Colombo Today Local News

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

අල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05)දින අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කෙරිණි.

එම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාළකවරයාට සහ කටුනායක ගුවන්තොටුපළ වෙත යොමුකරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන්ගේ ඇප තැබීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නඩුව නැවත ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර නඩුව විභාග කිරීම සඳහා සියලු කටයුතු සම්පූර්ණකර තිබේදැයි පරික්ෂා කිරීම සඳහා එය අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබේ.

2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ලකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිති. නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතා 2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ ද විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි.

Related posts

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

colombotoday

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday