Colombo Today Local News

“කරූ ජයසුරිය පැරණි පලියක් ගත්තාද?” ප්‍රශ්න කෙරේ. දිනේෂ්ට සතියක්‌ මැතිසබය තහනම්

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව සිටීමට විමල් වීරවංශ මහතා කළ ඉල්ලීම කථානායකවරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීම නිසා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කළ දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට පොලිසිය ගෙන්වුවත් ඔහු ඉවත් කිරීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරුන් හැට තුනක වැඩි ඡන්දය මත ගුණවර්ධන මහතාට සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් කිරීමට ඊයේ (08 වැනිදා) කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

මෙම සිද්ධිය නිසා පැය පහකට ආසන්න කාලයක්‌ පාර්ලිමේන්තුව තුළ දැඩි ඝෝෂා කිරීම් මැද කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවිය. කථානායකවරයාට පාර්ලිමේන්තුව තුන් සැරයක්‌ අත්හිටුවීමට ද සිදුවිය.

1987 දී මුලසුනට අවනත නොවූ අස්‌වර් මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම සඳහා සභාගැබට පොලිස්‌ නිලධාරීන් ගෙන්වූ පසු යළිත් පොලිසිය සභාවට ගෙන්වීමට සිදුවූයේ ඊයේ දිනේෂ් ගුණවර්ධන මහතා ඉවත් කිරීම සඳහා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ ආරම්භ වූ අවස්‌ථාවේදී විමල් වීරවංශ මහතා විසින් ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස ජාතික නිදහස්‌ පෙරමුණට සභාවේ පෙනී සිටීමට කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරන බවට කථානායකවරයා තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශ කළ පසු විමල් වීරවංශ මහතා අදහස්‌ ප්‍රකාශ කිරීමට මුලසුනෙන් ඉල්ලා සිටියද කථානායකරවයා ඊට අවසර නොදීම නිසා දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සභාවේ කටයුතුවලට බාධා කරමින්, මුලසුනට අවනත නොවෙමින් කටයුතු කළහ.

තම තීන්දුව ප්‍රකාශ කළ පසු යළි අදහස්‌ දැක්‌වීමට ඉඩ දිය නොහැකි බව කථානායකවරයා ප්‍රකාශ කළද තමන්ට අදහස්‌ දැක්‌වීමට අවස්‌ථාව දෙන්නැයි විමල් වීරවංශ මහතා දිගින් දිගටම ඉල්ලා සිටියේය.

“මට මගේ අදහස්‌ කියන්න ඉඩ දෙන්න… අද බැරිනම් කවදද මට අවස්‌ථාව දෙන්නේ යෑයි වීරවංශ මහතා විමසුවේය.

මෙසේ විමල් වීරවංශ මහතා ඉල්ලා සිටිද්දී දිනේෂ් ගුණවර්ධන මහතා ද කරුණු ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මහතාට අදහස්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාව දෙන්නැයි කීවේය.

කථානායකරවයා එම ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කිරීම නිසා විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සිය අසුන් මතින් නැගී සිට “ලැඡ්ජයි ලැඡ්ජයි…ලැඡ්ජා නැති කථානායකවරයෙක්‌” යෑයි කියමින් ඝෝෂා කළ අතර ඊට එරෙහිව ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ද ඝෝෂා කළහ.

බොරු කියන කථානායකවරයෙක්‌… යෑයි කියමින් විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්‌වැල්ල, පද්ම උදයශාන්ත ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණ කථානායකවරයා ඉදිරියට එද්දී වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර, නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ සහකාර වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරුද සෙංකෝලය අසලට විත් එය ආරක්‌ෂා කරමින් මුලසුන ඉදිරිපස සිට ගත්තේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු සභා ගැබ ඉදිරියට ආහ.

“කරුණාකර ආසනවලට යන්න… මන්ත්‍රීවරුන් ලෙස හැසිරෙන්න කථානායකවරයා කියද්දී ලැඡ්ජයි… ලැඡ්ජයි යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු කීහ.

“ලැඡ්ජ වෙන්න ඕනේ මම නොවේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබ ජ්‍යෙෂ්ඨයෙක්‌නේ. මට මේ සභාවේ කටයුතු ගෙන යන්න ඉඩ දෙනවද? ආදර්ශවත් වෙන්න. මම මගේ තීන්දුව වෙනස්‌ කරන්නේ නෑ යෑයි කථානායකවරයා කීවේය.

“මේ මන්ත්‍රීවරුන්ව නම් කරලා සභාවෙන් ඉවත් කරන්න” සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්‌ථාවේදී කථානායකවරයා සභාව විනාඩි දහයකට අත්හිටුවා මුලසුනෙන් නැගිට ගියේය. පසුව පස්‌වරු 1.25ට අත්හිටුවූ පසුවද පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙහිම රැඳී සිටියහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සිය අසුනට වී සිටියේය. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති අසලට පැමිණ සිනාසෙමින් කතා කරමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ යන ඇමැතිවරුද සිනාමුසුව එම සංවාදයට එක්‌වනු දක්‌නට ලැබිණි. අගමැතිවරයා ඇතුළු මෙම පිරිස සිනාසෙමින් කතා බහ කරන අයුරු ජවිපෙ මන්ත්‍රීවරයෙක්‌ සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කළේය.

ජවිපෙ මන්ත්‍රීවරුද මේ අවස්‌ථාවේ අශු මාරසිංහ, මුජිබර් රහුමාන්, රවි කරුණානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාප මන්ත්‍රීවරුන් සමග කතාබහ කරමින් සිටි අතර ඒකාබද්ධ විපක්‍ෂයේ පද්ම උදයශාන්ත මන්ත්‍රීවරයා එම අවස්‌ථාව තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කරන අයුරු දක්‌නට ලැබිණි.

විමල් වීරවංශ, කෙහෙළිය රඹුක්‌වැල්ල, විදුර වික්‍රමනායක, සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් සභා ගැබෙහි තවත් තැනක රැස්‌ව කතාබහ කරමින් සිටියහ.

සභාව යළි පස්‌වරු 1.45 ට රැස්‌විණි. සියලුම මන්ත්‍රීවරු තමන්ගේ ආසනවලට යන්න විමල් වීරවංශ මන්ත්‍රීතුමාට මම කිහිප වරක්‌ම කිව්වා බාධා කරන්න එපා කියා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මට ස්‌ථාවර නියෝග 74/1 අනුව කටයුතු කරන්න වෙනවා. කථානායක කීවේය.

විමල් වීරවංශ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා යළි නැඟී සිට කරුණ ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ඉල්ලා සිටියහ.

මට මේ වැඩේ කරගෙන යන්න සහාය දෙනවද? දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මට බාධා කරන්න එපා. කථානායක කීවේය.

මේ අවස්‌ථාවේදී සභාව තුළ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

“දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ජ්‍යෙෂ්ඨයෙක්‌ නේද? කථානායක කියද්දී කථානායකතුමා පාර්ලිමේන්තුවට ජූනියර්” යෑයි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

“ලැඡ්ජා නෑ…. දිනේෂ් ගුණවර්ධන කියද්දී ලැඡ්ජා වෙන්න ඕනේ තමුන්නාන්සේ මම නොවේ” යෑයි කථානායක කීවේය.

ඝෝෂාව අතර සභාවේ කටයුතු කරගෙන යැමට පටන් ගත් අතර, මන්ත්‍රීවරු පෙත්සම් ඉදිරිපත් කරන්නට වූහ. යළි දිනේෂ්a ගුණවර්ධන, විමල් වීරවංශ දෙදෙනා ඝෝෂා කරන්නට වූහ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කරුණාකර අසුන් ගන්න. ආදර්ශවත් වෙන්න. සභාවට අපහසු වන සේ දිගින් දිගටම කටයුතු කරනවා. ඔබ ඉතා පහත් ලෙස මුලසුනටත් අපහාස කළා. මට නොවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටයි අපහාස කළේ.

මම අන්තිම වරට කියන්නේ. අසුන් ගන්න. කථානායකවරයා කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා යළි යමක්‌ ආවේගශීලීව කීවේය.

ඔබ ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරද්දී තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එන්න මට නැඟිටින්නවත් ඉඩ දුන්නේ නෑ. මට එදා කතා කරන්න ඉඩ දුන්නේ නෑ. කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට කීවේය.

දැන් කරන්නේ පළි ගන්න එකද. දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සීමාවක්‌ තියෙනවා. විහිලුවක්‌ කර ගන්න එපා. රටේ ජනතාවට ගරු කරලා අසුන් ගන්න. කථානායකවරයා කියද්දී පසු පෙළ අසුන් ගෙන සිටි එජාපයේ හෙක්‌ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක්‌ ගෙන එමින් කථානායකතුමනි “මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව නම් කරන්න යෝජනා කරනවා” යෑයි කීය.

මට කනගාටුයි. ස්‌ථාවර නියෝග 74/1 අනුව මම තීරණයක්‌ ගන්නවා. මට බලපෑම් කරලා තර්ජනය කරලා මගේ තීරණය වෙනස්‌ කරන්න බෑ. මම නම් කරනවා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සභා ගැබෙන් පිටව යන්න යෑයි කථානායකවරයා කීවේය.

යන්න. යන්න ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් කියද්දී දිනේෂ් ගුණවර්ධන මහතා සිය මයික්‍රෆෝනය සොලවමින් යමක්‌ කීවේය.

“ඕක කඩන්න එපා. මේවා මහජන දේපළ. අද මේ රැස්‌වීම අවසන් වනතුරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට පාර්ලිමේන්තුවෙන් පිටව යන ලෙස මම නියෝග කරනවා.”

යෑයි කියමින් කථානායකවරයා යළි සභාව පස්‌වරු 2.10 ට අත්හිටුවූයේය.

ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු අත්පොළසන් දෙද්දී ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු ඉදිරියට පැමිණ අසුන් ගෙන සිටින දිනේෂ් ගුණවර්ධන මහතාව වටකර ගත්හ.

වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා දිනේෂ් ගුණවර්ධන මහතා අසලට පැමිණ සභා ගැබෙන් පිටව යන ලෙස ඉල්ලා සිටියේය.

“මම යන්නෙ නෑ… අපේ මන්ත්‍රීවරුන් පනස්‌ දෙකම නම් කරන්න…” යෑයි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

සභාව යළි පස්‌වරු 2.30 ට රැස්‌වූවේය. “මම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට සභාවෙන් පිටව යන්න නියෝග කළා. ඒක පිළිගන්න කැමතිද… කථානායක කියද්දී වාසුදේව නානායක්‌කාර මහතා යමක්‌ කීමට නැගී සිටියේය. ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

මම වේත්‍රධාරීට උපදෙස්‌ දුන්නා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව සභාගැබෙන් ඉවත් කරන්න කියලා. කථානායක කියද්දී යන්න යන්න… මහත්තයෝ… පරම්පරාවට අවනම්බු නොකර යන්න…” ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු කීහ.

“ගත් තීන්දුව ක්‍රියාත්මක කරන්න…” ආණ්‌ඩුවේ මන්ත්‍රීවරයෙක්‌ කියද්දී දිනේෂ් ගුණවර්ධන මහතාව සභා ගැබෙන් ඉවත් කිරීමට වේත්‍රධාරිවරයාට අවස්‌ථාව ලබාදී කථානායකවරයා යළි සභාව පස්‌වරු 2.40 ට අත්හිටුවනු ලැබීය.

මේ අවස්‌ථාවේදී වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සභා ගැබ අසල නිලධාරි කුටිය වෙත යම් සංඥවක්‌ කළේය.

ඉන් මඳ වේලාවකට පසු විපක්‍ෂයේ අසුන්වලට පිවිසෙන එක්‌ දොරටුවක්‌ විවෘත කරගෙන ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් විසි එක්‌ දෙනකු සභා ගැබට පිවිසියහ.

“කෝ මේ පොලිසියෙ අයගේ නොම්බර තහඩු… පද්ම උදයකාන්ත මන්ත්‍රීවරයා කියද්දී “ඔයගොල්ලන් බලය පාවිච්චි කළොත් අපිත් බලය පාවිච්චි කරනවා…” යෑයි වාසුදේව නානායක්‌කාර මහතා පොලිස්‌ නිලධාරීන්ට කීවේය.

“මම වගකීම භාර ගන්නවා…” යෑයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා කීවේය.

මේ අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා සිය අසුනේ හිඳගෙන සිටි අතර ඔහු අසලට පොලිස්‌ නිලධාරීන්ට පැමිණීම වළක්‌වමින් ගීතා කුමාරසිංහ, ශ්‍රියානි විඡේවික්‍රම යන මන්ත්‍රීවරියන් දෙපසත් ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරු ගුණවර්ධන මහතා වටාත් හිටගත්හ.

“අපි යන්නේ නෑ… බලය පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න… ඒ අය විපක්‍ෂයේ ඉඳිද්දී අපට කොතරම් බාධා කළත් අපි සභාවට පොලිසිය ගෙන්වූයේ නෑ…” යෑයි වාසුදේව නානායක්‌කාර මහතා කීවේය.

පොලිස්‌ නිලධාරීන් විනාඩි තිහක පමණ කාලයක්‌ සභා ගැබෙහි සිටියහ. පස්‌වරු 3.10 ට පමණ වේත්‍රධාරිවරයා පොලිස්‌ නිලධාරීන්ට යමක්‌ පැවසූ පසු ඔවුන් සභාගැබෙන් පිටව ගියහ.

සභාව යළි රැස්‌වීමේ සීනුව නාදවන්නට විය.

සභාව යළි රැස්‌විය. ”කරුණාකරලා ආසනවලට යන්න” කතානායක කියද්දී සියල්ලෝ තම අසුන්වලට ගොස්‌ අසුන් ගත්හ.

රවුෆ් හකීම් මහතා නැඟී සිට මුලසුන ඉවත්වන්න කියා මන්ත්‍රීවරයකුට උපදෙස්‌ දුන්නාම ඒ මන්ත්‍රීවරයා ඉවත්කරනවා. එය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් සභාවේ ගෞරවයට හානියක්‌. මම දිනේෂ් මන්ත්‍රීතුමාට ගරු කරනවා. මෙතුමා සභාවෙන් ඉවත් වන්නේ නැත්නම් ඉවත් කළ යුතුයි. එම නියෝගය ආපසු කැඳවීමක්‌ මින් පෙර සිදුවී නෑ… යෑයි කීය.

”පොලිසිය ඇවිත් මහා කලබැගැනියක්‌ වීම වළක්‌වන්න අපි යෝජනාවක්‌ ගෙනාවා. දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු පැමිණීම සතියක්‌ තහනම් කරන්න කියලා. සභානායක කීවේය.

සභානායකවරයාගේ යෝජනාවට ඡන්දයක්‌ අවශ්‍ය බවත් එම ඡන්දය මන්ත්‍රීවරුන්ගේ නමින් විමසිය යුතු බවත් බන්දුල ගුණවර්ධන මහතා කීවේය. දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක්‌ පාර්ලිමේන්තු තහනම් කිරීමේ යෝජනාවට මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලදි.

යෝජනාවට පක්‌ෂව ඡන්ද 85 ක්‌ ද විරුද්ධව ඡන්ද 22 ක්‌ ද ලැබිණි මන්ත්‍රීවරුන් 114 ක්‌ සභා ගැබෙහි නොසිටි අතර ජවිපෙ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට එරෙහිව වැඩි ඡන්ද හැට තුනක්‌ ලැබිණි. ඡන්ද ප්‍රකාශයෙන් පසු ”දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියකට අත්හිටුවීමේ යෝජනාව සම්මතයි” යෑයි කථානායකවරයා කීවේය. ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අත්පොළසන් දෙද්දී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු මුලසුන දෙසට කෑ ගසමින් සභා ගැබෙන් පිටව ගියහ.

අද සභාවේ වූ සිද්ධිය ගැන අපේ කනගාටුව පළ කරනවා. මේ මගින් ඔප්පු වුණේ විමල් වීරවංශ මන්ත්‍රිSවරයා ස්‌වාධීන නෑ…. ඔහු සන්ධානයේ කොටසක්‌ සමගයි එකට වැඩ කළේ කියලා. එකට වැඩකළ බව පෙනුනා. ස්‌වාධීන ලෙස පිළිගන්න එපා…” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

ඉන්පසු සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට කථානායකවරයා උපදෙස්‌ දුන්නේය.

Related posts

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

අත්අඩංගුවට පත් නීතිඥ්ඥ හිජාස් හිස්බුල්ලා ඥානසාර හිමිට විරුද්ධව තොග පිටින් නඩු දැමූවෙක්.

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday