Colombo Today Local News

කතක් දුම්රියට පනී.. කුපිත වූ පිරිසක් දුම්රියට පහර දෙයි.. රියදුරු නූලෙන් බේරෙයි.. ත්‍රිකුණාමලේ කලබලයක් !

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ කාන්තාවක් ගැටී මිය යෑමේ සිද්ධියට කෝප වූ පිරිසක් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කර ඊයේ (21දා) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලය දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වර්ජනය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා මගීන් රැගෙන ගල්ඔය මංසන්ධියට ඊයේ (21දා) පෙරවරුවේ ධාවනය වීමට තිබූ දුම්රිය මේ හේතුවෙන් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ ලොකෝමෝටිව් ඔපරේෂන් ඉන්ජිනියරින් දුම්රිය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික ‍ෙදාඩම්ගොඩ මහතා පැවැසුවේ දුම්රිය එන්ජිමට හා දුම්රිය මැදිරිවලට හානි කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මේ වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වුවහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාව සමඟ සාකච්ඡා කරන බවද පැවැසීය.

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය මැදිරි ඊයේ පෙරවරුවේ සිට එම දුම්රිය ස්ථානයේ ගාල් කර තිබේ. මේ හේතුව නිසා චීන වරාය, තඹලගමුව, මොල්ලිපොතාන, ගංතලාව, කන්තලේ හා අග්බෝපුර යන දුම්රිය ස්ථානවල දෛනික කටයුතුද ඇනහිට තිබේ.

කුපිත වූ පිරිස් අනතුරෙන් පසුව යළි ධාවනය වූ දුම්රිය නවතා කඩු පොලු රැගෙන එන්ජිමේ රියැදුරු කුටියට නැඟ හානි කර ඇති අතර තවත් පිරිසක් මාර්ගය දෙපස සිට ගල්වලින් පහරදී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ත්‍රිකුණාමලය කාර්ය භාර නිලධාරි ඒ.බී. ක්‍රිෂාන්ත උදය කුමාර ද සිල්වා මහතා පැවැසීය.

දුම්රියට පහර දෙන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ රියැදුරු පහර දීමෙන් බේරීමට පහත් වී දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය මාර්ගයට යතුරුපැදියක් දමා දුම්රියේ ගමන අවහිර කිරීමට පහර දුන් පිරිස් කටයුතු කර තිබේ. එය නොදුටු රියැදුරු නොනවත්වා දුම්රිය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ තිබූ යතුරුපැදිය කිලෝමීටරයක පමණ දුරක් ඇදී ගොස් තිබූ අතර දුම්රිය රියැදුරු හානියට හා පහරදීමට ලක්වූ දුම්රිය චීන වරාය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය අවට පොලිස් ස්ථානවලින් අතිරේක පිරිස් කැදවා ත්‍රිකුණාමලය සිට චීන වරාය දක්වා දුම්රිය මාර්ගයට ආරක්ෂාව යෙදවීය. අනතුරුව අතිරේක දුම්රිය එන්ජිමක් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගෙන්වා පැය තුනකට පසුව දුම්රිය ධාවනය කළ අතර හානියට පත් එන්ජිම පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබිණි.

මේ අනතුරින් මිය ගියේ ත්‍රිකුණාමලය පලයුත්තු දුම්රිය නිල නිවාසවල පදිංචි පාතිමා නෆ්ලීම් නමැති විසි එක් හැවිරිදි එක් දරු මවකි. පවුල් ආරවුලක් මත මේ කාන්තාව දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මියගිය අයගේ සැමියාගේ පියා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ සේවය කරන අයකු බවද කියයි.

දුම්රිය මාර්ගයට දැමූ යතුරුපැදියේ අයිතිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රියට හානි කළ සෙසු පීරිස් සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මව්බිම

Related posts

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

කුසුම් පීරිස් දිවිගමනට සමු දෙයි

colombotoday