ArticlesColombo Today Local NewsHot News

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

54545fwඅතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශය පනත් කෙටුම්පත් මේ වන විට අග්‍රාමාත්‍යතුමාගේ නියෝගය පරිදි පළකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්කර තිබේ. එවන් කාර්යාලයක් පිහිටුවීම තුළින් අප රටේ ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් වන අතර, එමඟින් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අප කළ යුද්ධයට සහභාගී වූ රණවිරුවන් සහ ඒ සඳහා වූ දේශපාලන නායකත්වය, අතිශයසාවධ්‍ය චෝදනා මත වුවද දඬුවමට භාජනය කිරීමේ මහත් වූ අවධානමකට ලක්වීම වැළැක්විය නොහේ. එසේම මෙම පනතේ තිබෙන තුච්ඡතම සහ පිළිකුල් සහගත තත්ත්වය නම් රටේ අහිංසක ජනතාවට මර බියෙන් තොරව ජිවත්වීමේ නිදහස ලබාදීමට තම ජිවිතය කැපකරමින් සටන් කළ රණවිරුවා සහ අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළ ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදියා සම ස්ථානයේ ලා සැළකීමයි. එබැවින් මෙවන් පනතක් සම්මත කිරීමට සිහි බුද්ධියෙන් යුතුව ඡන්දය දෙන සෑම අයෙක්ම දේශයට ද්‍රෝහී වන්නන් බවට පත්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සම්බන්ධයෙන් අදාළ කරුණු පනතේ යොමු පරිච්ඡේද සහිතව සංක්ෂිප්තව මෙසේ ඉදිරිපත් කරමි.

පිටු අංක 22, 27 මෙහි අතුරුදහන් වු තැනැත්තන් යන්නෙන් අර්ථ දක්වා ඇත්තේ ක්‍රියාන්විතයේ දී අතුරුතහන් වූ සන්නද්ධ හමුදා පොලිස් සාමාජිකයකු ඇතුළු උතුරු/ නැගෙනහිර සිදුවු සන්නද්ධ ගැටුම් වලින් හෝ එම ගැටුම් වලින් පසු හෝ යුද්ධයේදි අතුරුදන් වුවක් ලෙස හඳුන්වන තැනැත්තෙකු හෝ යනාදී වශයෙනි.

උතුරු/ නැගෙනහිර සන්නද්ධ ගැටුම් වලින් මියගියේ අතුරුදහන් වුයේ ත්‍රිවිධ හමුදා/ පොලිස් සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට අමතරව විශාල වශයෙන් ත්‍රස්‌තවාදීන්ය. මෙම පනතෙහි කොතැනකවත් ත්‍රස්‌තවාදය අර්ථ දක්වමින් හෝ ත්‍රස්‌තවාදීන් ගැන සඳහන් කොට නොමැත. එසේ නම් පනතෙහි මෙම ජේදයෙන් අතුරුදන් රණවිරුවා සහ අතුරුදන් වූ ( බොහෝ විට සටනේදි මිය ගිය) හෝ රටින් පැනගොස් රහසේ ජිවත්වන ම්ලේච්ඡ ත්‍රස්‌තවායා සමාන ලෙස සළකා තිබේ. මෙය රණවිරුවන්ට පමණක් නොව ත්‍රස්‌තවාදයෙන් බැට කෑ සමස්ත ජාතියටම දුන් අතුල් පහරක් නොවේද?

පිටු අංක 14, 13 (i) (B) මෙහි සඳහන් ප්‍රතිපදානය යොදා ගනිමින් මිය ගිය බොහෝ ත්‍රස්තයින් සහ රටින් පැන විවිධ රටවල ජීවත් වන ත්‍රස්‌තයෝ අතුරුදන් වූවන් සේ සළකා ඔවුන්ගේ ඥාතීන්ට රජයෙන් වන්දි මුදල් සහ අනෙකුත් සහනාධාර මුදල් දීමට හැකි වනු ඇත. මෙහි තේරුම නම් ගෝනගල දි සිංහල බඩදරු අම්මාවරුන්ගේ පණ පිටින් කුස පලා දරුවා එළියට ගෙන කැලි කැපූ ත්‍රස්‌තයකු හමුදා ප්‍රහාරයෙන් මියගියේ නම් හෝ රටින් පැන ගියේ නම් ඔහුගේ ඥාතීන්ට අතුරුදන් සෙබළුන්ගේ ඥාතීන්ට මෙන් රජයෙන් වන්දි ගෙවන බවයි.

පිටු අංක 15). අංක 13 (1) (T) (1) අනුව මිය ගිය/ අතුරුදන් වු කොටි ත්රරස්තවාදීන් අනුස්මරණය කිරීමට නිල වශයෙන් අවසර ලැබේ.

මේ කෙසේ ද යත් 2001 දි සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට පහර දී දහස් ගණන් ඇමරිකානුවන් ඝාතනය කළ අල්කයිඩා ත්‍රස්තවාදින් සමඟ පසුව ඇති වූ සටනේ දී මියගිය ඇමරිකානු ත්‍රස්‌තතයින්ට සහ අල්කයිඩා ත්‍රස්‌තයින්ට සමසේ සැළකීම නොවේද? දෙපිලේ ඥාතීන්ට වන්දි ගෙවීමට, මිය ගිය ත්‍රස්‌තයින් අනුස්මරණය කිරීමට ද ඇමරිකානු රජය අවසර දුන්නාක් වැනිය. ප්‍රංශයට පහරදුන් අයි.එස්.අයි.එස් ත්‍රස්‌තයින්ටද එසේ සැළකීමට ප්‍රංශ රජය ඉඩ දුන්නාක් වැනිය. ප්‍රංශය හෝ ඇමරිකාව එසේ නොකරන්නේ තම ජනතාට සේම දේශයටද අවංකවම ආදරය කරන, බලයේ රැඳිසිටිමට තම අඹුදරුවන් හෝ ජාතිය කිසි ලෙසකින් හෝ පාවා නොදෙන දේශ හිතෛෂි රාජ්‍ය නායකයින් ඔවුන් සතු බැවිනි. එසේ නම් කොටි ත්ර ස්තයින්ට මේ අයුරින් සලකන අපේ දේශපාලන නායකයින් කුමන අන්දමේ නායකයන්දැයි තීරණය කිරීමට ඔබට භාර කරමි.

(පිටු අංක 3) (1) අ. මෙයට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලට හසුරුවන ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනාම නිර්දේශ කරන්නේ ව්‍යාවස්තාදායක සභාව මඟිනි. ( වර්තමාන ව්‍යවස්ථාදායක සභාවේ නව (09) දෙනාගෙන් හත්දෙනෙකුම ( 07) රනිල් වික්‍රමසිංහ, ආර්. සම්පන්ධන් සහ ඔවුන් දෙදෙනා පත්කළ පස්දෙනාය) ජනාධිපතිට තිබෙන්නේ එම නම් අනුමත කිරීම පමණි.

( පිටු අංක 04) 05 (2) මෙයට අනුව ජනාධිපතිවරයා දින 14ක් තුළ එම නම් අනුමත නොකළේ නම් එම නාම යෝජනා අනුමත වූවා සේ සැළකේ. එසේ නම් විශාල බලයක් සහිත මෙම අධිකාරි මණ්ලඩයට පත්වන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව විසින් හසුරුවන එල්.ටි.ටි.ඊ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් ගේ හෝ යුද්ධය හැල්ලුවට ලක්කළ යුධ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින් හෝ දායක නොවු රනිල් වික්‍රමසිංහ ගේ නියෝජිතයන්ය. ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අපේ රණවිරුවන් සම්බන්ධයෙන් සාධාරණව ක්‍රියා කරනු ඇතැයි යමෙක් සිතයි නම් ඔහු මන්ද බුද්ධිකයෙකු නොවේද?

( පිටු අංක 08) 11 (අ) මෙයට අනුව මෙම මණ්ඩලයට ඕනැම දේශිය /විදේශීය සංවිධානයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට බලය දි තිබේ. එම ගිවිසුමට අනුව ඕනැම විදේශිකයකුට පවා මෙහි කාර්ය මණ්ඩලයට ඇතුළත් විමේ හැකියාව ලැබේ.

ස්වෛරි රටක් තුළ රජය විසින් අධීක්ෂණය කළ නොහැකි ඕනැම විදේශිය සංවිධානයක් සමඟ ගිවිසුම් වලට එළඹිය හැකි ස්වාධින කාර්යාලටක් තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ කෙසේ දැයි අගමැති වරයා පිළිතුරු දිය යුතු වේ.

(පිටු අංක 10) 12 (ඉ) මෙයට අනුව රජයේ ඕනැම ආයතනයකින් ත්‍රිවිධ හමුදාව/පොලිසිය යනාදිය ද ඇතුළුව තම නියෝගයන්ට පටහැනිව කුමක් සඳහන් වුවද ඕනැම ලේඛනයක් ඉල්ලු විට දිය යුතුවේ. එනම් හමුදාවේ, පොලිසියේ, බුද්ධි අංශයේ ඕනැම රහස් වාර්තාවක් වුවද මෙම කාර්ය මණ්ලයේ සේවය කරන ඕනැම විදේශිකයෙකුට හෝ දෙමළ බෙදුම්වාදියෙකුට ලබාදීමට නිතියෙන් බැඳේ.

(පිටු අංක 11) 12 (ඊ) මෙයට අනුව ඕනැම කඳවුරකට, පොලිස් ස්ථානයකට බන්ධනාගාරයකට මෙම කාර්ය මණ්ලයේ සාමාජිකයන්ට දිවා රාත්‍රී වරෙන්තුවක් නොමැතිව ඇතුල්වීමට හැකිවේ. උදාහරණයක් වශයෙන් රාත්‍රී 12 ට වුවද ත්‍රිකුණාමල නාවික තාටාංගණයට ගොස් ඇතුළු වරායේ තිබෙන සාමාන්‍ය නාවික පුද්ගලයින්ට පවා අවසරයකින් තොරව යාමට නොහැකි, රහස් අවි ගබඩාව සතු සියලුම වාර්තා ලබා ගැනීමට මෙම කාර්ය මණ්ඩලයට හැකියාව ලැබේ.

(පිටු අංක 17) 15 (1) මෙයට අනුව මණ්ඩලට ලබාගන්නා කරුණු/ වාර්තා සම්බන්ධයෙන් 2016 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතෙහි විධි විධාන අදාළ නොවේ. මෙයින් අදහස් කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතෙහි අඩංගු ජාතික ආරක්ෂාවට හානි විය හැකි වාර්තා නොදීම පිළිබඳ උපදෙස් වුව උල්ලංඝනය කරමින් එවන් රහස් වාර්තා පවා එම මණ්ඩලයට ලබාදීමට අවසර දිය හැකි බවයි. ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක මෙවන් දේශද්‍රෝහී යෝජනාවක් අනුමත කරනු තබා ඉදිරිපත් කර හෝ නොමැත.

(පිටු අංක 13) 13 (1) (ආ) මෙයට අනුව අතුරුදන් වු තැනැත්තකු මෙරට හෝ කුමන රටක හෝ ජිවත්වන බවට තොරතුරු ලැබ එය සනාථ වුවහොත් ඔහුගේ උපරිම යහපත තකා එම කරුනු හෙළිදරව් කළ හැක්කේ එම තැනැත්තා කැමති වුවහොත් පමණි.

උදාහරණයක් වශයෙන් එක්නැලිගොඩ නමැති පුද්ගලයා අතුරුදන් වීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 11 ක් දැනට දින 300 ඉක්මවා වැටුපද නොමැතිව සිරගත වී සිටි. යම් දිනක එක්නැලිගොඩ ප්‍රංශයේ හෝ වෙන රටක හෝ ජිවත්ව සිටින බව සොයාගත හොත් එය ප්‍රකාශයට පත්කරනුයේ එක්නැලිගොඩ කැමති වුවහොත් පමණි. එක්නැලිගොඩ කැමැති වූයේ නැත්තම් ඔහුගේ උපරිම යහපත තකා ඔහු අතුරුදන් වූවකු දේ දිගටම සළකන අතර එවිට ඒ චෝදනාව යටතේ සිරගතව සිටින අපගේ රණවිරුවන් ගේ අනාගතය කුමක් වේ දැයි සිතා ගැනීම ඔබට භාරකරමි.

(පිටු අංක 19) 24 (1) මෙයට අනුව මෙම මණ්ඩලය මඟින් කරන ලද කැඳවීමකට නොඑන , ප්‍රශ්නයකට පිළිතුරු ප්‍රතික්ෂේප කරන, ලේඛනයක් නොදෙන එම නිලධාරීන්ට බාධා කරන /තර්ජනය කරන සියල්ලන් සහ රහස්‍ය තොරතුරු හෙළිදරව් කරන සියල්ලන් මෙම මණ්ඩල අධිකාරී බලයට අපහාස කිරීමේ වරදට වැරදිකරුවන් වේ. ඒ සෑම අපහාස කිරීමක්ම අභියාචනාධිකරණයට එරෙහිව සිදුකරන අපහාස කිරීමේ වරදක් සේ සළකා අභියාචනාධිකරණය ඒ සඳහා දඬුවම් දිය යුතුවේ.

උදාහරණයක් ලෙස එක්නැලිගොඩ ජිවත්වන බවට යමෙකුට සනාථ වුවහොත්, මණ්ලයට ඒ බව නොපවසන්නේ නම් ඒ බව සාක්ෂි ඇතිව හෝ හෙළිදරව් කිරීම වරදක් වන අතර එය අභියාචනාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය එක්නැලිගොඩට පමණක් නොව සියළුම අතුරුදහන් වූ ත්‍රස්‌තවාදීන්ට ද අදාළ වේ. මෙම නීතියෙන් සිදුවන්නේ අතුරුදහන් වුවා යැයි කියමින් රහසේ ජිවත්වන්නන්ට එළිපිට ජිවත් වීමට ඉඩ දීමත්, ඔවුන්ගෙ ඥාතීන්ට අතුරුදන් වූ අයට දෙන වන්දි ලබාගැනීමට ඉඩ දීමත්, උන්ව අතුරුදන් කළාය යන චෝදනාවට අපේ රණවිරුවන්ට දඬුවම් කිරිමත් වේ. මෙවන් නීතියක් සම්පාදනය කළ අය සහ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අගමැති සම්බන්ධයෙන් ජනතාව කෙසේ ප්ර තිචාර දැක්විය යුතු ද?

(පිටු අංක 10) 12 (ඇ) (1) (11) මෙයට අනුව වීඩියෝ, සාකච්ඡා මඟින් සාක්ෂි ලබාගත හැකි අතර සාක්ෂි ආඥා පනතට පටහැනිව කුමක් සඳහා වුවද සිවිල් අපරාධ නඩුවලට ලිඛිත/වාචික ආවේශ කළ නොහැකි ඕනැම ප්‍රකාකාශයක්/ ලේඛනයක් පිලිගත හැකිය.

ඕනැ නම් පිටරට සිටින දෙමළ බෙදුම්වාදීන්ට ඕනෑම බොරු සාක්ෂියක් ඒ රටේ සිට දිය හැකි වේ. එසේම අප රටේ අධිකරණයෙන් පිළිනොගන්නා සාක්ෂියක් පවා ඔවුන්ට පිළිගැනීමට බලය තිබෙන අතර, ඒ මත පදනම් වී ඔවුන්ගේ නිගමනයන් අඩංගු වාර්තා සකස් කළ හැකිවේ. එම වාර්තාවල සත්ය / අසත්ය් භාවය පරීක්ෂා කිරීමට හෝ අභියෝගයට ලක්කිරීමට හෝ රජයටවත් කාටවත් නොහැකිය.

( පිටු අංක 18) 17 (1) මෙම මණ්ඩලයට වෙනම විමර්ෂණ සෙවීම් ඒකකයක් පිහිටුවිය හැකිවේ. එනම් අපගේ රහස් පොලිසිය වැනි , නමුත් පොලිසිය යටතේ නොමැති, ස්වාධිනව කටයුතු කරන ඒකකයක් ස්ථාපිත කිරීමට හැකි වේ. එම ඒකකයට රහස් පොලිසියේ වාර්තා පවා ලබා ගැනීමට හැකි වුවද රහස් පොලිසියට ඔවුන්ගේ වාර්තා ලබාගත නොහැක. මෙවන් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට හා පොලිසියේ අභිමානයට කෙසේ බලපාන්නේ දැයි පොලිස්පති තුමාගෙන් විමසීම වටී.

( පිටු අංක 19) 19 ,20,21 මෙයට අනුව ඔවුන්ගේ වැටුප් සහ ප්‍රමාණවත් අරමුදල් රජය විසින් ගෙවිය යුතු අතර ඔවුන්ට සෘජු දේශීය/ජාත්‍යන්තර අරමුදල් ගැනීමට බලය තිබේ. එනම් දෙමළ, බෙදුම්වාදි ඩයස්පෝරාවේ මුදල් යොදවමින් ඔවුන්ට රිසිසේ තමන්ට අවශයි ලෙස තොරතුරු ලබාගෙන අපගේ රණවිරුවන්ට විරුද්ධව අතිශය සාවද්‍ය සහ දුෂ්ඨ වාර්තා ඔවුන්ට අවැසි ලෙස සකස් කළ හැකිවේ. එම වාර්තා ඔවුන්ට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට යැවිය හැකි අතර එසේ යැවීමට පෙර හමුදාවට හෝ රජයට ඒවා අධ්‍යනය කිරීමට අවසර නැත.

(පිටු අංක 21) 25(1) මෙයට අනුව මෙම මණ්ඩලයේ කිසිදු ක්‍රියාවක් තිරණයක් අත්හැරීමක් යම් අධිකරණයක් ඉදිරිපිට අභියෝගයකට ලක්කළ නොහැකිය. එනම් ඔවුන් ඕනෑම අසාධාරණ තීන්දුවක් ලබා දුන්නද එයට විරුද්ධව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි වේ.

එම පනත ක්‍රියාත්මක වීම තුළින් ත්‍රස්‌තවාදය විනාශ කළ අපේ රණවිරුවන්, සෙන්පතියන් සහ දේශපාලන නායකත්වය දංගෙඩියට යැවෙන්නේ කෙසේද යන්න සොයා බලමු.

මංගල සමරවීර ඇමරිකාව සමඟ ප්‍රශංසනාත්මකව එකඟ වන ලද එක්සත් ජාතින් ගේ සංගමයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් වාර්තාවේ 36 වන නිර්දේශයේ සඳහන් වන්නේ යුධ අපරාධ සොයා බැලීම සඳහා ගෝලීය අධිකරණ බලය එනම් සර්වලෝක අධිකරණ බලය ලබා දිය යුතු බවයි. මෙම පනත මඟින් අපගේ අධිකරණ පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන, අපේ පොලිසියෙන් සම්පූර්ණයෙන් ස්වාධීන, දෙමළ ඩයස්පෝරාවේ මුදලින් යැපෙන ඉහත සඳහන් ලෙස අසීමිත බලයක් සහිත කාර්යාලයක් පවත්වා ගෙන යාමට හැකියාවක් ඇති බව ඉහත කරුණු වලින් පෙන්වා දී තිබේ. ඔවුන්ට ඕනෑම හමුදා කඳවුරකට ඕනෑම වෙලාවක ගොස් ඕනෑම තොරතුරක්, රහස්‍ය වාර්තාවක් ගැනීමට පුළුවන්වන අතර, එසේම වීඩියෝ තාක්ෂණය මඟින් පිටරට සිටින අයගේද සාක්ෂි ලබාගත හැකියි. ඔවුන් අතිශය සාවද්‍ය සාක්ෂි දුන්නත් ඒවා දැනගැනීමට හෝ දැනගත්ත ද කිසිම අභියෝගයකට ලක් කිරීමට හමුදාවට නොහැකි වේ. අප අධිකරණයෙන් පිළිනොගන්නා සාක්ෂි පවා මෙම කාර්යාලයට පිළිගැනීමට පිළිවන. එසේ ලබාගන්නා සාක්ෂි මත ඔවුන්ට අවශ්‍ය රණවිරුවන්ට සෙන්පතියන්ට දේශපාලන නායකයින්ට විරුද්ධව රහස් ලිපි ගොනු සකස් කොට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට යැවිය හැක. එම වාර්තා යවනුයේ රජයේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ කාර්යාලයක් විසින් සොයාගත් කරුණු ලෙසය. ඉන්පසු සර්වලෝක අධිකරණ බලය දිය යුතු බව අපේ රජය පිළිගෙන ඇති බැවින් එවන් වූ යුද අපරාධ එල්ල වී ඇති අපේ රාජ්‍ය නායකයන් හෝ හමුදා නිලධාරියෙක් පිටරටකදී වුවද අත්අඩංගුවට ගත හැකිවේ. එසේම ඕනෑම කෙනෙකුට ඕනෑම රටක සිට අපේ රණවිරුවන්ට විරුද්ධව තම රටේ අධිකරණයේ නඩු පැවරිය හැකිවේ. ත්රෙස්තවාදය දිවි කැප කොට නිමකළ රණවිරුවාට අත්වන ඉරණම මෙය නම් අප තවත් නිහඬව බලාසිටිය යුතු ද?

කරුණු එසේ නම් තම පක්ෂ දේශපාලනය කුමක් වුවත් රටට ආදරය කරන දිවි පරදුවට තබා ත්‍රස්‌තතවාදය නිම කළ රණවිරුන්ට ගෞරවය කරන ජාතික ආරක්ෂාව පිළිබඳ හැඟිමක් තිබෙන හදවතේ රට පිළිබඳ අභිමානයක් තිබෙන කිවිවෙකුටත් මෙවන් දේශද්රෝපහි පනතකට පක්ෂව ඡන්දය දිය නොහැකි බව අප කවුරුත් අවබෝධකර ගත යුතුවේ.

එසේ ඡන්දය දෙන්නා අනිවාර්යෙයන්ම දේශද්‍රෝහීයෙකු වන්නේ එබැවිනි. එසේ නම් මෙම පනත සම්පාදනය කළ පුද්ගලයින්, මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ සහ අප විසින් පශ්චාත් යුධ සමයේ වගවීම පිළිබඳව පිළියෙල කළ නිල වාර්තා කිසිවක් රට වෙනුවෙන් ජිනීවා නුවරදී ඉදිරිපත් නොකොට සෙයිද් අල් හුසේන් ගේ වාර්තාව දොහොත් මුදුන් දී පිළිගත් මංගල සමරවීර වැන්නවුන් අද ජාතියේ දෝහීන් වී අවසානය. ඔවුන්ට කවර හෝ මතු දිනක දේශයට ද්‍රෝහී වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනි සිටිමට සිදුවනු ඇත. එවැනි දිනක මෙම පනතට පක්ෂව ඡන්දය දීමෙන් මංගල සමරවීර/ රනිල් වික්‍රමසිංහ රැළට ඇතුල් වීමට පියවර නොගන්නා මෙන් අප සියළුම මැති ඇමැතිවරුන්ගෙන් හුදෙක්ම ඉල්ලා සිටිමු. මන්ද දේශද්‍රෝහීත්වය අධිකරණය හමුවේ කිසිදු සැකයකින් තොරව සනාථ වුවහොත් එයට දිය හැකි එකම දඬුවම මරණීය දණ්ඩනය බැවිනි.

රියර් අද්මිරාල් සරත් වීරසේකර,

 

Related posts

“අපි තරහයි“ නාට්‍යය ඉවරයි.. “අඹ යහළුවෝ“ දැන් පෙන්නනවා !!

colombotoday

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

colombotoday

රාජපක්ෂ සමරුවට ආ මර්වින්ට හූ කියා පන්නා ගනී.. මර්විනුත් හූවක් තියාගෙනම යන්න යයි

colombotoday

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin

ආසාදිතයන් වැඩි වුවහොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත්කර ප්‍රතිකාර කරනවා – යුධ හමුදාපති

colombotoday

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

colombotoday