Colombo Today Local News

ශ්‍රීලංකන් ගුවන් සේවයේ දෙන කජු බල්ලෙකුටවත් කන්න බැහැ – ජනාධිපති

ජාවාරම්කරුවන්ට සහ දේශපාලනඥයන්ට ඕන විදිහට පිටරටින් පලතුරු ගේන්න ඉඩ දෙන්න එපා යෑයි ඒ සඳහා අවසර දෙන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා) පැවසීය.

ජාතික සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්‌වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක්‌වෙමින් ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

අප රට පුරා ආරම්භ කර ඇති පුරන් කුඹුරු අස්‌වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ගොවි ජනතාව දැනුවත් කිරීමට එක්‌වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. පුරන් කුඹුරු පිළිබඳව අපේ රටේ ගොවි ජනතාවට තිබෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීමක්‌. ඒ වගේමයි කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටත් විශාල අත්දැකීම් තිබෙනවා.

අප කතා කරන මහා පැරකුම් යුගයේ ආර්ථික සමෘද්ධිය අධි තාක්‌ෂණික ලෝකයේ අනාගත සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීමට යාමේ දී අපට බාධාවන් තිබෙනවා. රටේ විවිධ ක්‌ෂේත්‍රවල වාර්ෂික සංවර්ධන ඉලක්‌ක, සංවර්ධන සැලසුම් ගත්විට සම්පූර්ණ කිරීමට අපහසුවන කරුණු කිහිපයක්‌ තිබෙනවා.

ඒ කරුණු අපට පමණක්‌ නෙවෙයි, ලෝකයේ සියලුම රටවල්වලට අදාළයි. ජාතික සැලසුම්වලට අපි වාර්ෂිකව මුදල් වෙන් කරනවා. ඒ වගේම විවිධ ක්‍ෂේත්‍රවලට ජාතික සැලසුම් හදනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ සැලසුම් බොහෝ විට අපේක්‌ෂිත ඉලක්‌ක කරා යන්නේ නැහැ. එම සැලසුම් ඉදිරියට නොයන්න සෑම රටකටම අපේක්‌ෂා නොකළ සිදුවීම් වෙනවා. ඒ තමයි ස්‌වභාව ධර්මයාගෙන් ඇතිවන අභියෝග.

අපේ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවාවට 2019 වසරට රුපියල් කෝටි 5000 ක්‌ වෙන් කළා. බෙහෙත්වලට මෙච්චරයි, යන්ත්‍ර සූත්‍රවලට මෙච්චරයි, ගොඩනැඟිලිවලට මෙච්චරයි, පරිපාලන වියදම්වලට මෙච්චරයි කියලා වෙන් කරනවා. නමුත් අපේක්‌ෂා නොකළ ලෙසට ලෙඩ රෝග මතුවෙනවා. ඩෙංගු, වසංගත, ගංවතුර හානි තුළ ඇතිවන ලෙඩ වෙන්න පුළුවන්, නියඟය නිසා ඇතිවන තත්ත්වයන් වෙන්න පුළුවන්. එතනදී වාර්ෂික සෞඛ්‍ය සැලසුම් වෙනස්‌ වෙනවා. කෘෂිකර්මාන්තයත් එහෙමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සැලසුම් හදනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. නමුත් මුදල් මෙච්චරයි මේ වසරට, මෙන්න සැලසුම්, මෙන්න නිෂ්පාදන ඉලක්‌ක කියලා බලාපොරොත්තු වෙනවා අපේක්‌ෂිත ඉලක්‌ක ළඟාකරගන්න පුළුවන් කියලා. නමුත් බලාපොරොත්තු නොවන විදියට නියඟයක්‌ එනවා. එවිට ඔක්‌කොම ඉවරයි. බලාපොරොත්තු නොවන විදියට ගංවතුරක්‌ එනවා. එවිටත් ඔක්‌කොම ඉවරයි.

පුරන් කුඹුරු ඇතිවෙන්නේ කුමන කාරණයක්‌ නිසාද කියා සිතා බැලුවොත් ඒවා ඇතිවන කරුණු කිහිපයක්‌ තිබෙනවා. එකක්‌ තමයි අති විශාල වශයෙන් ඉඩම් තිබෙන අය වෙනත් ආර්ථික ශක්‌තීන් ඇතිවිට කු=ඹුරු අත්හැර දැමීම සිදුකරනවා. ඔවුන් සිතනවා තමන්ගේ අනෙක්‌ ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි මේ සඳහා කාලය ගත කරන්න ඕන නැහැ කියලා. මෙයින් පොඩි ආදායමක්‌ තිබෙන්නේ කියා සිතනවා. ඒ එක කාරණයක්‌. අඩු ආදායම්ලාභී සාමාන්‍ය ගොවි ජනතාවට තිබෙන ඉඩම්වලින් කාලගුණික සහ දේශගුණික බලපෑම් නිසා කුඹුරු වැඩ කරගන්න බැරිව අත්හරිනවා. ඒවා පුරන් කුඹුරු වෙනවා.

ජාතික සංවර්ධන ව්‍යාපෘති සෑදීමේ දී නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිව කිරීම නිසා ඇතැම් වෙලාවට කුඹුරු ගොඩවෙනවා. ජල මාර්ග හරස්‌ වී කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය නොමැති වීමෙන් කුඹුරු පුරන් වෙනවා. මෙවැනි කරුණු ගණනාවක්‌ කුඹුරු පුරන් වීමට හේතු වෙනාවා. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේත් පුරන් කුඹුරු තිබෙනවා නම් ඔය කරුණු තුනටම ඇතුළත් කුඹුරු ඇති. ලංකාවේ පුරන් කුඹුරු වැඩිම පළාත බස්‌නාහිර පළාත. මම කෘෂිකර්ම ඇමැතිවරයා විදියට අවුරුදු හයක්‌ සිටි නිසා මම දන්නවා. මේ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපයේ දී පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා නියඟය නිසා. පසුගිය මාස හත, අටේ ගෙන්නුවේ නැහැ. මේ අවුරුද්දේ වර්ෂාව ඇතිවීම නිසා නියඟය පැවැති ප්‍රදේශවල එම තත්ත්වය අඩු වුණා. හම්බන්තොට ඇතැම් ප්‍රදේශවල නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ විශාල වශයෙන් නියඟය තවමත් තිබෙනවා. මෙහි තිබෙන තත්ත්වයන් අපි හඳුනාගෙන මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. ඇමැතිතුමා පිටරටින් ගෙන්වන ආහාර ලැයිස්‌තුවක්‌ සඳහන් කළා. දොඩම්, බඩ ඉරි`ගු, මිරිස්‌, කජු වැනි දේවල් සඳහා යන වියදමත් සඳහන් කළා. මේවා ගේන්න අවසර දෙන්නේ කවුද? අවසර දෙන අයත් මෙතන ඉන්නවානේ. කජු ගේන්න කවුද අවසර දෙන්නේ? බඩ ඉරිඟු ගෙන්වීමට කවුද අවසර දෙන්නේ? දොඩම් ගේන්න කවුද අවසර දෙන්නේ? ඒ සඳහා අත්සන් කරන මහත්වරු මෙහි සිටිනවා. අපි ලැයිස්‌තුවක්‌ කියනවා මේවා ගේනවා කියලා. එක එක ජාවාරම්කාර මුදලාලිලාට ඕන විදියට ජාවාරම්කරුවන් එක්‌ක හවුල් වී සිටින දේශපාලනඥයන්ට ඕන විදියට, මේවා ගේන්න දෙන්න එපා. ඇමැතිතුමා සඳහන් කළා අවුරුද්දකට රු. කෝටි 96 ක වැඩිය වටිනාකමක දොඩම් ගේනවා කියලා. තමුන්නාන්සේලා අත්සන් නොකර හිටියානම් හරි පිටරටින් ගෙන්වන දේවල්වලට.

මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක්‌ කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? බඩ ඉරිඟු මේ රටට ගෙන්වීම පිළිබඳව ප්‍රතිපත්තියක්‌ ලෙස මම හැමදාම විරුද්ධයි. මම මහවැලි ඇමැතිවරයා විදියට අවුරුදු 16 ක්‌ වැඩ කරලා තිබෙනවා. ලංකාවේ මහවැලි ඇමැතිවරයා විදියට වැඩිම කාලයක්‌ වැඩ කර තිබෙන්නේ මම. කෘෂිකර්ම ඇමැතිවරයා විදියට අවුරුදු 6 ක්‌ සිටියා. මේ ක්‍ෂේත්‍ර පිළිබඳව දන්න නිසායි මම කියන්නේ. මේ රටේ වගා කිරීමට හැකි දේවල් එක එක ජාවාරම්කාරයන්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉස්‌සරහට දාලා ගෙන්වන එක නතර කළ යුතුයි. මේ පුරන් කුඹුරු අස්‌වැද්දවීමේ වැඩසටහන සාර්ථක කරන්න තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න. මේ ආණ්‌ඩුවෙනුත් ගිං-නිල්වලා ගැන නැවත පරීක්‌ෂණයක්‌ කරන්න වෙයි කියා මට හිතෙනවා, ඇයි මේ ප්‍රමාදය. මම ඒ කාරණයත් දන්නවා. ඒ නිසා ගිං – නිල්වලා ව්‍යාපෘතියේ වගකීම තිබෙන අය කවුරුන් හෝ වේවා තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්‌සම් කරගෙන කටයුතු කරන්න. මෙහි කැබිනට්‌ පත්‍රය මාස තුනක්‌ ප්‍රමාද වුණා. ඒ ඇයි කියාත් මම දන්නවා. ඉතිරි ටික මගෙන් රටට ප්‍රකාශ කරගන්නේ නැතුව එම කටයුත්ත කරන්න කියා මම ඔවුන්ට ප්‍රසිද්ධියේම කියනවා.

Divaina

Related posts

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

colombotoday

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය

colombotoday

‘වල්බූරු නිදහස’ නිර්ණය කරන්න ‘වල් බූරුවකුට’ දුන්නොත් කුමක් වෙයිද? – වාසු කියයි

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday