Colombo Today Local News

“පාළු පිට්‌ටනිවල පොලු වනන්නේ නැතුව වාදයට එනු” – ‘සාධාරණ කල්ලියට’ විජේදාසගෙන් අභියෝගයක්

කෝට්‌ටේ කල්‍යාණි සාමගී්‍ර මහා සංඝ සභාවේ කාරක සංඝ සභික, කෝට්‌ටේ නාග විහාරයේ විහාරාධිපති අතිපූජනීය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ආරම්භ කළ “සාධාරණ සමාජයක්‌” සඳහා ව්‍යාපාරය තුළින් ලද පන්නරය නිසාවෙන් ම මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙරට පොදු අපේක්‍ෂකයකු වීමේ භාග්‍යය හිමි වූ බවත්, එම හේතුව නිසා ම එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට අවස්‌ථාවක්‌ ලද බවත් මෙරට ජනතාවට රහසක්‌ නොවේ. එම අවස්‌ථාවේ මහාචාර්ය සරත් විඡේසූරිය මහතා සහ තිස්‌දෙනෙකු පමණ වූ රාජ්‍ය නොවන සංවිධාන වලින් යෑපෙන්නන් ප්‍රමාණයක්‌ උන්වහන්සේගේ පිටුපසින් ගමන් කළ කාරණය සත්‍ය වුවත් එම කිසිදු සාමාජිකයකුට ඡන්ද පනහක්‌වත් එකතු කර ගැනීමට ශක්‌තියක්‌ නොතිබූ බව ඔවුන් ද දන්නා කාරණයකි. සරත් විඡේසූරිය මහතා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කණ්‌ඩායමට හයිඩ් පාක්‌ පිටියේ රැස්‌වීමක්‌ පැවැත්වීම පිණිස සෙනඟ දෙතුන් සීයක්‌ ගෙන්වා ගැනීමටවත් හැකියාවක්‌ නොමැති බව දැන්වීමෙන් පසු එම රැස්‌වීමට අප විසින් සහභාගි කරවූයේ තුන්සීයක පමණ වන අපගේ පාක්‌ෂිකයන් පිරිසකි. සෝභිත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු දූෂණයට විරුද්ධව කතා කරමින් සිටිය ද මැතිවරණ පෙරළියෙන් පසු සිදු වූ හොරකම් හා දූෂණ සිදු කළ අපරාධකරුවන්ගේ රැකවළුන් ලෙස අදටත් පෙනී සිටින්නේ විඡේසූරිය ඇතුළු එම රාජ්‍ය නොවන සංවිධාන ගෝලබාල කණ්‌ඩායම ය.

මා විසින් පසුගිය රජයේ දූෂිතයන්ට ආරක්‍ෂාව ලබා දෙන බවට සරත් විඡේසූරිය මින් පෙර ද මා හට එරෙහි ව නිර්දය ලෙස විවේචන එල්ල කළේ ය. ඒ පිළිබඳ මා හට ඔහු කෙරෙහි වෛරයක්‌ හෝ තරහක්‌ අදටත් නැත. ඊට හේතුව වන්නේ අධිකරණ ඇමැතිවරයාගේ කාර්යභාරය පිළිබඳ මාධ්‍ය මගින් මුළු රටම දැනුවත් කොට මා සම්බන්ධව ජනතාව තුළ තිබූ වැරැදි වැටහීම නිවැරැදි කිරීමට ඔහු එම අවස්‌ථාව මා හට සලසා දීම ය. ජනාධිපති, අගමැති, අමාත්‍යවරු පොලිස්‌පති ඇතුළු ඉහළ නිලධාරීන් සියලු දෙනා සහභාගි වූ රැස්‌වීමක දී මා විසින් අධිකරණ ඇමැතිවරයාගේ කාර්යභාරය පැහැදිලි කළ පසු එය සරත් විඡේසූරිය ඇතුළු ඔහුගේ කණ්‌ඩායම හැර අන් සියල්ලන් අවබෝධ කරගෙන සිටීම ගැන මම සතුටු වෙමි. විඡේසූරිය ඇතුළු කල්ලියට එය වටහා ගැනීමට අවබෝධයක්‌ ඇති නොවන බව මම ද දැන සිටියෙමි. ඊට හේතුව නම් චතුරාර්ය සත්‍ය යෑයි ඔහු විශ්වාස කරන වෛරය, ද්වේශය, ක්‍රෝධය හා මෝහය තුළ ඔහු ගිලී සිටීමයි.

එම සාකච්ඡාවේ දී විඡේසූරිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කල්ලියක්‌ විසින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්‌තුව ඉදිරිපත් කරන ලදී. එම රාජ්‍ය නොවන සංවිධානවල පෞද්ලික වෛරක්‌කාරයන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව පොලිසිය හෝ පොලිස්‌ අමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීමට තරම් පෞරුෂයක්‌ හෝ පිටකොන්දක්‌ නොතිබූ විඡේසූරිය කල්ලිය ඒ වෙනුවට වෛරීසහගත ලෙස මා හට චෝදනා ඉදිරිපත් කරන ලදී. අපේ රටේ මහාචාර්යවරු ඉතා වැදගත් බුද්ධිමත් සහ බහුශ්‍රැත ප්‍රාඥයන් වුවත් ඒ අතර සිටින තුට්‌ටු දෙකේ මහාචාර්යවරයා විඡේසූරිය බව පවසමින් මා සමඟ රූපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධියේ සජීවී සංවාදයකට සහභාගි වන ලෙස මම අවස්‌ථා ගණනක දී ඔහුට අභියෝග කළෙමි. නමුත් ඔහු මහාචාර්ය ආශු මාරසිංහ මහතා සහ තවත් පස්‌දෙනකු අත මා හට පණිවුඩ එවමින් කරුණු වරදවා තේරුම් ගැනීම නිසා ඔහු විසින් එම ප්‍රකාශයක්‌ කළ බවත්, මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නොකරන බවත් පවසමින් ඉදිරියේ දී ඔහුට එරෙහිව අභියෝග නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව මා හට දැනුම් දුන්නේ ය.

වසරකට වැඩි කාලයක්‌ නිහඬව සිට පූජ්‍ය සෝභිත ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවැනි ගුණානුස්‌මරණ උත්සවයකදී යළිත් දූෂණ විරෝධී නායකයකුගේ ප්‍රතිරූපයක්‌ මවා ගැනීමට ගත් බොළඳ උත්සාහයේ දී නැවතත් ඔහුට මා සිහිපත් විය. නමුත් ඔහු ඇතුළු ඔහුගේ කල්ලිය සත්‍ය ලෙසින් ම දූෂණ විරෝධීන් ද?

1. ශ්‍රී ලංකා ඉතිහාසය පුරාවට එදා මෙදා තෙක්‌ සිදු වූ විශාලතම කොල්ලය වූ මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ ඔවුන් එක්‌ වචනයක්‌ වත් ප්‍රකාශ කොට තිබේ ද? රාජ්‍ය පාලකයන් විසින් සිදු කළ විශාලතම මූල්‍ය වංචාව ලෙස එම බැඳුම්කර වංචාව මුළු ලෝකයේම අංක එකේ හොරකම හා දූෂණය බවට පත් වී ඇති බව ඔවුන් නොදන්නවා ද? එම මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ෆුට්‌නෝට්‌ කල්ලියට ලැබුණු අති විශාල ධනස්‌කන්ධයට වඩා වැඩි ප්‍රමාණයක්‌ විඡේසූරිය කල්ලියට නොලැබුණා නම් එම දූෂණය පිළිබඳ වචනයකුදු හෝ කතා නොකොට එම අපරාධය සිදු කළ පුද්ගලයන් සමඟ එකට සිටිමින් ඔවුන්ගේ වන්දිභට්‌ටයන් වී ඇත්තේ මන්ද?

2. මේ රටේ සහශ්‍ර ගණනාවක්‌ තිස්‌සේ මේ රටේ මහ පොළොවේ ජීවත් වන පාරම්පරික ජනතාවගේ ගෙල සිඳිමින් හම්බන්තොට වරාය චීනයට පවරා දෙද්දී, මත්තල ගුවන්තොටුපළ සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට තීරණය කරද්දී, මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණායතනය අක්‌කර 4000 ක්‌ සමඟ බංගලාදේශයට පවරා දෙද්දී හා රටට කුඩු ටොන් ගණනින් ගලා එද්දී වචනයකුදු දොඩාගත නොහැකි ව කටවල් පූට්‌ටු වී සිටි විඡේසූරිය කල්ලිය ඒ වන විට සෝවාන් වී හෝ රහත් වී හෝ සිටියා ද යන ප්‍රශ්නයට දැන් උත්තර දිය යුතු ය.

3. ගරු ජනාධිපතිතුමා පවා නින්දනීය ලෙස හෙළා දකිමින් මහාචාර්ය විඡේසූරිය කළ සමස්‌ත කතාවේ අන්තර්ගතය තුළ සාධනීය කරුණු කිහිපයක්‌ පමණක්‌ තිබුණ ද, දැත් ඔසවා එය අනුමත කරනවා යෑයි ජනාධිපතිවරයා විසින් කළ අදූරදර්ශී ප්‍රකාශය තුළින් ජනාධිපතිතුමා පිළිබඳ ජනතාවට ඉතිරි වී තිබූ යම් විශ්වාසයක්‌ වී නම් එය ද විනාශ කර ගැනීම ගැන එතුමා පිළිබඳ ඇත්තේ අනුකම්පාවක්‌ පමණි.

අති පූජනීය සෝභිත හිමිපාණන්ගේ ශ්‍රී නාමය එක්‌ අතකින් විකුණමින් අනෙක්‌ අතට ඊට අවමන් කරමින් සරත් විඡේසූරිය කල්ලිය ඔවුන්ගේ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමට අසාර්ථක ව්‍යායාමයක්‌ දරමින් සිටිය ද, සෝභිත හිමියන් වැඩසිටි සමාජ සාධාරණය ගොඩනැඟූ නාග විහාරය නම් ශුද්ධ භූමියේ පස්‌ පෑගීමට පවා එම කල්ලියට අද අවස්‌ථාවක්‌ ලැබී නැත. උන්වහන්සේගේ පළමු ගුණ සමරු දිනයේ දී උන්වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව දක්‌වමින් උන්වහන්සේගේ පිළිරුව විවෘත කරනු ලැබුවේ මා විසිනි. උන්වහන්සේ ගොඩනැඟූ යහපාලන රජයේ කිසිවකු ඊට සහභාගි නොවූහ. 2017 නොවැම්බර් 8 වැනි දින නාග විහාරයේ පැවැති උන්වහන්සේගේ දෙවැනි ගුණ සමරුව වෙනුවෙන් කෘතගුණ දැක්‌වීම පිණිස යහපාලන ආණ්‌ඩුවෙන් සහභාගි වූ එක ම නියෝජිතයා මා වූ අතර උන්වහන්සේගේ ගුණ සිහිකිරීමේ කර්තව්‍යයේ දී මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල වැනි මහතුන් සහභාගි වී සිටීම දෛවයේ සරදමක්‌ බව විඡේසූරිය කල්ලියට නොවැටහීම ගැන කනගාටු වෙමි.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අනුනායක අතිගරු නියංගොඩ විජිතසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පන්සියයක්‌ පමණ භික්‍ෂූන් වහන්සේලාගේ සහභාගිත්වය ඇතිව සිදු කළ උන්වහන්සේගේ සැබෑ ගුණ සමරු උත්සවයට සහභාගි වීමට තරම් පෞරුෂයක්‌ නොතිබූ එම කල්ලිය උන්වහන්සේට කිසිම සම්බන්ධයක්‌ නොතිබූ ගමකට ගොස්‌ උන්වහන්සේගේ ගුණ සැමරීමක්‌ යෑයි සිදු කළ ව්‍යාජ මවාපෑම ඔවුන් විසින් උන්වහන්සේට පමණක්‌ නොව ගුණගරුක මානව සමාජයට ම කරන ලද අවමානයක්‌ බව මම සිහිපත් කරමි. එය එසේ සිදු වූයේ විඡේසූරිය කල්ලිය වර්තමාන දූෂිතයන් රැකීමේ වගකීම භාරගෙන සාධාරණ සමාජය ගොඩනැඟීමේ කාර්යභාරය ඔවුන් විසින් ම මහින්ද රාජපක්‍ෂ කණ්‌ඩායමට භාරදී තිබීම නිසාද යන ප්‍රශ්නයට විඡේසූරියලා උත්තර දිය යුතු ය.

මෙහි සඳහන් කරුණු සම්බන්ධව හෝ මා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ මා විසින් කිසිදු කටයුත්තකදී නීති විරෝධී ලෙස කටයුතු කළ බවට හෝ අකාර්යක්‍ෂම ලෙස කටයුතු කළ බවට හෝ සිදු කළ යුතු කාරණයක්‌ පැහැර හැරි බවට හෝ චෝදනාවක්‌ සරත් විඡේසූරිය මහතාට ඇත්තේ නම් මා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස මා නැවත වතාවක්‌ ඔහුට අභියෝග කර සිටිමි.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ
ජනාධිපති නීතිඥ

Related posts

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

Video: SLS තිබ්බට නියමිත බර නෑ… දහස් ගණන් ජිවිත අනතුරේ දමන බාල වානේ කම්බි ජාවාරම රට පුරා

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

colombotoday

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday

බදියුදීන්ගේ ඇමරිකානු ගිණුමට ශ්‍රී ලංකාවෙන් ඩොලර් ලක්ෂයක් !

colombotoday

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin