Colombo Today Local NewsHot News

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට අත පෙවීමට විදේශීය සමාගම් වලට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී, මොසැම්බික් රාජ්‍යයේ මාරාන්තික ගැටුම් අවුලවමින් මහා පරිමාණ පතල් හෑරීමක නිරත බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරයේ ඉල්ලම් ගරන්නට අනුමැතිය ලබාගැනීම පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබේ.

දකුණු අප්‍රිකානු මොසැම්බික් දේශයේ ඛෙදවාචකයට මුල්වී සිටින්නේ ජෙම්ෆීල්ඩ්ස් (Gemfields) නම් සමාගමයි.

ශ්‍රී ලංකාවට ආවේණික නිල් මැණික් වලට අත ගැසීම මූලික ඉලක්කය කොටගෙන ජෙම්ෆීල්ඩ්ස් විසින් සිදුකොට ඇත්තේ 2014 දී පිහිටුවන ලද බවට වාර්තාවන ඊස්ට් වෙස්ට් ජෙම් ඉන්වෙස්ට්මන්ට්ස් නම් සමාගමක් හා එක්වී ඒ වසරේම හවුල් ව්‍යාපාරයක් පිහිටුවාගැනීමයි.

ජෙම්ෆීල්ඩ්ස් සමාගම පවසන පරිදි ලංකාවේ පතල් කැනීම් බලපත්‍ර දහසයක 75% ක අයිතිය සතු ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය දිවයිනේ මැණික් කර්මාන්තය සඳහා රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් (පුද්ගලික) නම් සමාගමක් පිහිටුවාගෙන තිබේ.

මැණික් වෙළෙඳ ව්‍යාපාරයක් ලෙසින් රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගමට අනුමැතිය දී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සනාථ කරන ලදී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කියා සිටි පරිදි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර අටල්ලේ පස් වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යන නීති ප්‍රකාර ලියාපදිංචි රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් හි සම්බන්ධීකාරකයා ශාම් ප්‍රනාන්දු නමැත්තෙකි.

“කැණීම් සහ මැණික් පිළිබඳ ජෙම්ෆීල්ඩ්ස් අත්දැකීම විසින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කලාපීය ආර්ථිකයටත් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කරදුන් සැම්බියා සහ මොසැම්බික් සාර්ථකත්වය පතුරුවා ලීම ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ අපේක්ෂාවයි,” යනුවෙන් ජෙම්ෆීල්ඩ් වෙබ් අඩවියේ  සඳහන් වෙයි. 

ජෙම්ෆීල්ඩ්ස් (Gemfields) සමාගම මොසැම්බික් දේශයේ කරන ලද විනාශය

මොසැම්බික් රටේදී ‘ජෙම්ෆීල්ඩ්ස්’ බ්‍රිතාන්‍ය සමාගම සිදුකළ මහා ව්‍යසනය පිළිබද මොසැම්බිකානු මාද්‍යවේදී එස්ටාසියෝ වැලියෝ සහ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී කැලම් මැක්රේ විසින් හෙළිදරව් කර තිබිණි. මේ ඒ පිළිබදව කළ වාර්තා චිත්‍රපටයකි

මැක්රේ ගේ සහ වලෝයිගේ මැණික් පතල් හෙළිදරව්ව ‘මොසැම්බික් මැණික් යුද්ධ’ නමින් අල් ජසීරා රූපවාහිනියේ විකාශනය වීමෙන් අනතුරුව මෙම ඉල්ලම් කැණීම මහත් සේ ආන්දෝලනයට තුඩු දී ඇත.

එස්ටාසියෝ වැලියෝ |සේයා: අල් ජසීරා

මොසැම්බික් මැණික් පතල් කර්මාන්තයේ හදවත බඳු කාබෝ දෙලාගෝ (Cabo Delgado) පළාතේ මොන්ටෙපෙයුස් (Montepuez)  මැණික් ආකර ආශ්‍රිතව සිදුවූ බරපතල දුෂණ, අක්‍රමිකතා සහ අභිරහස් ඝාතන ගැන හෙළිදරව් කරලීමට මෙම මාධ්‍යවේදින් දෙපොල සමත් වි තිබුණි.

ජෙම්ෆීල්ඩ්ස් සමාගම මෙම මැණික් පතල්වල තවමත් සිටින්නේ ‘තොග නියැදීම’ (bulk sampling) නම් අදියරේ වන අතර මේ වන විටත් පතල් වලින් මතුවූ රතු මැණික් හෙවත් ‘පද්මරාග’ සඳහා ඩොලර් මිලියන 120කට අධික ආදායමක් මෙම සමාගම විසින් උපයනු ලැබ ඇති නමුදු දරුණු ලෙස විනාශ වෙමින් පවතින ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් ‘පොරොන්දු වූ පරිදි’ අවම පිරිවැය වන සියයට එකක මුදලවත් වැය කර නැත.

ගිවිසුම් ප්‍රකාරව ප්‍රදේශයේ අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම කෘෂිකර්මය දියුණු කළ යුතු වුවත් ඒ කිසිම දෙයක් සඳහා මෙම ආයතනය මේ වනතුරුත් කිසිම අවධානයක් යොමු කර නැත.

එපමණක් නොව ප්‍රදේශවාසින්ගේ බීමට, නෑමට සහ සියලු කටයුතු සඳහා ඇති වැවේ ජලය ජෙම්ෆීල්ඩ්ස් සමාගම බවුසර පුරවා අනවසරයෙන් රැගෙන යන්නේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පවා නොතකමිනි.

මුලින්ම මෙම ප්‍රදේශයට කඩාවැදුණු සමාගම විසින් පොලීසිය පිරිවරාගෙන එහි කොනක සිට සියලුම නිවෙස් බිමට සමතලා කර දැමුණි.

කෙසේ වුවද ප්‍රදේශවාසීන්ට  කිසිඳු ප්‍රතිලාභයක් නොමැතිව කෙරීගෙන යන මෙම ‘නීත්‍යානූකූල ජාවාරම‘ හමුවේ ජීවත්වීමේ අරගලයට මුහුණ දී සිටි ප්‍රදේශවාසීන් අනවසර පතල් කැපීමට පෙළඹීමත් සමඟ  ජෙම්ෆීල්ඩ්ස් සමාගම සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම් උත්සන්න වී තිබේ.

එහිදී බොහෝ දෙනා මොසැම්බික් ජනරජ පොලීසියෙන් මෙන්ම සුදු නිලධාරීන්ගෙන් ද පහරකෑම් වලට ලක්වූ අතර විටින් විට ඝාතන ද සිදුවී ඇත.

සමාගමේ නිලධාරීන්ගේ අණ පරිදි මොසැම්බික් ජනරජ පොලිසියේ ක්ෂණික විහිදුම් බලකාය විසින් සිදුකරනු ලැබූ වෙඩිතැබීම් වලදී ඝාතනය කෙරුණු හා ආබාධිත වූ ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ  මොන්ටෙපෙයුස් නීතිපති පොම්පියේ ෂේවියර් වසම්ගුඉයා (Pompilio Xavier Wazamguia) යි.

ඔහු පවසන අන්දමට 2009 වසරේ සිට මේ දක්වා වෙඩිතැබීම් වලින් ඝාතන 18ක් සිදුවී ඇත.

මේ සියලු ඝාතන වලට චෝදනා ලැබ ඇත්තේ ජෙම්ෆීල්ඩ්ස් මැණික් ආකරයේ ආරක්ෂාවට යොදවා ඇති මොසැම්බික් ආරක්ෂක නිලධාරීන් ය.

ඒත් ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ සැබෑ ඝාතන ප්‍රමාණය ඊට වඩා බෙහෙවින් වැඩි බව ය.

ශ්‍රී ලංකාවේ රත්පුර ප්‍රදේශයේ මැණික් ආකර කැණීම සඳහා නුදුරේදී ඒමට නියමිතව සිටින්නේ මෙම ජෙම්ෆීල්ඩ් සමාගමයි.

පරිසරවේදීන්ගේ විරෝධය

විදේශ සමාගම්වලට ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට අත පෙවීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබිණි.

”මා ජනාධිතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිත්වුණු මොහොතේ මැණික් පතල් කර්මාන්තය විදේශ සමාගම්වලට පවරා නොදෙන ලෙස මගෙන් ජනතාව ඉල්ලා සිටියා. මම එසේ නොකරන බවට ඔවුන්ට ප්‍රතිඥාවක් දුන්නා. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ විගසම වහාම නියෝග කළා එසේ විදේශ සමාගම් මැණික් කර්මාන්තයේ නිරතව සිටිනවා නම් එය වහාම අත්හිටුවන ලෙස.”

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකර තිබුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී ය.

එසේම ඔහු එහිදි තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයන් සහ පතල්කරුවන් දිරිගන්වමින් ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම් ලබා දීමටද තමන් ක්‍රියා කරන බවයි.

කෙසේ නමුදු, මැණික් කර්මාන්තය සම්බන්ධව සැබෑවටම ශ්‍රී ලංකාවේ සිදුවන්නට යන දේ තමන් ඇතුළු පරිසරවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයන් ඉතාම විමසිලිමත්ව බලා සිටිනා බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නට යන්නේ නම් ඊට එරෙහිව හැකි සියලුම පියවර ගන්නා බව පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර ගගන ට කියා සිටියේ ය.

යෝජිත කැනීම් කටයුතු යාන්ත්‍රික මෙවලම් මගින් සිදු කිරිමට නියමිත වගට තමන්ට තොරතුරු අනාවරණය වෙමින් බවතින බව පැවසූ පරිසරවේදී සජීව චාමිකර අවධාරණය කර සිටියේ මෙය මහත් පාරිසරික විනාශයක ආරම්භයක් විය හැකි බවයි.

-Radiogagana

Related posts

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට

colombotoday

සහරාන්ගේ බිරිඳ පාස්කු කොමිසමට

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin