Colombo Today Local News

අධර්මවාදීන්ට එරෙහිව අස්ගිරි, මල්වත්තෙන් උස් හඩ නැගෙයි… වහා ක්‍රියාත්මක කලයුතු කරුණු හයක් සමග ජනපතිට විශේෂ සන්දේශයක්…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවැරුණු වගකීම අනුව මෙරට ධර්ම විරෝධී මිථ්‍යා මතවාද පතුරුවන පිරිස රාජ්‍ය ආයතනවල දේශනා පැවැත්වීම සහ එයට සම්බන්ධ කටයුතුවල යෙදීම වළක්වන ලෙසත් බුදු දහම විකෘති කිරීම පිළිබඳව තවත් කරුණු රැසක් සහිතව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතු සංදේශයක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමිගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වේ. ශ්‍රී සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ද, තදනුබද්ධ ශාසන ඉතිහාසය හා චාරිත්‍රධර්ම සමුදාය ද, ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව වර්ෂ දෙදහසකට අධික කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් ඇප කැප වූ බව ඓතිහාසික වශයෙන් තහවුරු වන කාරණයකි.

එහෙත්, වර්තමානයේ ගිහිපැවිදි කීපදෙනකු විසින් මෑතක සිට සංවිධානාත්මකව හා සූක්ෂමව ධර්ම විනයට පටහැනි, ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරගෙන යනු ලැබේ. ඔවුහු ත්‍රිපිටක සූත්‍රධර්මවලට හා වචනවලට අත්තනෝමතික ලෙස විකෘති අර්ථකථන ඉදිරිපත් කරමින් බුද්ධ ධර්මය ද, දිවයිනේ නොයෙකුත් ස්ථාන නාමයන්ට පදනම් විරහිත කරුණු හා අදහස් බද්ධ කොට බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය වෙනස් කරමින් ද මිථ්‍යා සංකල්ප හා දෘෂ්ටිවාද බෞද්ධ සමාජය පුරා පතුරුවති. අර්හත්වය, සෝතාපන්න භාවය වැනි උත්තරීමනුස්ස ධම්ම තමන් තුළ ඇතැයි ඔවුන් පැවැසීම භික්ෂුත්වය අහිමි වන පාරාජිකාවකි. මොවුන්ගේ ධර්ම විනයට පටහැනි දේශනා හේතුවෙන් ඇතැම් බෞද්ධයන්ගේ සිත් සතන් දූෂිතව, තෙරුවන් පිළිබඳ සැදැහැව හීන වන බවක් පෙනී යයි. ශ්‍රී සම්බුද්ධ දේශනාව, පාලි භාෂාව, බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බෞද්ධ චාරිත්‍ර ධර්ම සංස්කෘතික ලක්ෂණ හා ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථාන පිළිබඳ ගෞරවය දැඩි ලෙස කෙලෙසෙයි.

ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ල වී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර, ශාසනමාමක භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුම්වත් කරමින් ද, ෙනෙතික වශයෙන් ද විවිධ අවස්ථාවල කටයුතු කරති. නමුත් විවිධ විෂය හා වෘත්තිය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය තිබුණත්, ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බෞද්ධයෝ මිථ්‍යා මතවාද පිළිගෙන මුලාවට පත්වෙති.

මේ තත්ත්වය නිසා මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය කාරක සංඝ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා විදේ‍යා්දය හා විද්‍යාලංකාර පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා සහ ධර්මධර භික්ෂූන් වහන්සේලා රැස්ව පහත සඳහන් කරුණු කෙරෙහි අපේ මහා සංඝයා වහන්සේ මෙන්ම රජයේ සහ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කරවීමට ද ඒ අනුව කටයුතු කරන ලෙස දැනුම්දීමට ද තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා රජය හා ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින් විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු

  1. ථෙරවාදී පාලි ත්‍රිපිටක ග්‍රන්ථ, අට්ඨකතා හා ටීකාවන්හි අර්ථ විකෘති වන පරිදි ඒවායෙහි පෙළ වෙනස් නොකළ යුතුය. දේශනා මගින් හෝ ලිඛිතව ධර්ම කරුණුවලට හා වචනවලට අර්ථ හා විවරණ සැපයීමේදී සම්ප්‍රදායික හා සම්මත ව්‍යාකරණ නිරුක්ති ක්‍රමය භාවිත කළ යුතුය. ශ්‍රී පද්ධර්මය පිළිබඳ මූලික හා ගැඹුරු සිද්ධාන්ත විග්‍රහ කිරීමේ දී ඒවා හෑල්ලුවට ලක් කෙරෙන හාසේ‍යා්ත්පාදක වූ ද, ග්‍රාම්‍ය වූ ද, අර්ථශුන්‍ය වූ ද, වචන භාවිතයෙන් වැළකිය යුතුය.
  2. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ ද, සයිමන් හේවාවිතාරණ අරමුදල මගින් ප්‍රකාශිත අට්ඨ කථා සහ ටීකා ග්‍රන්ථ ද, බ්‍රිතාන්‍යයේ පාලි ග්‍රන්ථ සමාගම (Pali Text Society) විසින් මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථ ද, ධර්ම දේශනාවලදී හා ධර්මය හැදෑරීමේ දී මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් පිළිගෙන භාවිත කළ යුතුය.
  3. ධර්ම විරෝධී ක්‍රියා කලාපය නිසා භික්ෂු භාවයෙන් නෙරපූ මීවනපලානේ ධම්මාලංකාර හෙවත්පන්සල්හේනේ ධම්මාලංකාර නමැති භික්ෂු වේශධාරී තැනැත්තා විසින් ද, වහරක අභයරතනාලංකාර නමැති භික්ෂුවගේ අනුගාමිකයන් විසින් ද, විවිධ මාධ්‍ය භාවිත කරමින් පතුරුවනු ලබන මතවාද හා අරුත් විවරණ බුදු දහමට පටහැනි බැවින් ඒවාට මුලා නොවී ගිහි පැවිදි සියලු දෙනාම සත්‍ය ධර්මයෙහි පිහිටා ක්‍රියා කළ යුතුය.
  4. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවතින කිසිදු රටක උපසම්පදා සීලයෙහි පිහිටි භික්ෂුණීන් හෝ එයට සමාන වෙනත් නාමයකින් හැඳින්වෙන කාන්තා පැවිදි පිරිසක් දැනට දක්නට නොමැති නිසාත්, ථෙරවාදී ධර්මවිනයට අනුව කාන්තාවන් පැවිදි කිරීමට හැකියාවක් ද නොමැති නිසාත් එයට හේතු කාරණා ධර්ම විනයධර ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිරතුරුවම පැහැදිලි කර දී තිබෙන නිසාත්, අනගාරික කාන්තාවන් උදෙසා භික්ෂූණි නාමය නීත්‍යනුකූල ‍ලේඛනයන්හි භාවිත කිරීම ශ්‍රී ලංකා රජය හා අනුබද්ධ ආයතන විසින් නොකළ යුතුය.
  5. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ රාජ්‍ය වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කොට, ඒවා සුරක්ෂිත කිරීමට රජය විසින් වහාම නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුය.
  6. බෞද්ධ ජනතාව අතර අසමගිය, වාදභේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේග මේ තුළින් ක්‍රියාත්මක වන බවක් ද පෙනී යයි. එම නිසා, අධර්මවාදී ගිහියන්ට හා සිවුරු ‍පොරවාගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් වගබලා ගත යුතුය.

උභය මහා විහාරීය කාරක සංඝ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා, විදේ‍යා්දය හා විද්‍යාලංකාර මහ පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා ඇතුළු ධර්මධර භික්ෂූන් පිරිසක් විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය සුරක්ෂිත කිරීම සඳහා යෝජිත ඉහත සඳහන් කරුණු වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ද අනුමත කරන්නෙමු.

එබැවින්, ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කිරීම සඳහා පැවැරුණ වගකීම අනුව ඉහත කරුණු ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස ද, බුදුරදුන් ලක්දිව ඉපදුන බවට හා ධර්මවිරෝධී විවිධ මිථ්‍යා මතවාද පතුරුවන පුද්ගලයන් රාජ්‍ය ආයතනවල දේශනා පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතුවල යෙදීම වළක්වන ලෙසද, ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන රජයට කරුණාවෙන් සිහිපත් කරමු.

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අතර සාමය හා සමගිය පවත්වා ගැනීම සඳහා සෑම අවස්ථාවකම බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අපගේ භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධ ජනතාවට ශාසනාලයෙන් විශේෂයෙන් සිහිපත් කර සිටිමු.

Related posts

බස් ගාස්තු වැඩි කරන්න යයි

colombotoday

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday