Colombo Today Local News

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

කිසිම පක්ෂයකට බහුතරයක් ලැබී නැති පළාත් පාලන ආයතනවල මුල් පුටු තේරීමේදී මන්ත්‍රීවරුන් මුදලට හා වරප්‍රසාදවලට යටත්ව ඇති බව දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

පළාත් පලාන ආයතන ගණනාවක වැඩි ඡන්ද ලබා ගත් ඇතැම් දේශපාලන පක්ෂවලට එම පළාත් පාලන ආයතනවල බලය අහිමිවීමේ සිදුවීම් කීපයක් දැනටමත් වාර්තා වී ඇත.

විශේෂයෙන්ම දෙහිවල-ගල්කිස්ස, මිගමුව සහ ගාල්ල යන මහ නගර සභාවල බලය හිමි කරගත්තේ එහි දෙවැනි ස්ථානය ලබා සිටි දේශපාලන පක්ෂය වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය එම මහ නගර සභා තුනේම ඉදිරියෙන් සිටියත් ඔවුන්ට එහි බලය ලබාගැනීමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට නගරාධිපති තේරීමේදී වැඩි ජන්ද ප්‍රමාණයක් හිමිවීම හේතුවෙනි.

ඒ ආකාරයටම තමන් පරාජය වී සිටි බලංගොඩ නගර සභාවේ සහ කටුනායක-සීදුව නගර සභාවේ බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය.

විශේෂයෙන්ම, එම පළාත්පාලන ආයතනයන්හි දක්නට ලැබුණේ පක්ෂයේ තීරණයට එරෙහිව යමින් මන්ත්‍රීවරුන් ජන්දය ප්‍රකාශ කිරීමය.

“මහජන අභිලාෂයට එරෙහිව යාමක්”

මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ දහයේ පටන් රුපියල් කෝටිය දක්වා මුදල් ලබාදෙන බවට තොරතුරු තිබෙන බව ‘පැෆරල්’ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.

“පළාත් පාලන ආයතන 340 න් 138 ක පමණයි – තනි දේශපාලන පක්ෂයකට බලය පිහිටුවා ගන්න පුළුවන්. ඒ නිසා මේවනවිට මහජන නියෝජිතයෝ මුදලට හුවමාරු වෙමින් තිබෙනව,. මේක බරපතළ තත්ත්වයක්” යනුවෙන් පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘බීබීසී සිංහල සේවය’ට කියා සිටියේය.

මෙලෙස ජනතාව වැඩිම බලය හිමිකරදී තිබු පක්ෂයට එම පළාත් පාලන ආයතනයේ බලය හිමි නොවීම “මහජන අභිලාෂයට එරෙහිව යාමක්” ලෙස හැඳින්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම තත්ත්වය මෙම මැතිවරණ ක්‍රමයේ ප්‍රබල අඩුපාඩුවක් බවත් පෙන්වා දුන්නේය.

එකිනෙකාට චෝදනා :

මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගත් බවට මේ අතර දේශපාලන පක්ෂ පවා මේවන විට එකිනෙකාට චෝදනා කරගැනීම ආරම්භ වී ඇත.

ගාල්ල නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට අහිමිවීම ගැන නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, “ගාල්ල මහ නගර සභාවට සභිකයන් තේරීමේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ පාක්ෂිකයන් සියලුදෙනාගේ අපේක්ෂාව වූයේ ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම” වූ බවය.

“එම මතය ජයග්‍රහණය කළත් කීපදෙනකු එකතු වී එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය මුදලට පාවා දීම අනුමත කළ නොහැකියි. ඔවුන් අපේ පාක්ෂිකයන්ගේ මතය හෑල්ලුවට ලක්කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි,”

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවය.

මන්ත්‍රීවරුන්ට කතා කළ හඬපට :

මේ අතර මීගමුව නගරාධිපති ඡන්දයෙන් පරාජය වූ එක්සත් ජාතික පක්ෂයේ රොයිස් ප්‍රනාන්දු මහතා, මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගත් බවට හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහතාට චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කළ හඬපට තමන් සතුව ඇති බව ඔහු පවසයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ නිමල් ලන්සා මන්ත්‍රීවරයා, තම සහෝදරයා නගරාධිපති වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීම නිසා බව කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අහිමිවූ කටාන හා බලංගොඩ යන පළාත් පාලන අයත්නවල ද මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගත් බවට චෝදනා එලල් කරනු මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

මැතිවරණ ක්‍රමයේ ප්‍රබල අඩුපාඩුවක්:

“මේ තත්ත්වය මේ මැතිවරණ ක්‍රමයේ ප්‍රබල අඩුපාඩුවක්. පළාත් සභා මැතිවරණ ක්‍රමයේදී මේ අඩුපාඩු සකස්කර ගත යුතුයි. නැතිනම් මීට වඩා අවුල් ඇති වෙනවා” ‘පැෆරල්’ නිරීක්ෂණ සංවිධානයේ රෝහණ හෙටිටිආරච්චි මහතා පෙන්වා දෙයි.

කොට්ඨාසවලින් 50% ක් සහ සමානුපාතික ක්‍රමයෙන් 50% ක් ලෙස මන්ත්‍රීවරුන් පත්වීමට නියමිත පළාත් සභා අවුලෙන් අවුලට මේ නව ක්‍රමයෙන් පත්වනු ඇති බවත් ඔහු කියා සිටියේය.

ඒ නිසා ‘බෝනස්’ මන්ත්‍රී ආසන මෙන්ම මන්ත්‍රී ධුරයක් ලැබීමට 5% ක සීමාව මෙම ක්‍රමයට එක්කල යුතු බව ඔහුගේ යෝජනාවයි.

එසේ නොකළොත් පළාත් සභාවල එක් පක්ෂයකට බහුතරයක් නොමැතිව ඒවා පවත්වාගෙන යාමේ ගැටලු ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

Mano Ganesan 670px 25 03 18“මේ මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන් ‘අංජබජල්’ වෙලා තියෙන්නේ – ඇමති මනෝ ගනේෂන්

මේ අතර සෙනසුරාදා කොළඹදී උත්සවයක් අමතමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ, පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුවේ වැඩි එකගතාවයක් ඇති බවය.

“මේ මැතිවරණ ක්‍රමය සම්පුර්ණයෙන් ‘අංජබජල්’ වෙලා තියෙන්නේ. අපි කිව්වා මේක වෙනස් කරන්න එපා කියලා. ජනාධිපතිතුමයි -අගමැතිතුමයි ඇහුම්කන් දුන්නේ නැහැ. දැන් අනාගත්තට පස්සේ අපිට ඇවිල්ල කියනවා – අනේ කොහොමහරි පරණ ක්‍රමයට පළාත් සභා ජන්දය හදල දෙන්න කියලා. ඒකට පොදුජන පෙරමුණේත් එකඟතාව තියෙනවා, සුළු පක්ෂත් එකඟයි, එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකුත් එකඟයි,” යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.

පොහොට්ටුව දිනු තංගල්ල එජාපයට !

මේ අතර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද ලබාගෙන තිබු තංගල්ල නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.

එය තීන්දු වුණේ සභාපති සහ උප සභාපති තේරීමේ දී ඡන්ද සමවීම නිසා කුසපත් ඇදීමේ දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමගය.

මේ අතර අරනායක ප්‍රාදේශීය සභාවේ බලයත් වැඩි ජන්ද ලබාගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අහිමි වූ අතර එහි සභාපති ධුරය හිමිවුයේ එක්සත් ජාතික පක්ෂයටය.

(බීබීසී සිංහල සේවය)

Related posts

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

නැවත් යුද්ධයක් එපා.. ත්‍රස්තවාදයක් එපා.. මුලතිව්හී පොස්ටර් ඇලවෙයි….

colombotoday

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

Admin

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday