Colombo Today Local News

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනය ලබා ගැනීමට සමගාමීව කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ලබා ගැනීමට ඉන්දියාව උනන්දු වෙමින් සිටින බව වාර්තා වෙයි.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මීට පෙර ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඇතුළුව එම ප්‍රදේශයේ ආර්ථික කලාපයක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුකර සිටි ඉන්දියාව මේ වන විට එම යෝජනාව පසුපසට ගෙන කොළඹ වරායේ නැඟෙනහිර සැපයුම් පර්යන්තය කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටියි.

ඒ වෙනුවෙන් මේ වන විටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමඟ ඉන්දීය බලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඉන්දීය බලධාරීන්ගේ යෝජනාවට අමාත්‍යවරයා නිල නොවන මට්ටමින් එකඟතාව පළකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

නැඟෙනහිර පර්යන්තය විකුණා දැමීමට:

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කර සිටියේ නැඟෙනහිර සැපයුම් පර්යන්තය වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 10,800 ක් වියදම් කර සංවර්ධනය කළත් එහි 15%ක් රජය සතුව තබාගෙන 85%ක් විකුණා දැමීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහෙයවනු ලබන ආර්ථික කමිටුව තීරණයක් ගෙන ඇති බවය.

එහෙත් පසුගිය දා නැඟෙනහිර සැපයුම් පර්යන්තයේ පැවැතී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සංවත්සර උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය කිසිදු හේතුවක් මත කිසිදු බාහිර පාර්ශ්වයකට පවරා නොදෙන බවය.

ඉන්දියාවේ කනස්සල්ල :

කෙසේ නමුත් දැනගන්නට ඇති ආකාරයට හම්බන්තොට වරායට චීනය ප්‍රවේශවීම සම්බන්ධව ඉන්දියාව මේ වන විට දැඩි අප්‍රසාදයකින් පසුවන අතර ඔවුන් ඒ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් සේම ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්වද දැනුවත් කර ඇත.

හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් මූලෝපායික වශයෙන් වැදගත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා චීන සමාගමක් සම්බන්ධ කර ගැනීමෙන් අසල්වැසි ඉන්දියාව පවා දැඩි අසීරුතාවකට පත්වනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නට යෙදුණේ ඒ අනුව බවත්, වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පාර්ශ්වයන් මේ සම්බන්ධ මත ගැටුම හමුවේ ඉන්දීය සහාය ඒකාබද්ධ විපක්ෂය වෙත ගැනීමේ උපායමාර්ගික වැඩ පිළිවෙළේ දිගුවක් ලෙස බවත් වාර්තා වෙයි.

එසේම මේ වන විට ඉන්දීය ඔත්තු සේවා ඒකාබද්ධ විපක්ෂය සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවත් චීනයේ ඔත්තු සේවයක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කඩාකප්පල් කිරීම පසුපස සිටි බවට පසුගිය දිනවල ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන්නට යෙදුණේ ඒ අනුව බවද වාර්තා වෙයි.

විරෝධය සමතයකට පත්කර ගැනීමට :

කෙසේ වුවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ඉන්දීය විරෝධය සමතයකට පත්කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධව ආණ්ඩුවේ විරෝධයක් නොමැති බවය.

නමුත් කොළඹ වරායේ ඉන් සවුත් ඒෂියා ගේට් වේ ටර්මිනල් ජැටිය ඕස්ට්‍රේලියාවටත්, කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ජැටිය චීනයටත් ලබා දී ඇති පසුබිමේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමක් සිදුනොවනු ඇති බවත් එසේ වුවහොත් කොළඹ වරායේ මෙහෙයුම් සම්බන්ධව රජයේ කොටස මුළුමනින්ම දුර්වලව යාමේ සහ බරපතළ සේවක විරෝධයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවත් ආණ්ඩුවේ බහුතර අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.

ඒ හමුවේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු ආර්ථික කලාපය වෙනුවෙන් ඉන්දීය මැදිහත්වීම සිදුකර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවත් ඒ වෙනුවෙන් ඉන්දීය බලධාරීන් සමඟ ඉදිරියේ දී නිල මට්ටමින් සාකච්ඡා සිදුවනු ඇති බවත් අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

(සත්හඬ)

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළට

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

මෛත්‍රීපාල 2015 ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පෑවා… පාර්ලිමේන්තුව වහා කැදවනු…

colombotoday

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

colombotoday

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday