Colombo Today Local News

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ තමන්ගේ අවසාන වසරට පැමිණ සිටින මෙම ආණ්ඩුව මෙරට සතු දැවැන්ත සම්පත් විදේශිකයන්ට විකුණා දැමීමේ කටයුතු දිගටම සිදුකරමින් සිටිනවා.  එහි තවත් එක් පාපකර්මයක් පසුගිය අගෝස්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව ගත් බව අප රටට හෙළි කරනවා.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 18/1602/831/016 කියන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2018 ජූලි මාසයේ 13 වෙනිදා උනත් මෙය අනුමත වෙන්නේ 2018 අගෝස්තු 15 වෙනිදායි. මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා වෙන් තමයි ශ්‍රී ලංකාව සතු උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් සම්පතක් වන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට තීරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය දක්වපු ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ  ඇස් වලට වැලි ගසා ඔවුන්ද රවටා දුන් පොරොන්දු ද කඩකරමින් තමයි ආණ්ඩුව මේ තීන්දුව ගන්නේ.

මේ තෙල් ටැංකි සංකීර්ණය ගැන කිව්වොත් 1930 දශකයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉන්දියාව වටා යන නැව් වලට තෙල් සැපයීමේ අරමුණින් එක් ටැංකියක් ටොන් දහදාහක ධාරිතාවයකින් යුතුව ටැංකි එකසිය දෙකක් ඉදිකර තිබෙනවා. මෙය ඉතා වටිනා සම්පතක්.  නමුත් මෙය භාවිතා නොකර පැත්තකට දමා තිබුණා. එයට වඩාත් ම බලපෑවේ ඉන්දියාව විසින් දිගින් දිගටම උත්සහ දැරුවා සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා පෝක් සමුද්‍ර සන්ධිය හැරීමට. පෝක් සමුද්‍ර සන්ධිය හාරා හනුමා පාලම කඩා බිඳ දමා ගතහොත් නැව් ගමනාගමනය පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිදුකළ හැකි වෙනවා. එවිට  ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් තෙල් ලබාගැනීමට නැව් එම ප්‍රදේශයෙන් ගමන් කිරීමක් සිදුවෙන්නේ නැහැ.

එක පැත්තකින් මෙය හනුමා රාමා සමග එක්ව හදපු පාලම. එහෙයින් මෙය හාරා කඩා බිඳ  දමන්නට ඉඩ නොදිය යුතුයැයි හින්දු ආගමිකයන් අතර ලොකු විරෝධයක් තිබුණා. ඒ වගේම මේ අය කඩා බිඳ හෙළන්නට භාරදුන් සමාගමේ ඒ සඳහා භාවිතා කළ නැව් යනාදිය විනාශ වීම නිසා මෙම හනුමා පාලම කඩා බිඳ දැමීම ඇන හිටියා. ඒ නිසා දැන් ස්ථිර වශයෙන්ම ඉන්දියාව පෝක් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගෙනයාමක් සිදු කරන්නේ නැහැ. බටහිර ඉන්දියානු වරායන් වලින් පිටත් වන නැව් නැගෙනහිර ඉන්දියාවේ වරායන් කරා ගමන් කළ යුත්තේ ශ්‍රී ලංකාව වටා ගමන් කිරීමෙනුයි. ඒවාට තෙල් ලබා දීම සිදු කළ හැකි හොඳම ස්ථානය  ත්‍රිකුණාමලයයි.

ඒ අනුව ලංකාව වටා යන ඉන්දියානු නැව්වලට අවශ්‍ය තෙල් ලබා දී දැවැන්ත විදේශ විනිමයක් උපයාගත හැකි උපාය මාර්ගික වශයෙන් ද ඉතාමත්ම වැදගත් මේ තෙල් ටැංකි සමූහය ඉන්දියාවට ලබා දීම සඳහා මේ ආණ්ඩුව බලයට පැමිණි දා සිට ම උත්සාහ දරනු ලැබුවා. මෙහි ඉතිහාසය සොයා බැලුවොත් තෙල් ටැංකි 99ක් කිසිදු බදු ගිවිසුමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැතිව සිටිය 2002 වසරේදී වසරකට ඩොලර් ලක්ෂය බැගින් වන බදු කුලියකට ඉන්දියානු  IOC සමාගමට ලබාදුන්නා.

තෙල් ටැංකිය 99ක් සඳහා වසරකට ඩොලර් ලක්ෂයක බදු මුදලක් ලබා ගන්නවා කියන්නේ එක දිනකට එක් ටැංකියකට ලබාගෙන තිබෙන්නේ ඩොලර් 2 සත 77 හෙවත් රුපියල් 459ක් පමණයි. එක් ටැංකියක ධාරිතාව ටොන් දහදාහක් නැතිනම්  ලීටර් මිලියන 10ක්. ඒ අනුව එක් ලීටරයක් එක් දිනක් ගබඩා කර තැබීම සඳහා අය කරගෙන තියෙන්නේ සතයෙන් දස දහසෙන් එකක් තරම් ඉතා සුළු මුදලක්. කිසිම ගිවිසුමක් නොමැතිව මේ බදු මුදල් ඉන්දියාව විසින් ගෙවමින් ඉඳලා නැවත වාරයක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ විට මේ ගිවිසුම ක්‍රියාත්මක කරලා දැන් තීන්දු  කරලා හමාරයි අපේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියානු IOC සමාගම හවුල් ව්‍යාපාරයක් විදිහට මේ තෙල් ටැංකි 99 ම මේ සමාගමට භාර දෙන්න.

මේ පිළිබඳ මූලික සාකච්ඡා මතුවුනාම ඔබට මතක ඇති 2017 වසරේ ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව දැවැන්ත වැඩවර්ජනයක් සිදුකළා. එම අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමන්ගේ ලේකම් සමන් ඒකනායක මහතා 2017 පස් වෙනි මස 26 වෙනිදා වෘත්තීය සමිති එකමුතුවේ රාජකරුණා මහතාට ලිපියක් මගින් දැනුම් දෙනවා ඔබත් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව වෘත්තීය සමිති වල එකඟතාවයකින් තොරව ආණ්ඩුව මේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට එළඹෙන්නේ නොමැතිබව. වෘත්තීය සමිති වලට ලබා දුන් පොරොන්දුව කඩ කරමින් තමයි අප සතු වටිනාම සම්පතක් ඉන්දියාවට කුණුකොල්ලයට ලබාදීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීන්දුවකට එළැඹෙන්නේ.

අපට තියෙන ප්‍රශ්නය මේ අමාත්‍ය මණ්ඩලයේ කිසිම අමාත්‍යවරයකුගේ පපුව රිදුම් කෑවේ නැද්ද මෙවැනි සම්පතක් ඉන්දියාවට දීමට තීන්දු වෙද්දී. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ සිටින විශ්‍රාමික දේශප්‍රේමීන්ට පරණ පුරුද්දට වත් රටේ සම්පත් මෙහෙම දෙන්න එපා යැයි කියන්නට කට ඇරුනේ නැත්තේ ඇයි? කියන ප්‍රශ්නය අපට මතු වෙනවා. මේ ආණ්ඩුව තව දුරටත් පැවතුනහොත් ඊළඟට එන ආණ්ඩුවට රොඩ්ඩ විතරයි ඉතිරි වන්නේ. මීළඟ ජනාධිපතිවරණය වනතුරු තවත් මාස 12ක් කල් මරන්නේ නැතුව මේ ආණ්ඩුව වහ වහා ගෙදර යැවිය යුතු බවයි මේ අමාත්‍ය මණ්ඩල තීන්දුව හරහා මේ ආණ්ඩුව විසින්ම රටට ලබාදෙන පණිවිඩය.

– අරවින්ද අතුකෝරල

Related posts

පාර්ලිමේන්තුවට ගෙනෙන ඉඩම් පනතට මම විරුද්ධයි. ජනපති සිරිසේන කියයි

colombotoday

නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

සිලාවතුරේදී නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙක් නාවික හාමුදා භාරයට.

colombotoday

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday