Colombo Today Local News

පක්ෂය හදන හැටි ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න – ජෝන්ගෙන් රනිල්ට තද දේශනයක්…

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර හමුවක් පසුගියදා සිදුවිය. මෙහිදී එජාප ජ්‍යෙෂ්ඨයෙකු වන ජෝන් අමරතුංග අමාත්‍යවරයා, රවී කරුණානායක මහතාට පක්ෂයෙන් සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී අමරතුංග මහතා අවධාරණය කර ඇත්තේ තවදුරටත් රවී කරුණානායක මහතාට පක්ෂයෙන් අසාධාරණයක් සිදුවන්නේ නම් එය පක්ෂය තුළ ඇති අභ්‍යන්තර අර්බුද උත්සන්නවීමට හේතුවක් වියහැකි බවයි. රවී කරුණානායක යනු පක්ෂයට බලය නැතිව සිටි කාලසීමාව තුළ පක්ෂය වෙනුවෙන් දැඩි කැපකිරීමක් කළ පුද්ගලයෙකු බවත් ඔහු නොසිටින්නට සිරිකොත පක්ෂ කාර්යාලය නඩත්තු කරගත නොහැකිව වසාදැමීමට සිදුවන බවත් අමරතුංග මහතා අගමැතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

රවී කරුණානායක මහතාට ඇමතිධූරයෙන් ඉවත්වීමට සිදු වූයේ ඔහු මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සිදු වූ බැඳුම්කර වංචාව හේතුවෙනි. එම වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ රවී කරුණානායක මහතා අදාල වංචාවට වගකිවයුත්තෙක් නොවන බවයි. මෙම තත්වය පිළිබඳව ජෝන් අමරතුංග ඇමතිවරයා අගමැතිවරයාට පැහැදිලි කර ඇති අතර සියලු චෝදනාවලින් ඔහු නිදහස් කර ඇති බැවින් ඇමතිධූරයක් ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

යම් හෙයකින් රවී සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයක් නොමැති නම් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් නොකරන අමාත්‍යංශයක් හෝ ඔහුට ලබාදීමට කටයුතු කරන ලෙස අමරතුංග මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ වනවිට පක්ෂය වැටී ඇති තත්වය සම්බන්ධයෙන්ද අගමැතිවරයා සහ ජෝන් අමරතුංග ඇමතිවරයා අතර සාකච්ඡාවට භාජනය වී තිබේ. එහිදී අමරතුංග මහතා පවසා ඇත්තේ පක්ෂයේ විනය පවත්වාගෙන යන ආකාරය ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉගෙන ගන්නා ලෙසයි. ජේ.ආර්. ජයවර්ධන මහතා තමන්ට අවශ්‍ය ආකාරයෙන් පක්ෂය මෙහෙයවීම සිදු කළද පක්ෂයේ විනය කිසිවිටෙකත් පිරිහීමට ඉඩ නොදුන් බවත් ඔහු අනුගමනය කරමින් හෝ විනයගරුක පක්ෂයක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා අවධාරණය කර තිබේ.

මේ වනවිට පක්ෂය තුළ විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගී තිබීම පක්ෂයේ අනාගතයට එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව පෙන්වා දී ඇති අමරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය පරිදි පක්ෂයේ කටයුතු සිදු නොවීමට නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වගබලා ගත යුතු බවයි. ඉතිහාසයේ පක්ෂය තුළ සිටි සියලු නායකයන් කොන්ද කෙලින් තබාගෙන තීරණ ගත් හෙයින් එක්සත් ජාතික පක්ෂය කඩාවැටුණු සෑම මොහොතකම අළු ගසාදමා නැගී සිටි බවත් එහෙත් වර්තමානයේදී පක්ෂය අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දී ඇති බවත් අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ඔහු පවසා තිබෙන්නේ ඒ සඳහා පක්ෂ නායකත්වයේ දුර්වලතාවය ප්‍රධාන හේතුවක් වූ බවයි.

ඉදිරි තීරණාත්මක මැතිවරණවලදී පක්ෂයට ජයග්‍රහණ ලැබීමට නම් ජනතාව පක්ෂයට එකතු කරගන්නා වැඩපිළිවෙලකට යෑම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා සුදුස්සන්ට, දක්ෂයන්ට අවස්ථාව ලබාදිය යුතු බවත් ඇමතිවරයා අවධාරණය කර ඇත. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇති බව පෙන්වා දී ඇති අමරතුංග මහතා අවධාරණය කර ඇත්තේ පක්ෂයේ තනතුරු ලැබිය යුත්තේ සුදුස්සාට දක්ෂයාට මිස රෝයලිස්ලාට නොවන බවයි.

voice of ceylon

Related posts

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් නැවත ආ ජංගම දුරකථන

colombotoday

උදලු පහරින් 74 හැවිරිදි මවක් මරුට

Admin

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

ඉස්ලාමීය අන්තවාදය එරෙහිව හින්දු එකමුතුව විරෝධතාවක – අන්තවාදයට එරෙහිව එකතුවන්න රටට හිතැති සැමගෙන් ඉල්ලයි.

colombotoday

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

colombotoday