Colombo Today Local News

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

මධ්‍යම පරිසර අධිකාරියේ ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ටෙන්ඩර් මගඩියක් නිසා රටට විශාල පාඩුවක් හා රටට තවත් ණය බරක් සිදුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මධ්‍යම පරිසර අධිකාරියේ ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ටෙන්ඩර් මගඩියක් නිසා රටට විශාල පාඩුවක්. රටට තවත් ණය බරක්.

2017 ඔක්තෝබර් මස 03 වන දින මධ්‍ය පරිසර අධිකාරිය මගින් ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක් සෑදිම සදහා ටෙන්ඩර් කැදවන ලදී. 2012 අප්‍රේල් මාසයේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමිට් හමුව සදහා සහභාගීවීමට කොරියාවට  ගිය අවස්ථාවේදී මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. දෙරට විසින් ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක් සෑදිම සදහා වන ගිවිසුමට අත්සන් තබන ලද්දේ 2012 දෙසැම්බර් 31 වන දිනය.

රංජිත් විතානගේ

කොරියාවේ සංවර්ධනයේ අත්දැකීම් දියුණුවන රටවල් අතර බෙදා ගැනීම අරමුණු කොටගෙන  1987 ජුනි මස පළමුවන දා කොරියාව විසින් පිහිටුවා ගන්නා  ලද ආර්ථික සංවර්ධන සැලැස්ම සදහා වූ අරමුදල (Economic Development cooperation Fund)මගින් මෙම සහන ණය අප රටට ප්‍රදානය කරනු ලබයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හතරක ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක් පිහිටුවීම සදහා කොරියාවේ අපනයන හා ආනයන බැංකුව (Export Import Bank Korea) විසින් ඇමර්කානු ඩොලර් මිලියන 33 ,536 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 41,886 ක මුදලක් ණයක් වශයෙන්  ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන අතර මෙහි පොලී අනුපාතය 0.1% කි.

වසර 40 ක කාලයක් ඇතුලත මෙම ණය මුදල ගෙවා නිමකල යුතු අතර 1991 සිට           ශ්‍රී ලංකාව විසින්  ක්‍රියාත්මක කරන ලද ජල හා වාරිමාර්ග කළමණාකරණය, ප්‍රවාහන, විදුලිය හා සමාජ ආරක්ෂණ ජාලයන්  ආශ්‍රිතව සිදුකරන කරන ලද ජාතික සංවර්ධන ව්‍යාපෘති 23 ක් පාදක කරගෙන මෙම ණය මුදල ලබා දීමට කොරියානු රජය එකගත්වය පළ කරන ලදී.  විශේෂයෙන්ම රටේ සංවර්ධන අවශ්‍යතාවය පිළිඕමු කිරීම සදහා වන සාකච්ඡා  මෙම ව්‍යාපෘතිය ලබා දීමට ඉවහල් වන ලදී.

ණය අංක SRI – 21 අනුව  ගිවිසුම් අංක MMD & E/CEA/CSOFP/CIVIL/2016/01 යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් ටෙන්ඩර් කැදවීම කර ඇත. මේ අනුව ගාලු දිස්ත්‍රික්කයේ මොනරොවත්ත, අනුරාධපුර  දිස්ත්‍රික්කයේ  කැකිරාව, යාපනය දිස්ත්‍රික්කයේ කීරමලේ හා පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ මීගස්වැව යන ස්ථානවල මෙම ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන සෑදීමට යෝජිතය.

මෙම ටෙන්ඩර් කැදවීම මගින්  ප්‍රශ්ණ රැසක් පැන නගී.

01.තාක්ෂණික දියුණවත් සමග ලෝකයේ වෙනත් රටවල් මෙම යල්පැනගිය  ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය(“සනීපාරක්ෂක බිම් පිරවුම්”- Sanitary Land Fills) බැහැර කරද්දී ණය බරක් සමග මෙම මධ්‍යස්ථාන අප රටට මේ මොහොතේ අවශ්‍යද යන්න ගැටලුවකි.

කොරියානු තාක්ෂණය උපයෝගී කරගෙන තවත් එවැනිම “සනීපාරක්ෂක බිම් පිරවුම්”    ( Sanitary Land Fills) ක්‍රමය යටතේ ඝණ අපද්‍රව්‍ය කැළණියේ සිට දුම්රිය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කලු දක්වා රැගෙන ගොස් තැන්පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා 2017 ජුනි මාසයේදී කැබිනට් මංඩලයේ අනුමැතිය ලබා දී ඇත. ඒ සදහා වෙන් කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 125 කි.(රුපියල් බිලියන 19 කි) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිසි අමාත්‍යාංශය විසින් වන අතර එම ව්‍යාපෘතිය සදහා කැළණියෙන් අක්කර අට හමාරක්ද, පුත්තලමෙන් අක්කර හතලිස් පහක් ද වෙන්කර ඇත.

යල්පැන ගිය ක්‍රමවේද භාවිතා කරමින් මධ්‍යම පරිසර අධිකාරිය කොරියානු රජයෙන් ණය ලබා ගෙන ආරම්භ කිරීමට නියමිත ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක ව්‍යාපෘතිය අවශ්‍යද යන්න පිළිබදව අප වගකිවයුතු නිළධාරීන්ගේ අවධානය යොමු කරනවා පමණක් නොව අප රට දැඩි ණය බරකින් මිරිකී සිටින මෙම අවස්ථාවේ මෙම ණය මුදල ලබා ගන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ගේ සාක්කු කොමිස් මුදල්වලින් පිරවීමටද යන්නද ප්‍රශ්ණ කරමු.

02.මෙම ටෙන්ඩරයේ කොන්දේසිවලට අනුව ඉදිකිරීම අනිවාර්යෙන්ම කළයුත්තේ කොරියානු සමාගමක් විසින් වන අතර උප කොන්ත්‍රාත් සමාගම ද කොරියානු සමාගමක් විය හැක. තවද අවශ්‍ය භාණ්ඩ ආනයනය කල යුත්තේ ද කොරියාවෙන්ය. ඒ අනුව ණය මුදලෙන් විශාල මුදලක් නැවත යන්නේ කොරියාවටය. ඒ අනුව මෙය කොරියාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් නොවන්නේ කෙසේද?

03.මෙහි ඇති අප රටට අවාසිදායක, අසාධාරණම කොන්දේසිය වන්නේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සදහා කොරියානු උපදේශක සමාගමක උපදෙස් ලබා ගැනීමය. ඔවුන්ගේ උපදෙස් සදහා වැය කිරීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 9 කි. මුලු ව්‍යාපෘතිය සදහා වෙන්කල මුදල ඩොලර් මිලියන 33 ක් වන අතර උපදෙස් සදහා කොරියානු සමාගමට මුදල් ගෙවූ පසු ඉතිරි වන මුදල ඩොලර් මිලියන 24 කි. ඒ අනුව මුලු ව්‍යාපෘති මුදලින් හතරෙන් එකක්(1/4) උපදේශක සේවා සදහා කොරියානු සමාගට ගෙවීමට සිදුවේ. ලොකයේ පිළිගත් ක්‍රමවේද අනුව මුලු ව්‍යාපෘති මුදලෙන් උපදේශන සේවා සදහා අය කල හැක්කේ උපරිම 10% ක මුදලකි. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ උපදෙස්  සදහා ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 3 කි. එසේ නම් ඉතිරි ඩොලර් මිලියන 6 ක මුදල යන්නේ කාගේ සාක්කුවටද යන්නද අපි  ප්‍රශ්ණ කරමු. තවද අදාල උපදෙස් ලබා දෙන කොරියානු සමාගම ඒ සදහා අවශ්‍ය සුදුසුකම් ද සපුරා නැත. අදාල උපදේශක සමාගමේ නිළධාරීන් මෙරටට පැමිණ ඇත්තේද අඩු වාර ගණනකි.

04.මේ වන විට සමාගම් 8 ක් ඉදිකිරීම් සදහා වන ටෙන්ඩර්පත් ලබා ගෙන ඇති අතර ටෙන්ඩර් භාරගැනීමේ අවසාන දිනය 2017-11-30 දක්වා දීර්ඝ කර එදින ටෙන්ඩරය විවෘත කරන ලදී. සමාගම් හතරක් ඒ සදහා ටෙන්ඩර් භාරදී ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, උපදේශක සේවා ලබා දෙනු ලබන සමාගමට හිතවත් සමාගමකට ලබා දීමට සූදානමක් පවතින බවද වාර්තාවේ.

05.සම්පූර්ණ පද්ධතියම සැලසුම්කර ඇත්තේ එක් සැපයුම්කරුවකුට/කොන්ත්‍රාත්කරුවකුට ගැලපෙන පරිදි වන අතර අනෙක් කොන්ත්‍රාත්කරුවන්ට ඉල්ලා ඇති උපකරණ වලට ගැලපෙන ලෙස සැපයුම් කල නොහැක.සැලසුම්කර ඇති පිරිවිතරයන් සහ BOQ ඇස්තමේන්තුව ගැලපෙන්නේ නැත. ටෙන්ඩර් ලියවිලි සහ BOQ ඇස්තමේන්තු සකස් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ සම්මතයන්ට ගැලපෙන පරිදි නොවේ.

ව්‍යාපෘතියෙන් ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලිව සඳහන් කර නැත. සැලසුම්කර ඇති යන්ත්‍රාගාරයේ ක්‍රියාකාරීත්වය දුර්වලය. එමෙන්ම යොදා ගැනීමට නිර්දේශ කර ඇත්තේ යල්පැන ගිය තාක්ෂණයකි.

06.පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයා යටතේ වන අමාත්‍යාංශයක් රටට අහිතකර කොන්දේසි යටතේ ණය ලබා ගන්නේ නම් හා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේනම් නම් රටක ජනතාව කල යුත්තේ කුමක් යන්න විශාල ගැටලුවක් වන අතර පදුරකට පයින් ගැසූවිට ජනාධිපති උපදේශකයින් රොත්තක් විසිවීමට තරම් ජනාධිපති උපදේශකයින් සිටින ජනාධිපතිවරයාගේ උපදේශකයින් කරන්නේ කුමක් ද යන්නද ජනතාව ඇසිය යුතුය  ප්‍රශ්ණයක් බවට පත්ව තිබේ.

රටට ඉසිලිය නොහැකි ණය බරක් එකතු කරමින් ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන   4 ක් ඉදිකිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍ය පරිසර අධිකාරිය විසින් 2017-10-03 දින කැදවන ලද ටෙන්ඩරය වහා අවලංගු කරන ලෙසට අප බල කරන අතර ඒ පිළිබදව සොයා බැලීම සදහා වහාම විද්වත් කමිටුවක් පත් කරන ලෙස ද ඉල්ලා සිටිමු. එසේ නොකළහොත් රට ණය බරින් මුදවා ගැනීම සදහා අපට ජනතාව සමග අරගල කිරීමට සිදුවන බවද නොබියව පවසමු.

රංජිත් විතානගේ
සභාපති

Related posts

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද මහජන උපයෝගිතා කොමිසමට

Admin