Colombo Today Local News

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

ඉඩම් නොමැති ජනතාවට බෙදාදීමට යැයි පවසා 1982 පෙබරවාරි 17 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එවකට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යය ගාමිණි දිසානායක මහතා විසින් රජය සතු කර ඇති කොබෙයිගනේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැල්පොතුවැව ග‍්‍රාම සේවා වසමේ උජේකැලේ ගම්මානයේ පිහිටි “රොසලින් වත්ත” නමින් හඳුන්වන අක්කර 123ක ඉඩමක අක්කර 72ක් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකුට හිමිවන පරිදි හදිස්සියේ නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එහි විස්තරය සැකෙවින් මෙසේය….

කොබෙයිගනේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැල්පොතුවැව ග‍්‍රාම සේවා වසමේ උජේකැලේ ගම්මානයේ පිහිටි “රොසලින් වත්ත” ඉඩම 1972 අංක 01 දරණ ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනතේ විධි විධාන ප‍්‍රකාරව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ අක්කර 123ක ඉඩමකි. එම අක්කර 123ක ප‍්‍රමාණයෙන් අක්කර 72ක ප‍්‍රමාණයක් 1981 ජුලි – අගෝසතු කාළ සීමාව තුළ මැණුම් කටයුතු සිදු කොට 1982 පෙබරවාරි 17 දින අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් එවකට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යය ගාමිණි දිසානායක මහතා විසින් රජය සතු කර ඇත. එවකට ජනතාව එහි පදිංචි වූවත් ටික කාළයක් වාසය කරන අතරතුර එම ඉඩමේ තනි පුද්ගලයෙකුට අයිති බව පවසමින් ඔවුන්ව එළවා දමා ඇත. එදා සිට අද දක්වාම අක්කර 72ක ඉඩම භුක්ති විදින්නේ තනි පුද්ගලයෙකු විසිනි.

ජනතාව අතර බෙදා දීමට වෙන් කළ ඉඩමක් තනි පුද්ගලයෙක් භුක්ති විදින්නේ කෙසේද? 2017/11/20 උජේකැලේ ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති සුසිල් ප්‍රේමසිරි මහතා විසින් කොබෙයිගනේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනිමේ පනත යටතේ තොරතුරු විමසන ලදුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් සඳහන් කරන්නේ මෙම ඉඩම රජය සතු ඉඩමක් බවයි. පසුව 2018/08/29 කොබෙයිගනේ ප‍්‍රාදේශිය සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඉන්දික රුවන් මහතා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව තොරතුරු විමසන ලදි. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කරන්නේ අක්කර 123ක් වු මුලු ඉඩම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමක් බවයි.

පසුව උජෙකැලේ ඉඩම් සුරැකීමේ සංවිධානය විසින් පසුගිය 13 දින මෙම ප‍්‍රශ්ණය පිළිබද විරෝධතාවක් සංවිධානය කරන ලදි. රටේ අනෙකුත් ප‍්‍රශ්ණවලට කඩි මුඩියේ ක්‍රියාත්මක නොවන රජයේ අමාත්‍යංශ මෙම ගැටලුවේදී පසුගිය 11 වන දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇමතිතුමා අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු හට මෙම ඉඩම පවරා දෙන බවට ගැසට් කරන ලදි.

කොබෙයිගනේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පවුල් 800කට අධික ප‍්‍රමාණයක් තමන්ට හිමි ඉඩමක අයිතිය නැතිව ජීවත් වෙද්දි ජනතාව අතර බෙදා දීම සඳහා මැණුම් කටයුතු සිදු කර රජය සතු කරගත් ඉඩමක් තනි පුද්ගලයෙකු හට පවරා දෙන්නේ කේසේද? ඒ සම්බන්ධයෙන් පසුගිය 13වනදා ප්‍රදේශවාසීන් විස විරෝධතාවය සඳහා සහභාගි වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

“කළීන් ගැසට් පත‍්‍රයේ දෝෂයක් තියෙනවා කියළා නව ගැසට් එකක් පෙරෙදා නිකුත් කරනවා. එක පැත්තකින් ගමේ ජනතාව කියා සිටිනවා ජනතාවට බෙදා දෙන්න මැණුම් කළා, ඊට අදාළ සාක්ෂි සාධක තියෙනවා. පස්සේ 1982 නිකුත් කරපු ගැසට් එකක තියෙනවා මෙම ඉඩම රජය සතු ඉඩමක් කියළා. පසුව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කියනව මෙම ඉඩම ඔවුන් සතු ඉඩමක් කියලා. ඒකත් රජයේ ආයතනයක්. තව පැත්තකින් අගමැති රනිල් මහත්මයාගේ ඥාතියෙක්ට මෙම ඉඩම අයිති බව ප‍්‍රකාශ කරනවා.

මෙම විරෝධතාවය සංවිධානය කරන අද 13 වනදා. ඒ කියන්නේ පෙරෙදා (11) ගැසට් එකක් එළියට එනවා පුද්ගලයන්ට පවරලා. ගයන්ත කරුණාතිලක ඇමතිතුමාලා කටයුතු කරන්නේ මෙහෙමද? මෙහෙම ගැසට් එකක් එකපාරටම කොහොමද එළියට එන්නේ? මෙම ඉඩමට අදාළව ප‍්‍රාදේශිය ලේකම්තුමාගෙන් වාර්තාවක් ගිහිල්ලා නැහැ. පළාත් ඉඩම් කොමසාරිස් තුමා වාර්තාවක් දිලා නැහැ. ඉඩම් ඇමති සඳහන් කරන විදියට මාගේ නිරීක්ෂණය අනුව පසුගිය කාළයේ අතපසු වීමක් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරනවා කියළා.

අපි අහනවා ඔබ නිරීක්ෂණයට ලක්වු කරුණු මොනවද? මොන නිරීක්ෂණ පදනම් කරගෙනද මෙම ගැසට් එක නිකුත් කළේ? පදනම් වුණු කාරණා මොනවාද? ඔබ මෙම ගැසට් පත‍්‍රය නිකුත් කළේ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීමකටද කියල අපි අහනවා?

අපි කියනවා මේ ආණ්ඩුවට විශේෂයෙන්ම ප‍්‍රාදේශිය ලේකම්, පළාත් ඉඩම් කොමසාරිස්, මිනින්දොරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ගමේ ජනතාව, අර්ජුන ගුණරත්න මහත්තයා සම්බන්ධ කරගෙන මෙම ඉඩමේ ස්වාධින පරික්ෂණයක් කරලා ඇත්ත අයිතිකාරයා කවුද කියල රටට හෙළි කරන්න කියලා. නැතුව වෙන වෙන දේවල් කරන්න එන්ඩ එපා. අපි ඒකට කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බව ප‍්‍රකාශ කරනවා.”

 

Related posts

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

colombotoday

රණවිරුවන්ට සැලකූ එකම රජය වත්මන් රජයයි…

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

සංචාරක හොටල් සහ අවන්හල් වලට මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Admin