Colombo Today Local News

සහරන්ගේ ලිපිගොනුව භාරව සිටියේ නීතිපතියේ මලික් අසීස්. අධීක්ෂණය අසාද් නවාවි. | උපදෙස් දීමට තරම් කරුණු තිබ්බේ නෑ. කොමිසමට කියයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අවස්ථා දෙකකදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජාමාත් සංවිධානය පිළිබද සවිස්තරාත්මක ගොනු දෙකක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබුණ ද ගතයුතු නෛතික පියවර සම්බන්ධයෙන් උපදෙස්දීමක් සිදුවී නොමැති බව ජනාධිපති කොමිසමේදි අද (05) අනාවරණය වුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාක්ෂිදෙමින් අදාළ ගොනුව භාරව කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා කියා සිටියේ අදාළ ගොනු තුළ නෛතික උපදෙස් දීමට තරම් කරුණු අන්තර්ගත නොවු බවය.

මේ අතර රජයේ අධිනීතිඥවරයා සාක්ෂි ලබාදුන් අකාරය පිළිබද සිය බලවත් අප්‍රසාදය පළ කළ සභාපති විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාද කිරීමක්ද සිදුකළේය.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ජාතික තවිහිද් ජමාත් සංවිධානය පිළිබඳ ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සවිස්තරාත්මක ගොනු ඉදිරිපත් කළද ඒවාට නිසි නෛතික උපදෙස් ලබාදීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු නොකළේ යැයු කියවෙන සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම අද සාක්ෂි විමසීම සිදුකළේය.

ඒ අනුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් යොමුකළ අදාළ ගොනු භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා අද පළමුව කොමිසම හමුවට කැඳවා තිබුණේය .

කෙසේ වෙතත් වෙනත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මෙහෙයවීම සිදුකරන ජනාධිපති කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම අද දිනයේ මෙම සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීම සිදුනොකළ අතර ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින්ම අද දිනයේ සාක්ෂි මෙහෙයවීම විශේෂත්වයකි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරු වෙත EER /08/2017 ගොනුව ඉදිරිපත් කරමින් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අදාළ නීතිපති දෙපාර්තමේන්තුව සතු මෙම ගොනුව භාරව සිටි නිලධාරියා කවුරුන්ද යන්නය.

අදාළ ගොනුව භාරව සිටි නිලධාරියා තමා බව රජයේ අධිනීතිඥ අසීස් මහතා පිළිගැනීමත් සමග සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ, ඔබේ අධීක්ෂණය නිලධාරියා ලෙස කටයුතු කළේ කවුරුන්ද ‍යන්නය.

එයට පිළිතුරු දෙමින් රජයේ අධිනීතිඥවරයා සඳහන් කළේ එවකට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා තම අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඔහු විසින් මෙම ප්‍රශ්නගත ගොනුව තමාට යොමු කළ බවය.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබඳ ව කිහිපවරක් සැලකිලිමත් වු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහු සාක්ෂි ලබාදුන් විලාශය පිළිබද සිය අප්‍රසාදය පළ කළ අතර ඔහුට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියේ,” ඔබ මේ ජනාධිපති කොමිසම හමුවේ එක් සාක්ෂිකරුවෙකු පමණයි. එබැවින් තර්ක ඉදිරිපත් නොකර අසන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දෙන්න,” යනුවෙනි.

Related posts

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

colombotoday

හිටපු මන්ත්‍රීට තඩිබෑ රෝසිගේ නෑයා රිමාන්ඩ්.. රෝසිගෙන් අධිකරණයටත් බාධා !

colombotoday

අවුරුදු 200කට කලින් මම වන්නි හත්පත්තුවෙන් පැනලා ගියා – අගමැති රනිල් වික්‍රමසිංහ

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

පොලීසියට නව ත්‍රීරෝද රථ 2,000ක්

colombotoday

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

colombotoday