Colombo Today Local News

ජනපති මෛත්‍රී උතුරු කොරියාවේ එළිපත්තටම යයි.. බැලස්ටික් මිසයිලයට ලිඛිතව විරෝධය දක්වයි

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් හෙලා දැක තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් මෙම හෙලා දැකීම සිදු කර ඇත.

අදාල ඒකාබද්ද නිවේදනය ප්‍රධාන කරුණු 15 කින් සමත්විය.

2017 නොවැම්බර් 29 වැනිදා
සෝල්

ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ඒකාබද්ද නිවේදනය මෙසේය.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

1.දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය සමරනු වස්, දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ඇරයුම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් 28 වැනි දින සිට 30 වැනි දින දක්වා කොරියානු ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත විය. නොවැම්බර් 29 වැනිදා පැවැති රාජ්‍ය නායක හමුවේදී සහ රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිය මිතුදම තවදුරටත් ශක්තිමත් කරගත් රාජ්‍ය නායකයෝ දෙපළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේ මං පිළිබඳව සාකච්ඡා කළහ.

2.රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැමරූ රාජ්‍ය නායකයෝ දෙරට අතර ඇති මිත්‍ර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව සිය සතුට පළ කළහ. ප්‍රජාතන්ත්‍රවාදය සහ කලාපීය සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ඇති කැපවීම වැනි පොදු සාරධර්මවලින් හෙබි හවුල්කරුවන් වශයෙන්, දෙරට අතර ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරී සහ පාර්ලිමේන්තු මට්ටමෙන් පවත්වන අන්තර් සබඳතා ඉහළ නැංවීමට රාජ්‍ය නායකයෝ දෙදෙන එකඟ වූහ. ආරක්ෂක හමුදා අතර කෙරෙන අන්තර් ක්‍රියාකාරකම්, උපාය මාර්ගික සන්නිවේදනය, පුහුණුවීම් සඳහා ලැබෙන අවස්ථාවන් වැඩිකිරීම සහ කලාපීය සංවාදවලදී සහයෝගය දැක්වීමද ඇතුළුව ආරක්ෂක ක්ෂේත්‍රයේ ඇති සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට තමන් තුළ ඇති කැපවීම ඔවුහු යළි තහවුරු කළහ.

3.අන්‍යොන්‍ය යහපත පිණිස ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළගේ ප්‍රසාදයට ලක්විය. ද්විපාර්ශ්වික ආයෝජන, වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට මෙම ගිවිසුමෙන් ප්‍රතිපාදන සැපයෙයි. කොරියානු වෙළෙඳ-ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය (KOTRA) සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම සනිටුහන් කළ ඔවුහු කොරියානු සහ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ඇති ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීමට එකඟත්වය පළ කළහ. ජනාධිපති සිරිසේන මහතා සහ අදාල සමාගම්වල නියෝජිතයන් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවද නායක දෙපළගේ පිළිගැනීමට ලක් විය.

4.ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත් මහානගර ව්‍යාපෘතිය යටතේ දෙරට අතර වර්තමානයේ පවතින සහයෝගිතාව පිළිගැනීමට ලක් කළ රාජ්‍ය නායක දෙපළ මහානගර සැලසුම යටතේ ඇති ව්‍යාපෘතිවල කොරියානු සමාගම් කටයුතු කිරීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කිරීම සඳහා කොරියානු සමාගම්වලට ඇති අවස්ථා තවදුරටත් වැඩිකිරීමේ මං සක්‍රීය ආකාරයෙන් සොයා බැලීමට රාජ්‍ය නායකයෝ දෙදෙන එකඟ වූහ.

5.සංවර්ධන සහයෝගිතා ක්ෂේත්‍රය තුළ, ශ්‍රී ලංකාව සඳහා වූ කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) ඇමෙරිකානු ඩොලර් මිලියන 300 සිට, 2017-2019 කාල පරිච්ඡේදය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 දක්වා වැඩිකිරීමත්, ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ සැකසුම් රාමුවට අත්සන් තැබීමත් නායක දෙපළගේ පිළිගැනීමට ලක් විය. ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික සංවර්ධනය සඳහා, ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) හරහාද ඇතුළුව, සංවර්ධන සහයෝගිතාව දිගටම පවත්වාගෙන යෑමට ඔවුහු එකඟ වූහ.

6.රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ ශ්‍රී ලාංකික තරුණයන්ට කොරියාවේ ලබා දෙන රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා සිය දැඩි කෘතඥතාව පළ කළේය. දෙරටේ ආර්ථිකයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලබාදෙන දායකත්වය සැලකිල්ලට බඳුන් කළ රාජ්‍ය නායකයෝ දෙදෙන රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ වන සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමට එකඟත්වය පළ කළහ.

7.තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා වෛද්‍ය ක්ෂේත්‍රවල සහයෝගිතාවෙහි මෑත කාලීන වර්ධනය පිළිගැනීමට ලක්කළ රාජ්‍ය නායකයෝ දෙදෙන විද්‍යා, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට එකඟ වූහ. ජාත්‍යන්තර කෘෂිකර්මය පිළිබඳ කොරියානු වැඩසටහන (KOPIA) සහ ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගිතා මුලපිරීම (AFACI) යටතේ ලැබූ ප්‍රගතිය නිරීක්ෂණය කළ ඔවුහු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාව ව්‍යාප්ත කිරීමටද එකඟ වූහ. ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, 2016 දී දෙරට අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම ප්‍රකාර ශ්‍රී ලංකාවේ බහුකාර්ය වරාය ව්‍යාපෘතියේ ප්‍රගතියක් අත්කර ගැනීමට ඔවුහු එකඟතාව පළ කළහ.

8.ඉතිහාසය පුරා පැවති ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතාත්, මෑත කාලීන සංස්කෘතික සබඳතාත් නිරීක්ෂණය කළ රාජ්‍ය නායක දෙපළ, දෙරටෙහි පුද්ගලයන් අතර දිගින් දිගටම වර්ධනය වන අන්තර් ක්‍රියාකාරකම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ. සංස්කෘතික හා සංචාරක හුවමාරු ඔස්සේත්, දෙරට අතර ඇති ගුවන් සේවා ගිවිසුම සමාලෝචනය කිරීම මගිනුත් එවැනි අන්තර් සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඔවුහු එකඟ වූහ. සංස්කෘතිය, කලා, අධ්‍යාපනය, තරුණ කටයුතු හා ක්‍රීඩා සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් තැබීමද නායක දෙපළගේ ප්‍රසාදයට ලක් විය. සමරු මුද්දර නිකුත් කිරීමද ඇතුළුව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සැමරීම සඳහා දෙරටෙහිම පැවැති සංස්කෘතික උත්සව රාශිය පිළිබඳව ඔවුහු සතුට පළ කළහ.

9.කොරියානු රජයේ, ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වූ ප්‍රමුඛ විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනයට ලබා දුන් දායකත්වය නායක දෙපළගේ නිරීක්ෂණයට ලක් විය. ගෝලීය කොරියා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තවදුරටත් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් ගත හැකි ක්‍රියාමාර්ගද ඔවුන්ගේ සාකච්ඡාවට බඳුන් විය.

10. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත උල්ලංඝනය කරමින් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව විසින් දිගු දුර ප්‍රක්ෂේප (බැලිස්ටික) මිසයිලයක් අත්හදා බැලීම රාජ්‍ය නායකයෝ දෙදෙනා තරයේ හෙළා දුටුවෝය. කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව විසින් දිගින් දිගටම කරනු ලබන න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් තරයේ හෙළාදැකීම සම්බන්ධයෙන්ද, ඊට අදාල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත මගින් පනවා ඇති සම්බාධක විශ්වසනීය ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද කොරියානු ජනපති මුන් මහතා ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කළේය. පූර්ණ, සත්‍යෙක්ෂණය කළ හැකි, සහ යළි වෙනස් කළ නොහැකි ආකාරයකින් උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදයට සාමකාමී විසැඳුමක් ලබාගැනීම පිණිස සහය ලබාදෙන බවට යළි සහතික වූ නායකයෝ දෙදෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අදාල යෝජනා සම්මතවලින් නිර්මිත බැඳීම්වලට අනුකූලව කටයුතු කරන ලෙසට උතුරු කොරියාවෙන් උදක්ම ඉල්ලා සිටියහ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත ක්‍රියාත්මක කිරීම සඳහා සක්‍රීය වශයෙන් සහයෝගිතාව දැක්වීමට එකඟ වූ රාජ්‍ය නායක දෙපළ උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය සාමකාමීව විසැඳීම පිණිස අර්ථවත් සංවාදයක් යළි ඇරඹීමේ වැදගත්කම අවධාරණය කළහ. 2017 ජූලි මස 6 වැනිදා බර්ලින් නුවරදී කොරියානු ජනරජය විසින් යෝජනා කරනු ලැබූ මුල්පිරීමද ඇතුළුව, අන්තර්-කොරියානු සබඳතා වැඩි දියුණු කිරීම සඳහාත් කොරියානු අර්ධද්වීපයේ ස්ථිර සාමය ස්ථාපනය කිරීම සඳහාත් කොරියානු ජනරජය විසින් දරනු ලබන ප්‍රයත්නවලට ජනාධිපති සිරිසේන මහතා සිය පූර්ණ සහය පළ කළේය.

11. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්යොංග්චෑංග් ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත හැකි ප්‍රයෝජනවත් අවස්ථාවක්ය යන්න රාජ්‍ය නායක දෙපළගේ පොදු අදහස විය. සාමකාමී ඔලිම්පික් උළෙලක් පැවැත්වීම සඳහා කොරියානු රජය දරන ප්‍රයත්නවලට සිය පූර්ණ සහය පළ කළ ජනාධිපති සිරිසේන මහතා, ඒ සඳහා සක්‍රීයව සහයෝගය දැක්වීමට ශ්‍රී ලංකා රජය තුළ ඇති කැමැත්ත පළ කළ අතර, ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීම සඳහා යොදා ඇති විශිෂ්ට වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති මුන් මහතාට සිය සුබපැතුම් පිරි නැමීය.

12. කලාපීය කටයුතු පිළිබඳව නායකයෝ දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. ඊට නිරිතදිග ආසියාවද ඇතුළත් විය. සෞභාග්‍යයේ ස්ථම්භ ගොඩනැඟීමත් දකුණු ආසියාව සහ ආසියාන් රටවල් සමඟ ‘ජනතාව මුල් කරගත්’ සබඳතා පැවැත්වීමත් ඉලක්ක කරගත් ‘නව දකුණුදිග ප්‍රතිපත්තිය’ පිළිබඳව ජනපති මුන් මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර සංවිධාන සඳහා වූ නිලවරණ, දේශගුණික විපර්යාසය සහ තිරසර සංවර්ධනය වැනි ගෝලීය කරුණු සම්බන්ධයෙන් බහුපාර්ශ්වීය සහයෝගිතාව වර්ධනය කරගැනීමටද රාජ්‍ය නායකයෝ දෙදෙන එකඟ වූහ.

13. ජාතිය යළි ගොඩනැඟීම හා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම විෂයෙහි ජනාධිපති සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය ජනපති මුන් මහතාගේ පැසසුමට ලක් විය. ශ්‍රී ලංකාව සංහිඳියාව සහ සෞභාග්‍යය උදාකර ගනු ඇති බවටත්, ඒ ව්‍යායාමයේදී ශ්‍රී ලංකාව අඛණ්ඩවම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවටත් ඔහු බලාපොරොත්තු පළ කළේය.

14. තමන් දෙදෙනා අතර පැවැති හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු ක්‍රියාවට නැංවීමේදී ඒවා දෙරට අතර නිතර පැවැත්වෙන ප්‍රතිපත්තිමය සාකච්ඡා ඔස්සේ අඛණ්ඩව පසුවිපරම් කිරීමේ වැදගත්කම රාජ්‍ය නායක දෙපළ අවධාරණය කළහ.

15. අන්‍යොන්‍ය වශයෙන් පහසු කාලවකවානුවක ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසට ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති මුන් මහතාට ඇරයුම් කළේය. ජනපති මුන් මහතා ඒ ඇරයුම සතුටින් භාරගත්තේය.

– විදේශ කටයුතු අමාත්‍යංශය

Related posts

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday