Colombo Today Local News

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝෂියස් මහතා අධ්‍යක්‍ෂධූරය හෙබවූ මෙම සමාගම්වල ගිණුම් පවත්වාගෙන යන සියලුම බැංකුවලට මහබැංකුවෙන් පසුගිය බදාදා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම ගිණුම්වල මුදල් ඉවත්කර ගැනීමට යන බවට බුද්ධි ඒකකයට ලැබී ඇති තොරතුරු අනුවය.

ගිණුම් අත්හිටුවීමත් සමඟ අදාළ සමාගම් 28ට තම ගිණුම් භාවිත කරමින් කිසිඳු මූල්‍ය හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවීමට නොහැකි වේ.

මෙසේ තහනමට ලක් කළ සියලුම බැංකු ගිණුම් එකින් එක ගෙන පරීක්ෂාවට ලක්කිරීමට මහ බැංකුවෙන් පියවර ගෙන ඇති අතර එසේ කරනු ලැබ ඇත්තේ සේවක වැටුප් ගෙවීම වැනි එදිනෙදා කටයුතු  කරගෙන යෑමට එම සමාගමට පහසුකම් සැලසීම සඳහාය.

එම නිරීක්ෂණ සහ විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ බැංකු ගිණුම් හරහා සිදුවන නෛතික මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බව ද අදාළ ආරංචි මාර්ග කියයි. 

මෙසේ එම සමාගම්වල ගිණුම් තහනම් කිරීම සඳහා හදිසියේ පියවර ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් යැයි ද පැවසේ. 

මහ බැංකුව මගින් මෙසේ බැංකු ගිණුම් තහනම් කරනු ලැබ ඇති සමාගම් අතර පර්පචුවෙල් ටේ‍රෂරීස් පුද්ගලික සමාගම, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගම, ඉන්ටග්‍රේටඞ් මීඩියා නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ද වේ. 

භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සඳහා පර්පචුවෙල් සමාගම විසින් පවත්වාගෙන ගිය ගිණුම් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මීට ඉහතදී තහනම් කරනු ලැබූ අතර අලුත්ම තහනම පනවා ඇත්තේ ඊට අමතරවය. 

කලින් තහනම් කළ වත්කම්වල වටිනාකම මුදලින් රුපියල් බිලියන 12.5කි. මෙයින් රුපියල් බිලියන 7.5ක් මුදල් වන අතර ඉතිරි ඒවා සුරැකුම්පත් වේ. එම තහනම ඉවත් කර ගැනීම සඳහා පර්පචුවෙල් සමාගම් සමූහය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ද ප්‍රතික්ෂේප කෙරිණි.

 මුදල් විශුද්ධිකරණය රෙගුලාසි සහ පරිපාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසිනි. පර්පචුවෙල් සමාගම ප්‍රාථමික හා ද්විතීය වෙළෙඳපොළේ කරන සියලු වෙළෙඳ කටයුතු තාවකාලිකව නවතා දැමීමට මූල්‍ය මණ්ඩලය තීරණ කර තිබිණි. 

Related posts

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

ඔහුව යුද හමුදාපති කරන්නැයි ෆොන්සේකා මගෙන් ඉල්ලා සිටියා – විමල්

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday