ArticlesColombo Today Local News

1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයි

medagoda abhayatissa himi

මහින්දාගමනය මෙරට තුළ ඇති කරන ලද සංස්‌කෘතික විපර්යාසය විසින් ලොව මහඟු සංස්‌කෘතියක්‌ බවට සිංහල බෞද්ධ සංස්‌කෘතිය ඔසවා තැබිණි. එම නිසා පොසොන් උදාව සංකේතවත් කරන්නේ තවත් පොහොයක්‌ නොව ජාතියක තිඹිරිගෙයක කතාවකි. එදා උපන් ජාතිය අද මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම සාකච්ඡාව දිග හැරෙයි.

පැපිලියාන සුනේත්‍රා දේවි රජමහා විහාරාධිපති
මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

මහින්දාගමනයෙන් පසු මෙරට සෑම ක්‍ෂේත්‍රයකම පැතිරුණු සංස්‌කෘතික විප්ලවයක්‌ සිදු වෙනවා. විශේෂයෙන් රාජ්‍යත්වයේ වෙනස්‌ වීම සිංහල සමාජ සංවිධානය ගොඩනැංවීමෙහිලා බලපෑවේ කෙබඳු අයුරින්ද? මහින්දාගමනයට පසු රාජ්‍යත්වය මෙත්තා, කරුණා, මුදිතා උපේක්‌ඛා කියන සතර බ්‍රහ්ම විහරණය පදනම් කරගත් ධාර්මික මුහුණුවරක්‌ ගන්නවා. රාජ්‍යත්වයේ වෙනස්‌ වීමත් එක්‌ක සමාජ, දේශපාලන සංස්‌කෘතික ආගමික ආදී සෑම ක්‍ෂේත්‍රයකම ධාර්මික සංකල්ප පදනම් කරගත් වෙනසක්‌ සිදු වුණා. ර-ජුරුවෝ මුව දඩයමේ ගිහින් සිටින විට මිහිඳු මහරහතන් වහන්සේ හමු වුණාම දුනු ඊතල බිම දැමුවයි කියනවානේ. මේක සංකේතයක්‌. මොකද අධාර්මිකත්වයෙන් ධාර්මිකත්වයට රජු පැමිණීම. මේක කොච්චර ඉස්‌සරහට ගියාද කිව්වොත් ආහාරයටවත් සතුන් මරන්න එපා කියලා ” මාඝාතය” ආඥාව පනවනවා. ඒක ජනතාව අතරටත් යනවා. හේන් ගොවිතැන් කරන්න කැලේ ගිනි තිබ්බෙත් පොලුවලින් ගස්‌වලට ගහලා සතුන් පලවා හැරලා. එක පැත්තකින් ගින්දර තියන්නේ සතුන්ට දුවලා බේරෙන්න. ගොවිතැන් කළාම “ගෝ දානය” කියලා ගවයට කන්න කොටසක්‌ ඉතුරු කරනවා. කුරුල්ලන්ට කන්න “කුරුලු පාළුව” වගේ දේවල් ඇති කරනවා. බුදු දහමේ කතා කරන සියලු ධාර්මික සංකල්ප රාජ්‍යත්වය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

බුදු දහමේ බලපෑමෙන් අශෝක ඉන්දියාවේ ඇති කරපු සමාජ සුභසාධන සංකල්පවල බලපෑමක්‌ මෙරට රාජ්‍යත්වයට ලැබෙනවා. මාර්ගවල සෙවනට ගස්‌ සිටුවීම්, පාරවල්වල දිය ළිං කැපීම්, ගෙඩි කන්න අඹගස්‌ සිටුවීම් වැනි අශෝක රජුගේ සුභසාධන සංකල්පවල බලපෑමක්‌ මෙරට රාජ්‍යත්වයට ලැබෙන්නේ භාරතයේ ඇති කළ මේ සංස්‌කෘතිකමය හා ආධ්‍යාත්මික ප්‍රබෝධය අතරේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්නේ, ඊළඟට ශ්‍රීමහා බෝධිය දළදා වහන්සේ වැනි සංස්‌කෘතික උරුමයක්‌ පදනම් කරගෙන රජවරු “නම් ” පවා යොදා ගන්නවා. සංඝ බෝධි, සිරි සඟ බෝදාඨෝප තිස්‌ස, දළනා දාඨා නාග වැනි නම් කිහිපයක්‌ ඊට උදාහරණ. ඔය අතර සිරිසඟ බෝ වැනි බෝධිසත්ව පරමාදර්ශ රජවරු බිහි වෙනවා. දුටු ගැමුණු රජු ගත්තොත් “මාගේ මේ ව්‍යායාමය බුදු දහමේ උන්නතිය පිණිස මිස රජසැප පිණිස නොවේ” කියනවා. මේ අනුව පේනවා බුදු දහමේ ආභාසයෙන් රාජ්‍යත්වයේ විශාල වෙනසක්‌ සිදු වෙනවා වගේම ඒ ඔස්‌සේ ලාංකික සමාජ ව්‍යqහය සකස්‌ වෙන බව. රටේ දේශපාලනය හසුරුවන නොනිල බළකාය බවට පත්වෙන්නෙත් භික්‍ෂූන් වහන්සේලා. ඒ කියන්නේ බුදු දහම.

මහින්දාගමනයත් සමඟින් රාජ්‍ය හා ආගම අතර මනා සුසංයෝගයක්‌ ඇති වෙන ආකාරය මෙයින් පේනවා. නමුත් වර්තමානයේ මේ තත්ත්වය වෙනස්‌ වෙමින් යනවා. රාජ්‍යය ලෞකික බැවින් ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතු බවයි විකල්ප පඬියන්ගෙ මතය.

ලෝකෝත්තර පුද්ගලයින්ට ආගමක්‌ අවශ්‍ය නෑ. ආගමක්‌ අවශ්‍ය වෙන්නේ ලෞකික පුද්ගලයින්ට ලෝකෝත්තරත්වය කරා යැමට, එතකොට රාජ්‍යය ලෞකික නම් ඒ ලෞකික රාජ්‍යයට ආගම අත්‍යවශ්‍ය සාධකයක්‌ බවට පත් වෙනවා. අනික මේ එන්. ජී. ඕ. කාරයින්ගෙන් අහන්න කැමැතියි මොන රට ද නිරාගමික කියලා. ඇමැරිකාව ගත්තොත් ක්‍රිස්‌තියානි කතෝලික රාජ්‍යයක්‌. ජනාධිපති දිවුරුම් දෙන්න ඕන බයිබලේ අත තියලා. අපේ රටේ ජනාධිපතිවරු දිවුරුම් දෙනවද ත්‍රිපිටක පුස්‌තකවල අත තියලා. ඒ කියන්නේ මෙහෙටත් වඩා ආගමික මූලයන් රාජ්‍යය එක්‌ක ගැටගැහිලා තියෙනවා. සෑම ඩොලරයකම ගහලා තියෙනවා .ෂබ ඨටදා ඇ ඔරමිඑ. අපි දෙවියන් විශ්වාස කරමු. කියන එක. ඊට පස්‌සේ එංගලන්තය, ප්‍රංශය කිතුනු රාජ්‍ය, මැදපෙරදිග ගත්තොත් මුස්‌ලිම් රාජ්‍ය, ඉන්දියාව ගත්තොත් හින්දු රාජ්‍ය ඇතැම් රටවල ආගමික ව්‍යවස්‌ථා පවා තිබෙනවා. එංගලන්තයේ ඇයි රැජිනක්‌ තියාගෙන ඉන්නේ. රැජින තමයි දෙවියන්ගේ නියෝජිතවරිය කියන අර්ථයෙන්.

වතිකානුව ගත්තොත් වෙනම රාජ්‍යයක්‌ හැටියට තියෙනවා දෙවියන්ගේ පාලනය කියලා. ඒ නිසා මේ රාජ්‍යයෙන් ආගම වෙන්විය යුතුයි කියලා බටහිරෙන් සංකල්ප ආයතනය කරන එන්.ජී. ඕ. කාරයින්ට තියෙන්නේ මුලින්ම ඒ රටවලට ගිහින් නිරාගමික කරලා ආගමික ප්‍රශ්න ටික විසඳලා මෙහේ එන්න. මොකද මේක අවුරුදු දෙදහකට වඩා පෝෂණය වෙච්ච සිංහල සංස්‌කෘතියක්‌ එක්‌ක බෞද්ධ රාජ්‍යයක්‌ හැටියටයි පැවැතුණේ.

මහින්දාගමනයෙන් පසු අපි සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ ගැන කතා කරනවා. නමුත් මේ ” සිංහල බෞද්ධ” ව්‍යවහාරය පවා වැරදි බව ඔවුන් පෙන්වා දෙනවා.

බලන්න ටොලමිගෙ සිතියම, හියුංසියැංගේ දේශාටන වාර්තා අරගෙන මේ ලංකාව අතීතයේ හැඳින්වූයේ සිංහලේ කියලා. මේ සිංහලද්වීපයේ භික්‍ෂූන් වහන්සේලා වර්ධනය කරපු සංස්‌කෘතියක්‌ තියෙනවා. ඒකට කියනවා සිංහල සංස්‌කෘතිය කියලා. ඒ සිංහල සංස්‌කෘතියේ ආගම සිංහල බුද්ධාගම. මේ සිංහල බුද්ධාගම ඇතුලේ අපටම අනන්‍ය වෙච්ච සංස්‌කෘතියක්‌ තියෙනවා.

දළදා වහන්සේ ගන්න. ඒ වටා බැඳුණ මේ සිංහල බුද්ධාගම පෝෂණය කරපු විශාල සංස්‌කෘතියක්‌ තියෙනවා. දළදා සිරිත, දළදා වත, දළදා පූජාව, දළදා පෙරහැර ආදී පුදසිරිත් වගේම දාඨා නාග, දාඨෝප තිස්‌ස, වගේ රජවරු දළදා වහන්සේ මූලික කරගෙන නම් පවා තියා ගත්තා. දළදාව හිමි කෙනා තමයි රාජ්‍යත්වයට උරුමකම් කියන්නේ. මේ සංස්‌කෘතිය ඉන්දියාවට, බුරුමයට හෝ වෙනත් රටකට වලංගු නෑ. මේකට තමයි කියන්නේ සිංහල බුද්ධාගම හෝ සිංහල බෞද්ධ සංස්‌කෘතිය කියලා. බෝධීන් වහන්සේ ගත්තොත් බෝධියත් එක්‌ක බැඳුණු විශාල සංස්‌කෘතියක්‌ තියෙනවා.

ඒකට තමයි කියන්නේ සිංහල බුද්ධාගම කියලා. ඒ සිංහල බුද්ධාගමේ සංස්‌කෘතියයි සිංහල බෞද්ධ සංස්‌කෘතිය. හාමුදුරුවන්ට අපේ හාමුදුරුවෝ කියනවා. දරුවෙක්‌ ඉපදුණාම පිරිත් කියන්න, නම් තබන්න, අකුරු කියවන්න, පන්සල සම්බන්ධ කර ගන්නවා. අපේ භාෂා ව්‍යවහාරය බලන්න. මොකක්‌ හරි උනොත් “අනේ අනිච්චං” කියනවා. හොඳ කෙනෙක්‌ දැක්‌කොත් වෙස්‌සන්තර වගේ කියනවා. නරක කෙනෙක්‌ ඉන්නවා නම් දේවදත්ත වගේ කියනවා. ඒ හැම එකටම බෞද්ධ අර්ථකතනයක්‌ තියෙනවා. ඒකට තමයි කියන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය කියලා. මේ සංස්‌කෘතියත් එක්‌ක බැඳිච්ච සමාජ වටිනාකම් අපිට මේ එන්. ජී. ඕ. කාරයන්ට උවමනා විදිහට වෙනස්‌ කරන්න බෑ. අපි වැඩකරන්න ඕන මේ සංස්‌කෘතිය විනාශ කරන්න හදන අයට අනුරූප වෙන විදිහට නොව මේ සංස්‌කෘතිය රැක ගැනීමේ මුර දේවතාවුන් විදිහට.

නමුත් සමහර භික්‍ෂුන් වහන්සේලාත් අපේ සංස්‌කෘතියේ අක්‌මුල් සිඳ දමන ව්‍යාපෘතියේ කොටස්‌ කාරයන් වී සිටිනවා නේද?

රජ ගෙදර පරෙයියෝ වගේ ජීවත්වෙන්න කැමැති පිරිසක්‌ තම පෞද්ගලික සුඛ විහරණය සඳහා ඩොලර් කුට්‌ටිවලට යටවෙලා ඉන්න එක ඇත්ත. හැබැයි ඒ ඉතාම අතලොස්‌සක්‌ දෙනයි එහෙම වී තිබෙන්නේ. සමාජවාදී ව්‍යාපාර කියාගන්නා අධිරාජ්‍යවාදයේම ශාඛා හරහා බුදුන් සරණ නොයන. ඒ වෙනුවට මාක්‌ස්‌ සරණ යන භික්‍ෂූන් වහන්සේලා ටිකක්‌ හදලා තියෙනවා. භික්‍ෂූන් වහන්සේලා කියන්නේ සිවුරු දරාගත්ත නිසාම නෙමෙයි. වසර දහස්‌ ගණනක ඉතිහාසයක්‌ විසින් අපට පවරාදීපු දායාදයක්‌ තියෙනවා. අපේ හාමුදුරුවරු ඒ යුතුකම මොනතරම් අසීරුවෙන් ඉටු කළාද කියන එක ඉතිහාසය පුරාම තියෙනවා. දෙස බස රැස, සමය ආරක්‍ෂා කරන්න අපේ හාමුදුරුවරු රජුට පවා විරුද්ධව කටයුතු කරන්න මූලිකත්වය දුන්නා.

මේ සමහර භික්‍ෂූන් කතා කරන විදිහේ තාපස චරියාවකින් යුක්‌තවෙලා ඉන්න එක හෝ යෝගාවචර සම්ප්‍රදායකට ගිහිල්ලා ඉන්න එක නෙමෙයි ලාංකික භික්‍ෂූවගේ වගකීම.

නමුත් අපේ රට, ජාතිය සංස්‌කෘතිය උරුමයන් ගැන කතා කිරීම අද ජාතිවාදය බවට පත් වෙලා. ඒ ගැන කතා කිරීමට බියක්‌ ඇති ජාතියක්‌ බවට පත් කරලා. මේ තත්ත්වයන් එක්‌ක සිංහල ජාතියේ අනාගත ඉරණම කුමක්‌ද?

සිංහල ජාතිය ගත්තාම බරපතළ අර්බුදයකයි සිංහලයා ඉන්නේ. භික්‍ෂූන් වහන්සේලාටත් පරම වගකීමක්‌ තිබෙනවා ජාතිය ආරක්‍ෂා කර ගැනීමට. මොකද ජාතිය කියන වෘක්‌ෂයේ තමයි බුදු දහම කියන වැල එතිලා තියෙන්නේ. සිංහල බෞද්ධයන්ද තේරුම් ගත යුතුයි. තමන්ගේ කොඳු කඩා මොල සෝදලා මේ දක්‌කාගෙන යන්නේ කොතැනටද කියන එක. ළමයි මහණ කරන එකට ළමා මානව හිමිකම් ගැන කතා කරනවා. අලි ඇතුන් දළදා පෙරහැරට සම්බන්ධ කරගන්නවට විරුද්ධව සත්ව මානව හිමිකම් ගැන කතා කරනවා. අපි දන්නවා නත්තලට රාමසාන් වැනි අන්‍ය ආගමික උත්සව වෙනුවෙන් දහස්‌ ගණනක්‌ සතුන් මරනවා. එතකොට සත්ත්ව හිංසාව, මානව හිමිකම් නෑ. මරන එක හොඳයි. පෙරහැරේ යන එක නරකයි. මෙයින් පේනවා මේ එන්.ජී. ඕ. කාරයින්ගේ තිබෙන එකම උවමනාව සංස්‌කෘතිය විනාශ කිරීම බව. මේ වනවිට බෞද්ධකම ගැන කතා කරන කොට බෞද්ධ අන්තවාදය කියනවා. සිංහලකම ගැන කතා කළාම ජාතිවාදය කියනවා. අනිත් ජාතීන් ජාතිවාදී පදනමින්ම තමයි සංවිධාන ගත වී සිටින්නේ. දෙමළ ජාතික සන්ධානය කියනවා. මුස්‌ලිම් කොන්ග්‍රසය කියනවා. නමුත් සිංහල කෑල්ල ගත්ත ගමන් ඒක විතරක්‌ ජාතිවාදය වෙනවා. අනෙක්‌ සියලු ජාතීන් තම තමන්ගේ ආගමික සංස්‌කෘතික ව්‍යාප්තිය ඒ විදිහටම අරගෙන යද්දී බෞද්ධයන්ට විතරක්‌ ස්‌වයං වාරණයක්‌ පනවා ගන්න යෝජනා කරනවා. මේක කුමන්ත්‍රණයක්‌. මේ සංස්‌කෘතික ආක්‍රමණය බෞද්ධයන් තේරුම් ගත යුතුයි.

අතීතයේත් මෙබඳු අන්තරාවන්ට ජාතිය මුහුණ පා තිබෙනවා. ඒත් අද සිංහලයාට මේ තත්ත්වයෙන් බේරීමට තිබෙන විසඳුම කුමක්‌ද?

1815 දී සිදු වූ දේයි අද අපට සිදු වී තිබෙන්නේ. එදා ඇහැලේපොලටත් තිබුණා ශ්‍රී වික්‍රම රාජසිංහ ර-ජුරුවොත් එක්‌ක පෞද්ගලික තරහක්‌. ඒ තමයි බලය සම්බන්ධ ගැටලුව. වර්තමාන ඇහැලේපොලටත් පෞද්ගලික තරහක්‌ තිබුණා. වර්තමාන ශ්‍රී වික්‍රම රාජසිංහත් එක්‌ක එදා ශ්‍රී වික්‍රම කෲරයි කියලා ඇහැලේපොලලා එක්‌නැලිගොඩලා එකතු වෙලා රටට අහිමි කළේ මේ රටේ කිරුළ. ඒ ඉතිහාසය වර්තමානයේ අපි අත්විඳිනවා.

හැබැයි 1815 යටත්වෙන කොට කැප්පෙටිපොල ඉන්නවා ආණ්‌ඩුවට පක්‍ෂව අත්සන් කරන්නත්. නමුත් අවුරුදු 03 ක්‌ යනකොට 1818 දී කැප්පෙටිපොල ආපසු ආණ්‌ඩුවට විරුද්ධව සටන් වදින්න එනවා. අවුරුදු 03 යි ගියේ. 2015 දීත් ඒ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය ශ්‍රී ලාංකිකයින්ම යොදාගෙන කරනවා. මතවාදය අධිරාජ්‍යවාදී ඒ වුණාට යොදාගත්ත පුද්ගලයින් දේශීය අය දාගෙන අධිරාජ්‍යවාදීන් ජයග්‍රහණය කරනවා. නමුත් 2018 වෙනකොට වසර 03 කට පසු එදා 1818 කැරැල්ල ආවා වගේ කැරැල්ලක්‌ නාවොත් මේ රට බෙදීමේ, වැඩපිළිවෙල සහ සංස්‌කෘතික සංහාරය පරාජය නොකළොත් අත්වන ඉරණම හරි භයානකයි. එදා කැප්පෙටිපොල එළියට ආවට අද එහෙම අය ඉන්නවාද කියලත් සැකයි.

සාකච්ඡා කළේ
රත්නදෙණියේ මේධානන්ද හිමි

Related posts

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමට CIDය සම්බන්ධ බවට සාවද්‍ය වාර්තා !

colombotoday

කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල යලිත් ඉහළට

colombotoday

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

රාජ්‍ය සේවයට නව බදවා ගැනිමි වසරක කාලයකට නවතා දැමිමෙ චක්‍රලේකයක් ?

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday