Colombo Today Local News

රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය.

පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.

ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය.

මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය.

ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති.

මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය.

මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.

පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ.

එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි.

අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි.

කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය.

එම අගය මිලිමීටර් 74.9කි.

කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Related posts

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

දිනකට පාඩුව රු මිලියන 38යි… සිපෙට්කො ඉන්ධන මිළ ඉහළ දැමීම අනිවාර්යයි !

colombotoday

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday