Colombo Today Local News

අර­න්තලා භික්ෂු ඝාත­ක­යන් වසර 33කට පසු නීතිය හමු­වට

සාම­ණේර හිමි­ව­රුන් ඇතුළු භික්ෂූන් වහන්සේ 31 නමක් හා ගිහි­යන් තිදෙ­නකු ඝාත­නය වූ අර­න්ත­ලාවේ භික්ෂූ ඝාත­නය ගැන පසු­ගි­යදා යළි කර­ළි­යට ආවේය. ඒ අර­න්තලා භික්ෂු ඝාත­න­යෙන් වසර 33කට පසු­වය. අර­න්ත­ලාව් සිදුවූ භික්ෂූ ඝාත­න­යෙන් දිවි ගල­වා­ගත් මේ වන විට ජීව­තුන් අතර සිටින භික්ෂූන් වහන්සේ දෙන­ම­ගෙන් එක් නමක වන ආඳා­උ­ල්පත බුද්ධ­සාර හිමි­යන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් සලසා බැලී­මෙන් පසුව එය කතා­බ­හට ලක් විය.

උන් වහන්සේ විසින් 2020 ජූනි මස 30 දින මේ සම්බ­න්ධ­යෙන් මූලික අයි­ති­වා­සි­කම් නඩු­වක් ගොනු කළේ SC (FR) 195/2020 අංකය යට­තේය. අදාළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම විභා­ග­යට ගැනී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීර­ණය කිරී­මෙන් පසුව එය නොවැ­ම්බර් මස 12 වැනි­දාට දින නියම කෙරිණි.

අර­න්තලා ඝාත­නය සම්බ­න්ධ­යෙන් යළිත් විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස නීති­ප­ති­ව­රයා විසින් වැඩ­බ­ලන පොලි­ස්පති චන්දන වික්‍ර­ම­සිං­හට දන්වන්නේ ඒ අනු­වය.

එම ප්‍රහා­ර­යෙන් දිවි ගල­වා­ගත් ජීව­තුන් අතර සිටින භික්ෂූන් වහ­න්සේ­ගෙන්ද ප්‍රකාශ සට­හන් කර ගන්නා ලෙසද නීති­ප­ති­ව­රයා විසින් උප­දෙස් ලබා දී ඇත. එමෙන්ම ඒ සම්බ­න්ධව කඩි­න­මින් විම­ර්ශ­න­යක් සිදු කළ යුතු බවත් එම විම­ර්ශ­නය සම්බ­න්ධ­යෙන් සති දෙකක් ඇතු­ළත වාර්තා­වක් ලබා දෙන ලෙසද නීති­ප­ති­ව­රයා විසින් දැනුම් දී තිබේ.

අර­න්ත­ලාවේ භික්ෂූ ඝාත­නය සිදු­වූයේ 1987 වස­රේ­දීය. ඒ සම්බ­න්ධව විම­ර්ශ­න­යක් සිදු කෙරෙන්නේ වසර 33කට පසුව වීම විශේෂ සිද්ධි­යකි.

විශේ­ෂ­යෙන්ම එව­කට නැඟෙ­න­හිර එල්ටී­ටීඊ නාය‍කයා වූ කරුණා අම්මාන් හෙවත් වින­යා­ග­මූර්ති මුර­ලි­ද­රන් මෙම ප්‍රහා­ර­යට වග­කිව යුතු බවට මත­යක් නිර්මා­ණය වී තිබුණි. එම මත­යට අනුව ඔහුට විරු­ද්ධව හෝ එල්ටී­ටීඊ සංවි­ධා­න­යට විරු­ද්ධව හෝ නීත්‍යා­නු­කූ­ලව පිය­වර ගැනීම මෙහි අර­මුණ වී ඇත.

මේ සිදු­වීම සම්බ­න්ධව ඇසින් දුටු ප්‍රභ­ලම සාක්ෂ්‍ය වන්නේ එම බස්ර­ථයේ එදා ගමන් කර දිවි ගළවා ගත් ආඳා­උ­ල්පත බුද්ධ­සාර හිමි­යන්ය. උන් වහන්සේ අද දිවි ගෙවන්නේ මහි­යං­ග­ණය බිබිල මාර්ගයේ රිදී­මා­ලි­යද්ද කුඩා ආවා­ස­ය­කය. පූර්ණ ආබා­ධි­තව දිවි ගෙවන උන් වහන්සේ රෝද පුටු­ව­කට සීමා වී ඇත.

අම්පාර ඩිපෝ­වට අයත් 60 – 3599 බස් රථ­යෙන් 1987 වසරේ ජූනි මස 2 වැනිදා හෑගොඩ ඉන්ද්‍ර­සාර නාහිමි ප්‍රමු­ඛව සාම­ණේර හිමි­ව­රුන් ඇතුළු භික්ෂූන් වහන්සේ වැඩම කෙළේ විශේෂ ධර්ම ප්‍රචා­ර­ය­ක­ටය.

‘‘ඒ අවා­ස­නා­වන්ත දිනය මට හොඳට මත­කයි එත­කොට මට වයස අවු­රුදු 17යි. හෑගොඩ ඉන්ද්‍ර­සාර නායක හාමු­දු­රුවො සිදු කරන ධර්ම ප්‍රචා­රක වැඩ සට­හ­න­කට සහ­භාගි වෙන්නයි අපි ගියේ. නායක හාමු­දු­රු­වන්ට ඕන­ක­රල තිබුණෙ පළමු රහත් 60 නම වෙනු­වෙන් ධර්ම ප්‍රචා­රය කිරීම ආරම්භ කර­න්නයි.

1987 ජූනි මාසෙ 7 වැනිදා කළු­තර බෝධීන් වහන්සෙ ළඟ ඉදල කත­ර­ග­මට ධර්ම ප්‍රචා­රක චාරි­කා­වක් ආරම්භ කරන්න නායක හාමු­දු­රු­වන්ගේ සැල­සු­මක් තිබුණා. ඒකට සහ­භාගි වෙන්න 2 වැනිදා මහ­නු­ව­රට ගිහින් මහ­නා­යක හිමි­ය­න්ගෙන් ආශි­ර්වා­දත් අර­ගෙන, කැලණි විහා­රය වැද­ගෙන කොල්ලු­පි­ටිය පුෂ්පා­රාම විහා­ර­යට ගිහින් එහේ ඉදල පසුව කළු­තර දක්වා යන එකයි සැල­සුම වුණේ.

උදේ 6.00ට විතර අම්පාර මහා­වාපි විහා­ර­යෙන් ගමන යන්න බස් එකට කට්ටිය නැංගුවේ මමයි. නාම ලේඛ­නයේ ඉන්න හාමු­දු­රු­වරු නම් කතා­ක­රල බස් එකේ අසුන් ගැන්වූවා. හාමු­දු­රු­වරු 37 නමක් හිටිය මාත් එක්ක. රියැ­දුරු කොන්දො­ස්තර මහ­ත්වරු ඇරෙන්න ගිහි අය දෙන්නෙක් හිටිය. සේරම කට්ටිය 41යි. අපි ටිකක් විනෝ­දෙන් හයි­යෙන් කතා බහ කර­මින් බස් එකේ ගමන් කෙළේ. නුගේ­ලන්ද, රජ­ගල තැන්න පහු­ක­ර­ගෙන යද්දි නායක හාමු­දු­රුවො කිව්වා දැන් ඇති විනෝද වුණා. අපි පිරිත් සඡ්ඡා­යනා කරමු කියලා. නායක හාමු­දු­රු­වොත් එක්ක අපි පිරිත් කිව්වා. අර­න්ත­ලාව නුව­ර­ග­ල­තැන්න 29 වැනි හැතැප්ම කණුව ගාවට ආවා විත­රයි. පාර හරහා තිබුණු කොට­යක් දැකල රියැ­දුරු මහ­ත්තය බස් එක නැවැ­ත්තුවා. ඒ එක්කම රියැ­දුරු මහ­ත්තයා ‘හාමු­දු­රු­වනේ ඔන්න කොටි.. කොටි.. කොටි‘ කියල කෑගැ­හුවා. ඒ එක්කම බස් එකට නැග්ග ත්‍රස්ත­වා­දි­යෙක් දිග නැමුණු පිහි­යක් රියැ­දු­රාගෙ බෙල්ලට තියල කිව්වා ‘බස් එක කැලෑ­වට එල­වන්න‘ කියලා. මීටර් 100ක් විතර බස් එක ගෙනි­හින් නැවැ­ත්තුවා. දොර ළඟයි; ඇතු­ළෙයි ත්‍රස්ත­වා­දීන් 4 දෙනෙක් හිටියා. “උඹල මට ඕන දෙයක් කර­පල්ල මේ මගේ දරු පැට­වුන්ට කිසි දෙයක් කරන්න එපා”.

එහෙම කියපු නායක හාමු­දු­රු­වන්ට දිග පිහි­යක් ඉස්සුවා. ඒක බස් එකේ වහලෙ වැදිල නැව­තුණා. ඒ තිරි­සන්නු එයින් නැව­තුණේ නැහැ. රියැ­දුරු මහ­ත්ත­යත් කොන්දො­ස්තර මහ­ත්ත­ය­ටත් දිගට හර­හට ලොකු පිහි­ව­ලින් කපල කොටල දැම්ම, පොඩි හාමු­දු­රු­ව­රුන්ගේ විලාප මැද ලොකු හාමු­දු­රු­ව­න්ටත් පිහි­ව­ලින් කෙටුවා. බස් එකේ හිටපු සේරම හාමු­දු­රු­ව­රුන් පිහි­ව­ලින් කපා­ගෙන පිටි­ප­ස්සට ආවා.

අපේ හාමු­දු­රු­වරු එක්කෙනා පිට එක්කෙනා වැටුණා. මම හිටියෙ පිටි­ප­ස්සෙම සීට් එකේ. මමත් බිමට වැටුණා. ඒත් එක්කම ඒ තිරි­සන්නු සීට් අස්සෙ හැංගිලා හිටපු අවු­රුදු 8 – 9 පොඩි හාමු­දු­රු­වරු එළි­යට ඇදල කපල කොටල මදි­වට බිම වැටිල මැරුණු නැති අය ඇති කියල වෙඩි තියා­ගෙන ගියා. මගේ පිටට වෙඩි 3ක් වැදුණා මට මත­කයි. මට නින්ද යනවා වගේ දැනුණා.

ඒ ප්‍රහා­ර­යෙන් බර­ප­ත­ළම තුවාල ලැබුවේ මමයි. මට පියවි සිහිය ආවේ හාමු­දු­රු­ව­රුන්ගේ තුන් මාසෙ දානෙත් දුන්නට පස්සෙයි. කලින් සිහිය ඇවිත් තිබු­ණත් පිටේ තිබුණු උණ්ඩ­යක් අයින් කරාට පස්සෙ තමයි මට අම්මා, තාත්තා පවා අඳු­ර­ගන්න පුළු­වන් වුණේ. අද­ටත් ඒ ස්නායු ආබා­ධ­ය­න්ගෙන් මම පීඩා විදි­නවා. මාන­සි­කව ලොකු පීඩ­න­ය­කින් ඉන්නේ. අද ජූනි 2 වැනිදා භික්ෂු ඝාත­නය ගැන කතා කරත් කිසි කෙනෙ­කුට අපිව මතක නැහැ. මම විත­රක් නෙමෙයි අම්පාර කල්මුණේ පාරෙ සාම විහා­රයෙ හඟු­ර­න්කෙත පුඤ්ඤ­ර­තන හාමු­දු­රු­වොත් මේ ප්‍රහා­ර­යෙන් අන්ත අස­රණ වෙලා ඉන්නෙ.

උන් වහ­න්සේ­ගෙත් ඇග ඇතුළෙ උණ්ඩ තියෙ­නවා. මම ඉන්න ආවා­සෙට දානෙ ටික­ක්වත් ලැබෙන්නෙ නැහැ. උයා­ගෙන තමයි වළ­දන්නෙ.

අර­න්ත­ලාවෙ භික්ෂු ඝාත­න­යෙන් අවු­රුදු 23ක් යන­කල් ඒ කියන්නෙ 2010 මහින්ද රාජ­ප­ක්ෂ­යන් ජනා­ධි­පති ධුරය දරන කාලෙ වෙන­කල් මට මාසෙ­කට ලැබුණෙ රුපි­යල් 300ක ජීව­නා­ධාර දීම­නා­වක් විත­රයි. මම මේ ගැන එතු­මාට දැන්වූ­වාට පස්සෙ මහා­භා­ර­කාර දෙපා­ර්ත­මේ­න්තුව හරහා රුපි­යල් 8000ක් වෙන් කරන්න මහා­භා­ර­කා­ර­ව­රයා කට­යුතු කළා. පස්සෙ කරපු ඉල්ලී­ම්ව­ලින් බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව හරහා තවත් රුපි­යල් 5000ක් ලැබුණා. නැව­තත් මම ඉල්ලී­මක් කළා මට බෙහෙත් ගන්න ඒ මුදල් මදි බව පෙන්වලා. ඒ අනුව මහා­භා­ර­කාර දෙපා­ර්ත­මේ­න්තු­වෙන් තවත් රුපි­යල් 5000ක් ලැබෙ­නවා. ඒ විදි­හට රුපි­යල් 18,000ක් දැන් මාසි­කව ලැබෙ­නවා.

එදා සිද්ධි­යෙන් නායක හාමු­දු­රු­වොත් එක්ක හාමු­දු­රු­වරු 31 නමක් අප­වත් වුණා. ගිය අයගේ නම් ගම් පවා මට තාම මත­කයි. රියැ­දුරු මහ­ත්තය දන්කො­ටුවේ පී.ජී. සම­ර­පාල, කොන්දො­ස්තර අවි­ස්සා­වේල්ලේ එන්.ජී. ජින­දාස මහ­ත්ත­යත්, ඊට අම­ත­රව අම්පාර නව නග­රයේ අවු­රුදු 18 ක වසන්ත ජය­ව­ර්ධන තරු­ණ­යත් මිය ගියා.

මාත් එක්ක ස්වාමීන් වහන්සේ 6 නමක් දිවි ගලවා ගත්තා. අපි එක්ක ගිය සාම­ණේර හිමි­න­ම­කගේ තාත්තත් බේරුණා.

මට පියවි සිහිය ආවට පස්සෙ ආරංචි වුණා අපිත් ගිහින් මාරා­න්තික ප්‍රහා­ර­යෙන් බේරුණා කියලා කිහිප දෙනෙක් දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පැත්තෙ සම්මා­දම් පවා එකතු කරපු බව. අර­න්ත­ලාවෙ පිරි­වෙනේ නත­ර­ක­රල ගිය පොඩි හාමු­දු­රු­වරු අපිව ඉස්පි­රි­තා­ලෙට ගෙනා­වට පස්සෙ ඇවිත් අපිව බදා­ගෙන අඬද්දි එයා­ලගෙ සිවු­රු­වල ලේ තැව­රිලා එයා­ල­වත් බස් එකේ ගිහින් බේරුණු අය ගාණට දාල තිබුණු බවත් ආරං­චියි. ඒ බස් එක දිහා බල­පු­ව­හම යන්න පුළු­වන් පිරිස හිතා ගන්න පුළු­වන්නෙ. හාමු­දු­රු­වරු හිට­ගෙන වැඩියෙ නැහැ. අනිත් කාරණේ තමයි මාධ්‍ය මඟින් ප්‍රචා­රය කරල තිබුණ මහ­නු­වර උප­ස­ම්ප­දා­ව­කට වැඩම කරපු හාමු­දු­රු­වරු කියලා. අවු­රුදු 8-9 හාමු­දු­රු­ව­රුන් උප­ස­ම්පදා කරන්නෙ කොහො­මද? ඒ සේරම මවා­පෑම්.

මේ නිසයි මම තීර­ණය කෙළේ සත්‍ය සමා­ජ­ගත කර­න්නත් අපිට සාධා­ර­ණ­යක් කර­ග­න්නත් අවු­රුදු 33කට පස්සෙ හරි නීති­යට අනුව කට­යුතු කළ යුතුයි කියල. මට නඩු­ව­ලට විය­දම් කරන්න මුදල් නැහැ. අධි නීතිඥ මහ­තෙක් මගේ මේ සැබෑ තත්ත්වය දැකල සියලු කට­යුතු නොමිලේ කරන්න ඉදි­රි­පත් වුණා.

මට කියන්න තියෙන්නෙ අර­න්තලා භික්ෂු ඝාත­නයේ සදා­කා­ලින දුක් විඳින අපි ගැන ටිකක් බලන්න කිය­ලයි. මම විත­රක් නෙමෙයි අප­වත් වෙච්ච පොඩි හාමු­දු­රු­ව­රුන්ගේ අම්මල තාත්තල අද ඉන්න හිටින්න, කන්න බොන්න නැති අනා­ථ­යන් වෙලා ඉන්නවා. ඒ පොඩි හාමු­දු­රු­වරු ජීව­ත්වෙලා හිටිය නම් උන්නා­න්සෙලා අම්ම තාත්තා ගැන බල­නවා. අද ඒ අය ගැන හොයන්න කවු­රුත් නැහැ. මේ තත්ත්ව­යට සහ­න­යක් ලබා ගන්නත් එක්කයි මම නීතිය හමු­වට ගියේ. එහෙම නැතිව රජ­ය­කට හෝ ආණ්ඩු­ව­කට එරෙ­හිව නෙමෙයි. අදට ජීව­ත්වෙලා ඉන්න ඒ ත්‍රස්ත­වා­දීන් ඒ වෙනු­වෙන් වග­කිව යුතු වෙනවා. ඒක නීති­යට බාර දෙන්නේ අපට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන ලෙස ඉල්ල­මින්.

අර­න්ත­ලාව ශ්‍රී ඉන්ද්‍ර­සාර ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථා­නා­ධි­පති කිරි­ඳි­වැල සෝරත හිමි­යන් එදා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ අපට පැව­සුවේ අර­න්තලා භික්ෂූ ඝාත­න­යෙන් පීඩා­වට පත්වූ දැනට ජීව­තුන් අතර සිටින භික්ෂූන් වහ­න්සේට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන ලෙසයි.

එමෙන්ම උන් වහන්සේ රජ­යෙන් ඉල්ලා සිටින්නේ ත්‍රස්ත­වා­දීන් විසින් දිඹු­ලා­ගල නායක හිමි­යන් ඇතුළු භික්ෂූන් වහන්සේ 40 නම­කට අධික පිරි­සක් ඝාත­නය වී ඇති බවත් එය සිහි කිරීම පිණිස සෑම වස­ර­කම ජූනි මස 2 වැනිදා ජාතික භික්ෂු අනු­ස්ම­රණ දින­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙසයි.

Related posts

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

colombotoday

ඈවරයි ! දෑවරයි !! ජෝන් ද සිල්වා රගහලත් විකුණන්න යයි… යහපාලන කලාකරුවෝ වැළපෙයි !

colombotoday

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

colombotoday

සේනාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි… අක්කර 10.000ක් විනාශයි…

colombotoday

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday