නිදහස සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් එකතු කරගත් පුළුල් සාකච්ඡාවක් අවශ්‍යය. ඉන්දීය සාගර කලාපයේ වෙරළබඩ ජාතීන් ඉතිහාසයේ පෙර සිටම කිසියම් තනි ජාතියකට කලාපයේ නාවික බලය හිමිවීමට එරෙහිව කටයුතු කොට ඇත. එබැවින් කලාපීය රටවල් සියල්ලම ඉන්දීය සාගරය තුළ තමන්ට නිදහසේ යාත්‍රා කිරීමට ඇති අයිතිය තහවුරු කරගන්නට එක්සත්ව කටයුතු කළ යුතුය.

ඉන්දියන් සාගරය තුළ නාවික හමුදා බළඇණි තුනක් අනිවාර්යෙන්ම ආරක්ෂක කටයුතුවල නිරත විය යුතුයි කියා මා සිතනවා. ලංකාවට මෑතක දී මුහුණ පෑ දුෂ්කරතම අභියෝගය වූයේ ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ගෙන ආ යෝජනාවයි. එහෙත් අප ඉන් ජයග්‍රහණය කළා. අවසානයේ දී පසුගිය සැසි වාරයේ ලංකාව තවත් ජාතින් රාශියක් සමග සම සහයෝගිතාවක් ඇති කර ගනු ලැබුවා. මෙම නව ව්‍යවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශයට පත් කළා.

ඉන්දීය සාගරය මධ්‍යයෙහි වූ ශ්‍රී ලංකාවේ උපක්‍රමික පිහිටීම අසහාය වේ. අපේ කුඩා දිවයිනේ පැවැත්මට නාවික ප්‍රවාහන ය මත පදනම් වෙළෙඳාම ඉතා වැදගත්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජයේ ආර්ථික සංවර්ධන උපක්‍රමය ද්වි පාර්ශ්වික වෙළෙඳාම සහ ඉන්දියා, පාකිස්තාන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් යුරෝපා සංගමය හා චීනය අතර පවතින ආර්ථික ගිවිසුම් කෙරෙහි උනන්දු වූවකි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ සාකච්ඡා ඇරඹීමට ද සැකසුම් කොට ඇත.

එසේම ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ රටවල් සම්බන්ධ කරන වෙළෙඳ කේන්ද්‍රය වශයෙන් ස්ථානගත වීමට ද උනන්දුවෙයි. එබැවින් ආරක්ෂිත මුහුදක් හා ඉන්දීය සාගරය සුරැකීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බෙහෙවින් වැදගත් වෙයි. අපගේ විශේෂ උනන්දුව යොමුවන්නේ අංශක අටේ මාර්ගය, අංශක එකහමාරේ මාර්ගය, මාලදිවයිනේ අවට නිරක්ෂ මාර්ගය, සහ අංශක නවයේ මාර්ගය, මලක්කා සමුද්‍ර සන්ධියට සුන්ඩා සමුද්‍ර සන්ධියට හා ලොම්බොක් සමුද්‍ර සන්ධියට යොමුවූ අංශක දහයේ මාර්ගය යනාදිය ට වේ. ඉතිහාසයේ පටන් ම ශ්‍රී ලංකාව බෙංගාල බොක්ක සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපයද එම ප්‍රදේශයට විහිදෙයි.

එමෙන්ම අප අවට මුහුදේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමටත්, ජාතීන් අතර අපරාධ හා පුද්ගල ජාවාරමට එරෙහිවීමටත් අපි කැප වන්නෙමු. මේ නිසා මුහුද යනු අපේ රටේ ආරක්ෂාවෙහි උපක්‍රමික කොටසකි. අභ්‍යන්තරික සාධක නිසා දේශීය ආරක්ෂාව ගොඩනැගීම උදෙසා සම්පත් විශාල වශයෙන් වැයකෙරෙන මුත් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුව සීමා විය. මෙකී සංදර්භය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු දියේ මෙහෙයුම් හැකියාව වර්ධනය කිරීම හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂකයන්ගේ ශක්තිය වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි.

එසේම නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ශක්තිය එකමුතු කිරීමට ඇති හැකියාව ද සොයා බලනු ලැබේ. මීට අමතරව අපේ මුර සංචාර හා නිරීක්ෂණ විපරම් සඳහා ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදා ශක්තිය එකමුතු කොට යොදා ගැනීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන ඇත. එසේම අපගේ අවධානය යොමු වන කරුණු අතර, සාගර කලාපීය අවකාශ සැලසුම් සංවර්ධනය, සාගර කලාපීය උපක්‍රමයක් සංවර්ධනය කිරීම, සාගර කලාපීය ආරක්ෂක උපක්‍රමයක් සැකසුම් කිරීම යනාදිය ද වෙයි. මේ සියල්ල අභ්‍යන්තරිකව ම එකිනෙකට සම්බන්ධය. එසේම රටේ ‍පොදු සාගර කලාපීය ප්‍රතිපත්තියේ අනුශාංගික කොටසකි.

ඉදිරි දින දෙක තුළ මේ සැසිවාරයේදී රැස්ව සිටින වැදගත් පිරිස අතර ඇති වන සාකච්ඡා ගෝලීය ප්‍රජාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් යම් ආලෝකයක් සලසනු ඇතැයි මම විශ්වාස කරන්නෙමි. අපේ සියලු ජාතීන් අපට බලපාන ගැටලු ආමන්ත්‍රණය කිරීම උදෙසා වඩාත් පුළුල් සහයෝගිතාවක් ගොඩනගා ගැනීමේ හැකියාවෙන් අනූන බව ඔබට පසක් වනු ඇතැයි මට විශ්වාසය යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

colombotoday

මෝල් ගසකින් පහර දී දියණියක් මව මරා දාලා

colombotoday

හන්තාන රක්‍ෂිතයේ තවත් අක්කර තුන්දහසක් විනාශයි. බලධාරීන්, නිලධාරීන්, ප‍්‍රභූන් අතින් විනාශ වෙන ජාතික උරුම

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

පුද්ගලයකුට පහරදුන් වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න නියෝග

Admin