Colombo Today Local News

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

සිවිල් ආරක්ෂක බලකායේ කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මුලතිව් ප්‍රදේශයේ සේවයෙන් සමුගනිද්දී පුනුරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් සහ දෙමළ ජනතාව ඔහුට දැක්වූ කෘතවේදීත්වය සැබෑ ජාතික සංහිදියාවක් සදහා ප්‍ර වේශයක් කරගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. එම ලිපිය පහත පලවේ.

අතිගරු ජනාධිපතිතුමනි,

‘කර්නල් රත්නප්‍රිය බන්දු ආදර්ශය’ තුළින් ජාතික සමගිය සඳහා නව ප්‍රවේශයක් ගැනීම

බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පරාජය කොට ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප්‍රදර්ශනය කළහ. නමුත් ඒ උසස් ගුණය අගය කිරීම සහ ඒ තුළින් සැබෑ ජාතික සංහිඳියාව සඳහා පාලමක් ඉදිකිරීමට ජාතියක් ලෙස අපි අසමත් වූවෙමු. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ‘මානව හිමිකම් කෙවිට’ වනමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අත දැමීමට පටන් ගැනීම බව ඔබතුමා ද පිළිගන්නවා ඇත.

එතැන් පටන් සංහිඳියාව නාමයෙන් දියත් වූයේ සිංහල, දෙමළ මුස්ලිම් ජාතිකත්ව එක් කිරීමට වඩා දුරස් කිරීමට හේතු වන ක්‍රියාමාර්ග බව ද ඔබතුමා පිළිගන්නවා ඇත. එසේ වුවත් පසුගිය දිනවල අපට ඒ අඳුරු වලා තුළින් ඉතා දුර්ලබ රිදී රේඛාවක් දැකගත හැකි විය. කර්නල් රත්නප්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසකු විසින් ත්‍රස්තවාදී සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමේදී සහ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාවගේ දුක සැප බැලීමේදී පෙන් වූ උසස් මානුෂික ගුණාංග ඒ ජනතාවගේ හදවත් තුළ කොතෙක් ගැඹුරින් සටහන් වී ඇත් ද යන්න අපි දුටිමු. ඒ ජනතාවගේ කඳුළු තුළින් දිස්වූ ඔවුන්ගේ හදවත්, අප කියවූයේ ද කඳුළු පිරි දෙනෙතිනි. ඒ ආදර්ශය සිංහල, දෙමළ, මුස්ලිම් සමස්ත ජාතියටම අඟනා පාඩමක් කියා දී ඇත.

ඒ නිසා එම ආදර්ශය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් වනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ආරම්භයක් ලෙස විශ්වමඩු ජනතාවගේ ඉල්ලීම පරිදි ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් වූ නිලධාරියාට නැවත ඔහු දැරූ වගකීම පවරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඊට බාධා වන එම නිලධාරියාගේ පුද්ගලික දුෂ්කරතා ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා පිළියම් යොදන ලෙස ද ඉල්ලා සිටිමු.

මෙයට,
විශ්වාසී

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018-06-13

Related posts

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

Admin