Colombo Today Local News

තිලංග සුමතිපාල ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දෙමින්, නොබෙල් ත්‍යාගලාභීන් පවා සහභාගි වූ අතිශය වැදගත් මූල්‍ය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමේ භාග්‍යය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට හිමිවී ඇති අතර තවත් එවැනිම ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමටද ඔහුට ඇරයුම් ලැබී තිබේ.

තිලංග සුමතිපාල මහතා ඇමැතූ චීනයේ ‘ෆයිනෑන්ෂල් ස්ටී්‍රට් ෆෝරම්’(Financial street forum) වාර්ෂික සමුළුවේ තේමාව වූයේ ‘ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය මෙහෙවර’ යන්නය. තෙදින සමුළුවක් වූ එය ඔක්තෝබර් 20දා සිට 22 දින දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ පවතින පුළුල් ආර්ථික හා මූල්‍ය සබඳතා සන්දර්භය තූළ මෙම සමුළුව ඇමැතීමට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාවක් ලැබීම සුවිශේෂී වැදගත්කමක් ගනී.

චීනයේ මූල්‍ය ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රතිපත්ති නිවේදනය කිරීමේ මෙන්ම මූල්‍ය ව්‍යාපාරයේ අන්තර්ජාතික හුවමාරු පහසුකම් සැලසීමේ හා සහයෝගිතාවයේ නිල වේදිකාව වන්නේද ‘ෆයිනෑන්ෂල් ස්ටී්‍රට් ෆෝරම්’ය. එය එරට තුළ මෙන්ම විදේශීය මූල්‍ය අංශවලද මහත් ගෞරවයට පාත්‍ර වූවකි.
සමුළුව එහි පූර්ණ සැසිවාරයට සමගාමීව ‘ප්‍රතිපත්ති සංවර්ධනය (සංවර්ධනය යළි ලබා ගැනීම) හා මූල්‍ය වගකීම’, ‘මූල්‍ය සේවා හා සමායෝජිත සංවර්ධනය’, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ සහ ‘මූල්‍ය තාක්ෂණය හා නිර්මාණාත්මක සංවර්ධනය’ යනුවෙන් නම් කළ තවත් සංසද හතරකින්ද සමන්විත විය.

තිලංග සුමතිපාල මහතා මෙහිදී “තීරුව හා මාවත ඇරැඹුම: ආර්ථික පුනර්ජීවනය හා හරිත සංවර්ධනය” (“the Belt and Road Initiative : Economic Recovery and Green Development”) යන මැයෙන් සිය දේශනය පැවැත්වූ අතර පූර්ණ සමුළුවටද, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ යන සමගාමී සංසදයේ විද්වත් සාකච්ඡාවටද සහභාගි විය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්, ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යා විශේෂඥයන්, විදේශ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ තවත් විද්වතුන් සහභාගි වූ මෙම සමුළුව අමතා චීනයේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යිංමිං යැං, මූල්‍ය සංවර්ධනය සඳහා වන බහු පාර්ශ්වීය සහයෝගිතා කේන්ද්‍රයේ මූල්‍ය පහසුකම් සැලසීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොන්ජිං වැං, කොරියාවේ ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ සභාපති ආචාර්ය අයි. අයි. හොංග් ලී, කීර්තිමත් ඉන්දීය ආර්ථික විශේෂඥයකු වන එසේම පහළොස්වැනි මුදල් කොමිසමේ (2017-2020) සාමාජිකයකු වූද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධ ගෝලීය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙහි විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළ අනූප් සිං යන මහත්වරුද සමුළුව ඇමැතූහ.
සංස්කෘතික උරුමයන් සහ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය උදෙසා තිලංග සුමතිපාල මහතා දක්වන සහායට කෘතඥතාව පළකරමින් ලබන 29 වැනි දින චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ විදේශ හුවමාරු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව ඇමැතීමට ඔහුට ආරාධනා කොට ඇත්තේ ජාත්‍යන්තර කොන්ෆියුෂන් සංගමය(ICA) විසිනි.

“ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම: ආසියාවේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” : ( Enhancing mutual learning among Asian civilizations, promoting common development in Asia) ( Enhancing mutual learning among Asian civilizations, promoting common development in Asia) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
සමුළුවෙහි අරමුණ වන්නේ ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය හැදෑරීම හා ඉගෙනීම සඳහා රාජ්‍ය නොවන ශාස්ත්‍රීය හා සංස්කෘතික හුවමාරු වේදිකාවක් ගොඩනැංවීමය. එමඟින් සුසංගත ප්‍රගමනයක් හා සහයෝගිතාවක් ආසියානු රටවල් අතර ඇති කිරීමය. හැඟීම් හා ළැදියාවන් අතර එකඟතාව හා සහයෝගිතාව කොන්ෆියුසස් චින්තනයේ කේන්ද්‍රීයම කරුණ වන්නේය.

සිතුම් පැතුම්වල එම අන්‍යොන්‍ය අවබෝධය තුළින් විෂමතා සමනය කිරීමද, ආසියානු ශිෂ්ටාචාර අතර පොදු එකඟතාවන් හා සංවර්ධනය හුවමාරු කර ගැනීමද සමුළුවේ අපේක්ෂාවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවටද, පොදුවේ සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික සහ වෙනත් ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් ආසියානු ශිෂ්ටාචාරවලට සුවිශේෂ දායකත්වයක්ද තිලංග පිරිනමා ඇතැයි අදාළ දේශනය සඳහා ඇරයුම් කරමින් සමුළු සංවිධායකයන් සඳහන් කර ඇත.

‘කොන්ෆියුසස් ධර්මය සහ පොදු එකඟතාවන්හි වටිනාකම්’, සංස්කෘතික හුවමාරු හා අන්‍යොන්‍ය ඉගැනීම් සහ ‘ආසියාවේ අනාගතය සහ යෞවනයෝ’ යන මාතෘකා යටතේ සමුළුවේදී විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිවාර තුනක්ද පැවැත්වෙයි.

පීකිං විශ්වවිද්‍යාලයේ ප්‍රධානී හාවෝ ෂිං, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන්, ජාත්‍යන්තර කොන්ෆියුසියන් සංගමයේ ප්‍රධානී ලියු යැං ඩොංග්, එහි සභාපති ෆුකුඩා යසුබ්, කසකස්ථානයේ හිටපු අගමැති කරීම් මැසිමෝව්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සභාපති කිෂෝර් මාබුබානි, තායිලන්තයේ මහා චත්‍රරි සිරින් ඩෝරන් කුමාරිය ඇතුළු විද්වතුන් රැසක් සමුළුව ඇමැතීමට නියමිතය.

Related posts

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

colombotoday

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday