Colombo Today Local News

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්

“2017 වසර සඳහා වූ වාර්ෂික මහ බැංකු වාර්තාව 2018 අප්‍රේල් 17 දින මේආණ්ඩුව වසින් පත්කරන ලද මහ බැංකු අධිපතිතුමා විසින් මුදල් ඇමතිතුමාට භාර දුන්නා.  මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කලා කියන එක ආණ්ඩුව පත් කරපු මහ බැංකු අධිපතිතුමා විසින්ම ලිඛිතවම මුදල් ඇමතිට දැනුම් දීලා තිබෙනවා.  අපට දැන් තිබෙන්නේ උපුටා දක්වන්න විතරයි.  ඒ අනුව බලන විට මහ බැංකු වාර්තාව එකම ඛේදවාචකයක්.” යැයි අද (17) දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා….

රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

මේ ආණ්ඩුව ණය බරායි ණය බරායි කියලා කෑ ගැහුව්වාට ඇත්තෙන්ම ණය අර්බූදයක් හැදුවේ මේ ආණ්ඩුවමයි.  රටක ණය බර මනින ලෝක සම්මත මිම්ම තමයි ආණ්ඩුවක සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීම.  ඒ අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වන විට ණය බර 102%යි.  මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෙදර යන විට ණය බර 71% දක්වා පහත දාලයි තිබුණේ.  ආර්ථික මොල ඉන්න මේ ආණ්ඩුව දන්න ශිල්ප ඔක්කොම පෙන්වලා ණය බර 78% දක්වා ඉහළ නංවලා.

2014 අග දී රුපියල් ට්‍රිලියන 7.4ක් සමස්ත රාජ්‍ය ණය 2017 වසර අග දී රුපියල් ට්‍රිලියන 10.3ක් දක්වා 39%කින් ඉහළ නැගලා.  මුකුත් නොකර නිකන් ඉන්න අතරේ රාජ්‍ය ණය 39%කින් වැඩි වෙලා නම් ඒ මුදලට කරපු දේ පිළිබඳ අපට සාධාරණ සැකයක් මතු වෙනවා.

අපි ආණ්ඩුව භාර දෙන විට ඩොලරයක අගය රුපියල් 131යි.  දැන් ඒක රුපියල් 159 දක්වා ඉහළ නැගලා.  ඒ කියන්නේ කිසිම ඩොලරයක් වැඩිපුර ණයට නොගත්තත් සෑම ණය ඩොලරයක් සඳහාම රුපියල් 28කින් ණය ප්‍රමාණය ඉහළ යනවා.  පසුගිය මාස 40ට පමණක් රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 836ක් හෙවත් කෝටි 83,600ක් වැඩි වී තිබෙනවා.  හම්බන්තොට වරාය වගේ හයක් හදන්න තරම් මේ මුදල දැවැන්තයි.

මේ අතරේ ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෝ කියන්නේ ඩොලර් වලින් ගන්නා ණය ඩොලර් වලින්ම ගෙවනා නිසා රුපියල අවප්‍රමාණය වීමෙන් ණය ප්‍රමාණය වැඩි වෙන්නේ නැතිලු.  නමුත් මේ අයට අමතක වුණු කාරණය තමයි ආණ්ඩුවට ඩොලර් ආදායමක් නොමැති බව.  ආණ්ඩුව බදු අය කරන්නේ රුපියල් වලින්.  ආණ්ඩුව බලපත්‍ර ගාස්තු අය කරන්නේ රුපියල් වලින්.  නමුත් විදේශ ණය ගෙවන්නේ ඩොලර් වලින්.  එදා ණය ආපසු ගෙවන්න ඩොලරයක් මිළ දී ගන්න ගෙව්වේ රුපියල් 131යි.  දැන් ගෙවන්න ඕනෑ රුපියල් 159ක්.  ඒ වැඩි වුණු රුපියල් 28 සොයා ගන්නේ ජනතාව මත බදු බර පටවලා. මේ ආණ්ඩුවට වැඩි වැඩියෙන් බදු පනවන්න සිදු වීමට රුපියල අව ප්‍රමාණය වීම ප්‍රභලම කාරණයක් ලෙස බලපා තියෙනවා.

පසුගිය කාලේ රුපියල අවප්‍රමාණය වීම වලකා ගන්න ඩොලර් මිලියන 136ක් මූල්‍ය වෙළඳපොලට මුදා හැරියා කියලා මහ බැංකු අධිපති මාධ්‍ය හමුවක දී පැවසුවා.  රුපියල අවප්‍රමාණය වීම ප්‍රශ්නයක් නොවේ නම් රුපියල රැක ගන්න මෙතරම් විශාල ඩොලර් ප්‍රමාණයක් නාස්ති කලේ ඇයි කියන එකට මහ බැංකුව උත්තර දිය යුතුයි.

1980 දශකයේ සිටි එජාප ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් රත්නකාර මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී රුපියල අවප්‍රමාණය වීම ගැන අපූරු උත්තරයක් දුන්නා.  “කවුද කියන්නේ රුපියල අවප්‍රමාණය වෙලා කියලා.  රුපියලට එදත් ශත 100යි.  අදත් ශත 100යි“.  මේ ආණ්ඩුවේ ලොක්කන් දෙන්නේ අන්න ඒ වගේ උත්තර තමා.

Related posts

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

අපේ ජනතාවට රනිල් තිත්ත බෙහෙත් බොන්න දීලා. – කේ.ඩී. ලාල්කාන්ත

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin

ගණිකා වෘත්තීය නීති ගත කරන්න දැම්ම පනතට ඥානසාර හිමි එරෙහි වෙලා. අජිත් ප්‍රසන්නගේ වෛරය ඒ නිසයි – ආබාදිත රණ විරුවෝ කියති

colombotoday

රාජිතට හොදම ස්ථානය බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයයි.

colombotoday

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday