Colombo Today Local News

ප්‍රතිසංවිධානය බොරුවක්.. රනිල් මීළග ජනාධිපතිවරණයට තරග කළොත් මාත් වෙනම තරග කරනවා – සුජීව

පක්‍ෂ ප්‍රතිසංවිධානයක් සිදු වුණා. ඒත් එ.ජා.ප. මැති ඇමැතිවරු සෑහීමකට පත්වෙලා නෑ. ඔබ ඉන්නෙත් ඒ තැන. දිගමට ඔහොම ඉන්නවද සටන් කරනවද?

පක්‍ෂ ප්‍රතිසංවිධානය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වුණේ පූර්ණ ප්‍රතිසංවිධානයක්. නමුත් එතුමාම යෝජනා කළ තනතුරු නාම සම්මත කරගෙන මේ ප්‍රතිසංස්කරණය සිදු වුණා. ඒ ගැන පක්‍ෂයේ බොහෝ දෙනකු තුළ විවිධ මත තිබෙනවා. අපි බලාපොරොත්තු වූ ප්‍රතිසංස්කරණය තවම ලැබිලා නෑ. ඒක නිසා එම කාර්ය සාක්‍ෂාත් කර ගැනීමට අපේ සටන තවම ක්‍රියාත්මකයි.

මොන විදියටද සටන ගෙනියන්නේ?

මේ සටන අපි පාරට බැහැලා රටට පේන්න කරන්නේ නෑ. පක්‍ෂය ඇතුළේ එ.ජා.ප.ය රැක ගන්න එ.ජා.ප. පාක්‍ෂිකයා රැක ගන්න අපි සටන ගෙනියනවා. මේක තීරණාත්මක අවස්ථාවක්.

ඉදිරියේදී පළාත් සභා ඡන්දය ජනාධිපතිවරණය එනවා. ඒ වෙන කොටත් මේ සටන මේ විදියට ගෙනියයිද?

ඒකට පෙර මේ සටන ඉවර කරලා පක්‍ෂයට හොඳ නායකයෙක්, පක්‍ෂයේම හොඳ ප්‍රතිපත්ති මාලාවක් එක්ක ඡන්ද දිනන වැඩකට යා යුතුයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනාධිපතිවරණ හතරක් පැරැදුණු නායකයෙක්. ඒ නිසා විශාල තීන්දු තීරණ ගණනාවක් ගැනීමට සිදු වෙනවා. මේ පාර ඉල්ලුවොත් එතුමා ඉදිරිපත් වන පස් වැනි වතාව.

විශ්වාසභංගය පරාජය කරපු එ.ජා.ප.ය අළු ගසා දමා නැඟිට්ටා. රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙසත් පක්‍ෂ නායකයා ලෙසත් තීන්දු කළා. ඒත් දැන් ඔබේ කතාව වෙන එකක්?

අපි විශ්වාසභංගයට ඡන්ද දීලා පරාජය කළේ පක්‍ෂය රැක ගන්න. අපේ නායකයා රැක ගන්න. ඒ නිසා පක්‍ෂයට දිරියක් ලැබුණා. නමුත් ඒ වෙලාවේ මම පොරොන්දු වෙලා ලාභ ප්‍රයෝජන තකා නොවෙයි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ. අපට ඕන වුණේ ශක්තිමත් එ.ජා.ප.යක් ගොඩනඟන්න විතරයි. ඒ වෙනුවෙන් තමයි දැන් සටන ගෙනියන්නේ.

නායකත්ව මණ්ඩලයක් පත් කරලා රුවන් විජයවර්ධන කමිටුව හරහා විවිධ යෝජනා ගෙනත් කළ ප්‍රතිසංවිධානය අනුමත කරනවද?

ඔය නායකත්ව මණ්ඩල හරි එක එක කමිටු ගෙනත් කරන්නේ කල් වැරීමක් ඒකෙන් පක්‍ෂයට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. මොකද කමිටු හරහා මණ්ඩල හරහා මොන මොන තීන්දු තීරණ ගත්තත් පවතින යාන්ත්‍රණයට ඕන විදියට නම් ඒක සිද්ධ වෙන්නේ පලක් නෑ.

රුවන් විජයවර්ධන කමිටු වාර්තාවේ යෝජනා හොඳයි කියලා බොහෝ දෙනා අනුමත කරද්දී ඔබ ඒකට අකැමැතියි?

රුවන් විජයවර්ධන කමිටු වාර්තාවේ යෝජනා හොඳයි. ඒකට අනුව නායකයා පත් කරන්නත් ඕන ඡන්දයකින්. අනෙක් තනතුරුත් ඡන්දයකින් නමුත් මම කියන්නේ මේක හොඳ නැහැ කියලා නෙවෙයි. මොන කමිටු වාර්තා දැම්මත් පවතින රාමුව ඇතුළේ මේ වැඩේ හරි යන්නේ නෑ. දැන් වුණේ අර නායක මේ නායක, උප නායක, කටුනායක කිය කිය නමට ඉස්සරහින් තනතුරක් ආපු එක විතරයි. සම්මතයක් විතරයි. මේ තනතුරුවලින් කරන්න පුළුවන් දෙයක් නෑ.

ඒ කියන්නේ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන් ඕන කියලද?

ඒක දැනගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා පක්‍ෂය එක්ක සාකච්ඡා කරලා තීන්දු කළ යුතුයි. මගේ මතය නම් නායකත්වයේ ප්‍රතිරූපය වෙනස් වෙන්න ඕන කියන එකයි. ඒ දේ රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතුයි. පත්වෙන නායකයත් පක්‍ෂයේ බහුතර කැමැත්ත මත පත්විය යුතුයි.

නායකයා එළවන සටන මීට පෙරත් කළා. වැඩේ හරි ගියේ නෑනේ?

අවුරුදු 15ක ඉඳන් මම මේ සටන ගෙනි යනවා. මීට පෙර සටන් කළ අය සටන් කළා. පක්‍ෂයෙන් ගියා. එහෙම ගිහින් මේ සටන දිනන්න බැහැ. මේ සටන නිසා මගේ ආසනය දෙකට කැඩුවා. මට තනතුරු දෙන්නේ නෑ. මහ මැතිවරණයේදී කොළඹින් මම දෙක වුණා. 2015 ජනාධිපතිවරණ සටනේදී මූලික පුරුකක් මම. මම, රාජිත, චම්පික, රතන හාමුදුරුවෝ, දඹර අමිල හිමි, සෝභිත හිමි කරපු කැපවීමේ ප්‍රතිඵල දැන් අමතක වෙලා. මම ඒවාට සැලෙන්නේ නෑ.

ඔබට තනතුරු නොදීම පළිගැනීමක්ද?

වෙන්න පුළුවන්. නමුත් මම මගේ දේශපාලනය ගැන බලන්නේ නෑ. මම බලන්නේ පක්‍ෂය ගැන. රටේ අනාගතය ගැන. මොන සටනක් ගියත් ඒ සටනේ මුලින්ම ඉන්නේ මම තමයි. බෙල්ල යන්නෙත් මගේ තමයි. මගේ තාත්තා මට හොඳ කොන්දක් දීලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයකට බය නැතිව කතා කරන්න.

කාලයකදී පක්‍ෂය අතහැර යන්න හිතුවෙත් ඒ නිසාද?

එහෙම කට කතාවක් ගියා. නමුත් මොන ප්‍රශ්න ආවත් මගේ තනතුර, මගේ පක්‍ෂය දාලා මම යන්නේ නෑ.

පක්‍ෂ සටන ගෙන යන ඔබ තනතුරු පත්කළ කෘත්‍යාධිකාරි රැස්වීමේදී මඟ හැර විදේශගත වුණේ ඇයි?

මම හාවඩ් විශ්වවිද්‍යාලයේ වැඩසටහනකට සහභාගි වුණා. ලක්‍ෂ 6,000ක් විතර වටින වැඩසටහනක් අනුව නිලධාරීන් 50 දෙනෙක් පුහුණු කරනවා. ඒක අපේ රටට හොඳ ආයෝජනයක්. සෑම වසරකම මෙම වැඩසටහනට සහභාගි වීමට මට ආරාධනා ලැබෙනවා. ඒකට සහභාගි වෙන්නයි මම ගියේ. ඒකට මම සම්බන්ධ වෙලා ගෝලීය ආර්ථිකය ගැන හොඳ දැනුමක් මට ලැබෙනවා. මේ නිසා රටේ ආර්ථිකය ගැන මට හොඳ දැනුමක් තියෙනවා. මම පශ්චාත් උපාධියකුයි ආචාර්ය උපාධියකුයි කරන්න පටන් ගන්නවා. එතකොට ආර්ථිකය ගැන ලොකු දැනුමක් මට ලැබෙනවා.

පක්‍ෂයෙන් අලුත් තනතුරක් ලැබිලා තියෙනවා. ඒ තනතුර ගැන සෑහීමකට පත් වෙනවද?

මාව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ලේකම් කෙනකු විදියට පත් කරන්න යනවා කියලා දැන ගත්තේ මාධ්‍යයෙන් තමයි. මාව ඒ ගැන දැනුවත් කරලා නෑ. රටේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරන්න එම තනතුර කොතෙක් ඉවහල් වෙයිද දන්නේ නෑ. මට මොන තනතුරක් දුන්නත් නැතත් මම මගේ වැඩ කොටස පක්‍ෂය වෙනුවෙන් රට වෙනුවෙන් ඉටු කරනවා. මොකද මට හොඳ ජන පදනමක් තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. මට ජනතා ආකර්ෂණයකුත් තියෙනවා.

ඔබ කියන ජන පදනම දැනටත් තියෙනවද?

ඔව්.

බැඳුම්කරය ගැන පොත් ලියන්න ගිහින් ඒ ජන පදනම විනාශ වුණා නේද?

ඒක ජනතාව තේරුම් ගත්ත විදිය. මම කළේ බැඳුම්කර ගනුදෙනුවලදී සෘජු විකිණීමද, වෙන්දේසි ක්‍රමයද හරි කියන එකයි ඒකෙන් කළේ. මම ඒ පොතෙන් කාටවත් මඩ ගහන්න යොදා ගත්තේ නෑ. මම දක්‍ෂ නීතිඥයකු විදියට ඒකට හරි සාධාරණයක් ඉටු කළා. අපි කවුරුත් සුද්ද කරන්න ගියේ නෑ. බේර ගන්නත් ගියේ නෑ. වැරැදිකරුවන්ට වැරැදිකරුවන් විදියට දඬුවම් දෙන්න ඕන. විගණකාධිපති එක එක තර්ක ගේනවා. අපි ඒ තර්ක බින්දා. ඉන්පසු කොමිෂන් සභාවෙන් අපේ පාද සටහන් හරියටම හරි කියලා කිව්වා.

එ.ජා.ප.යේ කඩා වැටීම, පසුබෑම සිදුවුණේ බැඳුම්කර වංචාව නිසා නේද?

අනිවාර්යයෙන්ම ඒකේ වගකීම රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර ගන්න ඕන. අපි අපේ කාර්යය නීතිමය පැත්තෙන් ඉදිරිපත් කළා.

මාරපන වාර්තාව අනුව හිටපු මුදල් ඇමැති දරපු සියලු තනතුරුවලින් ඉවත් කළා. පක්‍ෂයේ උප නායකකමෙන් ඉවත් කළා. දැන් ඔහුට පක්‍ෂයේ උප නායක තනතුර දීලා. වැරැදි කරපු අයට දඬුවම් දෙන හැටිද මේ?

මම ඒ පුද්ගලයන් ගැන අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. මොකද මොනවා වුණත් ඔවුන් අපේ සගයොනෙ. ඒක තීන්දු තීරණ කරන්න ඕන රනිල් වික්‍රමසිංහ මහතායි.

පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රිවරුන් සහ ඇමැතිවරුන් එක හෙළාම ගෙන ගිය සටන ඇත්තටම සාර්ථක වෙයිද?

අපේ උත්සාහය සාර්ථක කර ගන්න. ඒ වෙනුවෙන් පෙළ ගැසෙනවා. අගමැතිතුමාගේ පක්‍ෂ නායකකම සැප්තැම්බර් හරි දෙසැම්බර් හරි ඉවර වෙනවා. අනිවාර්යයෙන්ම එ.ජා.ප. නායකත්වයට තරගයක් තියෙන්න ඕන. තව කෙනෙක් පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න ඕන. ඒකෙන් ජය ගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයද, සජිත් ප්‍රේමදාස මහත්තයාද, රංජිත් මද්දුම බණ්ඩාරද, මමද කියන එක එදාට තීරණය වෙයි.

බැරි වෙලාවත් ඉන්න නායකයා එළවන්න බැරි වුණොත්. එතුමාම 2020ට ඉල්ලුවොත්?

එහෙම වුණොත් මම ස්වාධීනව ජනාධිපතිවරණයට ඉල්ලනවා.

පක්‍ෂ ව්‍යවස්ථාවේ තියෙන දුර්වලතා නිසා නේද මෙහෙම වෙන්නේ?

අනිවාර්යයෙන්ම. හැබැයි මේ ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ලෙසයි. නමුත් දැන් තියෙන්නේ කලින් නොතිබුණු පරිසරයක්. තිබෙන ව්‍යවස්ථාව තුළ හරි කමක් නෑ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා නම්. එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නය. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 40-45ක් පමණ පක්‍ෂයේ සැබෑ වෙනසක් සිදු විය යුතුයි කියන තැන ඉන්නවා. ඒ පොදු මතය එක්ක මම ඉන්නවා.

මේ හැමදෙනාම විශ්වාසභංගයට සහාය දුන්නේ පක්‍ෂයේ වෙනස බලාපොරොත්තුවෙන්නේ?

ඔව්. අපි හිතුවේ එහෙමයි. මම අගමැතිතුමා එක්ක සාකච්ඡා කරනකොට එතුමා කිව්වේ අනිවාර්යයෙන්ම මේ වෙනස සිදු කරනවා කියලයි. පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් සිදු කරනවා කියලයි. එතැනයි අපි නතර වුණේ.

ඔබ පිළිතුරු දෙන්නේ හරි පරිස්සමින්. ඒ ඇයි?

පරිස්සමින් නෙවෙයි. පක්‍ෂයක් විදියට උත්තර දෙනකොට ගෙදර දේවල් එළියට දෙන්න බෑ ඒ විදියට. ඒ නිසා පරිස්සම් වෙනවා. යම් සීමාවක ඉඳන් උත්තර දෙනවා. හැබැයි මම ඇතුළේ සුද්ද සිංහලෙන් උත්තර දෙනවා. මම එහෙම කතා කරන නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ ලොකු කණ්ඩායමක් මාත් එක්ක අමනාපයෙන් ඉන්නේ. මේ හැමදේම කරන්නේ පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්. මට නොම්බර එක රනිල් වික්‍රමසිංහ මහතා නෙවෙයි. අපේ පාක්‍ෂිකයයි නොම්බර එක වෙන්නේ. ඊට පස්සේ රට. ඊට පස්සේ තමයි නායකයෝ ඉන්නේ.

ඔබේ නොම්බර එකේ පාක්‍ෂිකයාට බලය ලැබුණට පස්සේ සැලකුවද?

නෑ. ඒක නිසා තමයි අපි පක්‍ෂය ඇතුළේ සටන් කරන්නේ. මම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති විදියට හැමදාම මේ ප්‍රශ්නය මතු කරනවා. දේශපාලන පළි ගැනීම්වලට ලක්වූ අපේ පාක්‍ෂිකයාට සහනයක් දෙන්න අපිට බැරි වෙලා තියෙනවා. එහෙම ආණ්ඩුවකින් රටටත් ජනතාවටත් වැඩක්නෑ. ඒක අපේ නොහැකියාව.

ඒක නිසා තමයි මහින්ද මහත්තයා දිනන්නේ?

මහින්ද රාජපක්‍ෂ දිනලා නෑ. අපියි පරාජය වෙලා තියෙන්නේ. ඒ පරාජයේ ජය මහින්ද මහත්තයා අරගෙන. මහින්ද මහත්තයට එහෙම ලොකු ජනතා බලවේගයක් නෑ. යහපාලන ආණ්ඩුවේ බලාපොරොත්තු අගමැතිතුමයි ජනාධිපතිතුමයි විනාශ කිරීම තුළ මහින්ද මහත්තයා දිනලා තියෙනවා.

විද්‍යාත්මක කැබිනට් සංශෝධනයක් වුණා. ඒ ගැන මොකද කියන්නේ?

වැඩක් නෑ. මම කොළඹ දෙක. රංජිත් මද්දුම බණ්ඩාර මොනරාගල එක. පාලිත රංගේ බණ්ඩාර පුත්තලමේ එක. තලතා අතුකෝරාල රත්නපුර එක. බුද්ධික පතිරණ මාතර එක. අලුවිහාරේ මාතලේ එක. තව අය ඉන්නවා. මේ එක අයකුටවත් කැබිනට් එකේ හොඳ අවස්ථාවක් ලැබිලා නෑ. කලින් කොළඹ පළමු අට දෙනාම කැබිනට් ඇමැතිවරු වුණා. මම දෙකට ඇවිත් ජනාධිපතිවරණයෙන් වැඩ කොටසක් කරලා බලතල නැති රාජ්‍ය ඇමැති ධුරයක් තියෙනවා. මට ඒ බලතල නැතත් කර්මාන්ත 200ක ආයෝජනයක් කළුතරට ගෙන එනවා. මේ දෙසැම්බර් වෙනකොට මට මීට වඩා වැඩකොටසක් කරන්න පුළුවන්. තව මාස දෙකකින් මහපොළ පටන් ගන්නවා. හාවඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෝ 50ක් පුහුණු කරනවා පිටරට ගිහින් ආයෝජන ගෙන එන්න. ඊට පස්සේ තානාපතිවරුන්ට මේ අය – හඳුන්වලා දෙනවා ඕනෑම විෂයකට හරියන විශේෂඥයෝ අපි ළඟ ඉන්නවා කියලා. අපනයන ප්‍රතිපත්තිය හදන්න නායකත්වය දුන්නේ මම. ඒක දෙසැම්බර් වනවිට ඉවරයි. අය වැයට රටේ ආයෝජන ගැන කාරණා ඉදිරිපත් වෙන්නේ ඒ පනත හරහා. මට හරි බලයක් ලැබුණොත් අවුරුදු 2-3ක් තුළ මම අපනයන දෙගුණ කරනවා. මම වගේ දක්‍ෂ අය – තව ඉන්නවා. ඒ කාටවත් කැබිනට් එකේ තැනක් නෑ.

රවි කරුණානායක හිටපු ඇමැතිවරයත් කියා තිබුණා තමන්ට නැවත මුදල් ඇමැතිකම ලැබුණොත් ආර්ථිකය නංවනවා කියලා. ඔබේ කතාවත් එහෙම එකක්ද?

නෑ. එක එක්කෙනා තමන් දක්‍ෂයි කියලා හිතන් ඉන්නවා. ඒක තීන්දු කරන්න ඕන රටේ ජනතාව කවුද දක්‍ෂ කවුද අදක්‍ෂ කියලා. හරියට හොයලා බැලුවොත් බලන්න පුළුවන් කවුද ප්‍රතිඵලවලට යන කෙනා කියලා.

රුපියල අවප්‍රමාණය වෙලා. බඩු මිල ඉහළ ගිහින්. ජනතාව මත බදු පටවලා. යහපාලන ආණ්ඩුව ආර්ථිකය කඩා දමලා චෝදනා එල්ල වෙන්නේ ඒ විදියට?

අපි හරියට හරි වෙලාවේදි තීන්දු තීරණ නොගත්ත ප්‍රතිඵලය තමයි ඔය පෙනෙන්ට තියෙන්නේ.

කාගේද වරද?

ආණ්ඩුවේ තමයි. ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒවාගේ තීන්දු තීරණ ගන්න පරක්කුයි. කමිටු හැම එකකටම දානවා. කමිටුවක් දාලා ඊට උඩින් තව කමිටුවක් ඊටත් උඩින් තවත් කමිටුවක් දානවා. එහෙම වෙනකොට අපට තීන්දු තීරණ ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඕවා ගැන කතා කළාම වැරැදිකාරයා වෙනවා. අපි හොරකම් කරන්නේ නැත්නම් අපි කාටවත් බය වෙන්නේ ඕන නෑ.

පක්‍ෂයේ පසු පෙළක් හැදෙන්නේ නැත්තේ ඇයි? ඒකනේ මේ හැම අරගලයක්ම?

පසු පෙළක් හැදෙනවා. ඒ අය යනවා. දැනට පක්‍ෂයෙන් 55ක් ගිහින් තියෙනවා. සටන් කරන අය යනවා. අපිත් යැවෙන මට්ටමට දැන් ඇවිත් තියෙන්නේ. නමුත් අපි ප්‍රතිපත්තිගරුක නිසා යන්නේ නෑ. නායකතුමා එයාගේ අය යෝජනා කළා. ඒ වෙලාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මම හිටියා නම් තවත් අය තනතුරුවලට යෝජනා කරනවා. ඒත් ඒක එහෙම වුණේ නෑ. හැම සටනකම පෙරමුණ ගන්න වෙලා තියෙන්නේ මට.

අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායම 03 වැනිදා රැස් කළා. ආවේ 34යි. ඒ ඇයි?

අපි ඒක වර්ජනය කළා. හරි දේ වුණේ නැහැනේ. ඔතැනට ගියා නම් මට කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට අර්බුද ඇති වෙනවා. මොකද අපට ඕන 2020ට කවුද ඕන කියන එක. ඉදිරි මාස 2-3 තුළ අපි ඒ ගැන තීන්දුවක් ගන්නවා. එතැනටයි දැන් තල්ලු වෙන්නේ. පක්‍ෂයේ බහුතරය රනිල් වික්‍රමසිංහ කිව්වොත් මම ඒකට සහාය දෙනවා. පක්‍ෂයේ බහුතරය සජිත් ප්‍රේමදාස කිවොත් මම ඒකට සහාය දෙනවා. එතකොට මම මගේ මතයේ ඉන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මගේ සහාය කොහොමත් තියෙනවා. ගමේ ගැම්මත් එනවා.

සජිත් මහත්තයාගේ ඉලක්කය 2025?

නැහැ. දැන් එතුමා කැමැතියි. 2020ට ඉදිරිපත් වෙන්න කැමැතියි. ඒක පක්‍ෂයේ බහුතරය ඡන්දයකින් නම් කරලා දෙන්න ඕන. පක්‍ෂ නායකත්වය වුණත් ඡන්දයක් තියලා දිනලා එන්න එතුමා කැමැතියි.

ඔය ඔක්කොම කියලා පොදු අපේක්‍ෂකයෙක් දැම්මොත්. චම්පික – රාජිත ඇමැතිවරුන්ගේ නම් ඒ සඳහා යෝජනා වෙනවද?

ඒවා නෑ. මේ පාර පොදු නෑ. සජිත් මහත්තයා හරි රනිල් මහත්තයා හරි පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් ආවොත් සහාය දෙනවා. එහෙම නැතිව පක්‍ෂ බහුතරයට පිටින් කවුරු ආවත් මම අපේක්‍ෂකයෙක් ලෙස ස්වාධීනව ඉදිරිපත් වෙනවා.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක
– mawbima

Related posts

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday

විජයකලා නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙයි.. මහා ගාලගෝට්ටියක් මැද සභාව කල් දමයි

colombotoday

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

ජනපති නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යයි

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin