Colombo Today Local News

මෛත්‍රීපාල 2015 ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පෑවා… පාර්ලිමේන්තුව වහා කැදවනු…

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ආරම්භයේ සිටම 2015 ජනවරමට පයින් ගසා කටයුතු කරමින් සිටි බවත් එහි උච්චතම අවස්ථාව ඊයේ (26) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිණි.

වංචා දූෂණ නතරකිරීම, ජීවන වියදම පහළ දැමීම, අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම ඇතුළු මූලික අරමුණු වෙනුවෙන් ලැබුණු 2015 ජනවරම මුළුමනින්ම අමතක කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් දූෂිතයන් ආරක්ෂා කරමින් මෙන්ම තව තවත් වංචා හා දූෂණ සිදු කරමින් සිටි බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා තව දුරටත් පැවසූවේ ඔවුන්ට 2015 ජනවරමට වගකියන පාලකයන් ලෙස කටයුතු කිරීමට කිසිඳු උවමනාවක් නොපැවිති බවයි.

එදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ යම් හෙයකින් තමන් පරාජය වූවානම් තම දරුවන් සහ බිරිඳ සමග පොළව යට වැලලීමට සිදුවන බව යැයි සඳහන් කළ අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේ එදා තමන්ව ඝාථනය කිරීමට සූදානම්ව සිටියේයැයි පැවසූ මහින්ද රාජපක්ෂ සමග නැවත එක්වීම මහින්ද – මෛත්‍රී දෙදෙනාගේම පෞද්ගිලක බල වවුමනාව මත මිසක් රට හෝ ජනතාව වෙනුවෙන් නොවන බවයි.

රනිල් – මෛත්‍රී දෙදෙනාම හැට දෙලක්ෂයේ ජනවරමට පිටුපා ඇති බැවින් එම අපේක්ෂා වෙනුවෙන් හැට දෙලක්ෂයේ ජනතාවට නායකත්වය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් නව වැඩපිළිවෙලක් සමග නව කණ්ඩායමක් සමග එම ගමන යාමට ජනතා විමුක්ති පෙරමුණ වටා එකතුවන ලෙසත් අනුර දිසානායක මහතා ජනතාවට ආරාධනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා

“අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ 26වැනිදා රාත්‍රියේ සිදුකළ දේශපාලන වෙනස්කම් සහ ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අදහස රටට කියන්නයි. අපි කවුරුත් දන්නවා, 2015 අවුරුද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල්තම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවා. දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, පුරවැසියන්, ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. නමුත් ඒ ගොඩනැගූ ජනතා බලවේගය මුළුමනින්ම කොල්ල කාලා රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මුළුමනින්ම එම ජනවරමට පිටුපෑවා. රනිල් වික‍්‍රමසිංහත්, මෛත්‍රීපාල සිරිසේනත් තමන්ගේ දේශපාලන බල උවමනාව වෙනුවෙන් මාරුවෙන් මාරුවට වංචනිකයන්ව ආරක්‍ෂා කළා. අපේ රටේ වංචාව-දූෂණය නතර කරමින් යහ පාලනයක් ගොඩනැගීම පිළිබඳ අපේක්‍ෂාව එම බල හුවමාරුවේ තිබුණා. හැබැයි රනිල් වික‍්‍රමසිංහත් ඔහුගේ හවුල්කාර කණ්ඩායමත් කටයුතු කළේ මහා පරිමාණ වංචා-දූෂණවල යෙදෙමින් ජනවරමට මුළුමනින්ම පිටුපා යන අන්දමින්.

ආර්ථික වශයෙන් විශාල පීඩාවකට පත්ව සිටින ජනතාවකට ජීවත් වීමට අවශ්‍ය අවම සහන, රැකියා උත්පාදනය, ආදායම් මාර්ග ඉහළ දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් වර්ධනය කිරීම ගැන අපේක්‍ෂා ඒ ජනවරමේ තිබුණා. හැබැයි රනිල්-මෛත්‍රී ආණ්ඩුව ක්‍රියා කරමින් හිටියේ ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් දේපොළ මංකොල්ල කමින්, ජනතාව මත අසීමිත බදුබර පටවමින් දිනපතා භාණ්ඩ මිල ඉහළ දැමීමේ විනාශකාරී ක්‍රියාමාර්ගයක. එදා එම ජනවරමේ අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ පරමාර්ථය ගැබ්වී තිබුණා. නමුත් සිදුකළේ ජාතික සම්පත් විනාශයට යවමින් පහුගිය අවුරුදු තුන හමාර පුරා මේ දෙදෙනාම 2015 ලබාදුන් ජනවරමට පටහැනිව කටයුතු කිරීමයි. එහි තීරණාත්මක සිදුවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 26වැනිදා සිදුකළා. ඔහු බලයට ගෙනඒම සඳහා කටයුතු කළ මුළු ජනතා අපේක්‍ෂාව අළුයම ලූ කෙළ පිඩක් සේ විසිකර දමා තමන්ගේ සතුරන් බවට පත් වූ කණ්ඩායම් සමග අතිනත ගැනීමක් සිදුවුණා.

මේ දේශපාලන සිදුවීමෙන් අපට කියා පාන්නේ කුමක්ද? පොත් දහස් ගණනක් කියවලා ඉගෙන ගන්න බැරි පාඩම් එක් දේශපාලන සිදුවීමකදී මිනිස්සුන්ට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ දේශපාලනයේ තිබෙන කැත, නිර්ලජ්ජිත, කුමන්ත‍්‍රණකාරී ස්වභාවය මේ සිදුවීම්වලින් පැහැදිළියි. 2015 රනිල්-මෛත්‍රී හවුල ගොඩනැගෙන්නේත් පොදු ජනයාගේ උවමනාවන් අනුව නොවෙයි. බලය වෙනුවෙන් රනිල්ට මෛත්‍රීගේ සහාය අවශ්‍ය වුණා. මෛත්‍රීගේ පැත්තෙන් මුළු මැතිවරණ කාලය පුරාම තිබූ විවේචනය ඔහු අමාත්‍යවරෙයක් ලෙස කටයුතු කළ කාලයේ අත්විඳි හිංසනයයි. ඒ නිසා එදත් ඔහුට තිබුණේ පෞද්ගලික බල උවමනාවන්. ඒ වගේම 2015 මහ මැතිවරණයෙන් පස්සේ දෙන්න එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ, අමාත්‍යධූර වැඩිකළේ මේ දෙදෙනාගේම බල පංගුව ආරක්‍ෂා කර ගන්න. එදා රාජපක්‍ෂගේ කළු දශකයේ විශාල චෝදනාවන්ට ලක්වූ පිරිස් ආණ්ඩුවට අරගෙන මෛත්‍රී-රනිල් දෙන්නා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ වාඩිකර ගත්තා. ඒ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ජාතික ආණ්ඩුව ගොඩනැගුවෙත් බල පොරය වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවේ. එදා මුලදී ජනතාවට කිව්වේ අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුව ගොඩනගන බවයි. හැබැයි විවිධ අවස්ථාවල දීර්ඝ කර ගනිමින් ඉදිරියට ගියා. ව්‍යාජ ජාතික ආණ්ඩුව පිටුපසත් කාලය දීර්ඝ කර ගැනීම පිටුපසත් තිබුණේ පොදු ජනතාවගේ උවමනාවන් නෙවෙයි. පසුගිය කාලය පුරාවටම මේ දේශපාලන පක්‍ෂ යැයි කියාගන්නා කල්ලි එකතු වෙන්නෙත් වෙන් වෙන්නෙත් ගහ ගන්නෙත් ආයේ යාළු වෙන්නෙත් පොදු ජනයාගේ උවමනාවන් වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන්.

අන්න ඒ බල උවමනාවේ කැත, නිර්ලජ්ජිත කුමන්ත‍්‍රණකාරී පියවරක් තමයි 26වැනිදා මේ රටේ ජනතාවට එළිදරව් වුණේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම කියා තිබුණා, ජනාධිපතිවරණය පරාජය වූවා නම් ඔහුගේ පවුලේ සියලු දෙනා ජීවතුන් අතර නොහිටින තත්වයක් නිර්මාණය වී තිබූ බව කිව්වා. ඒ කිව්වේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළා නම් ඔහු සැලසුම් කොට මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ සියලු දෙනා ඝාතනය කරන බවයි රටට කිව්වේ. අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කළ මේ කියූ ඝාතනය පිළිබඳව ප‍්‍රකාශ කරමින් දැන් අතිනත ගෙන සිටිනවා. දේශපාලනයේදී සාමාන්‍යයෙන් විවේචනයට ලක්වෙන්නේ දේශපාලන කරුණුයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් දේශපාලන කරුණුවලින් එහා ගිය නමේ ස්වභාවය, ශරීරයේ ස්වභාවය, වචන උච්ඡාරණය, හැසිරීමේ ස්වභාවය ආදී වශයෙන් කවර දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් හෝ එල්ල නොකළ යුතු තරම් පහත් කොට සැලකීම, අවලාද නැගීම, අපිට දකින්න ලැබුණා. රාජපක්‍ෂ කඳවුරේ මෛත්‍රීපාල පිළිබඳව තිබු විවේචනය හිටං, හුටං, ආප්පයා, වගේ වචනවලින් ප‍්‍රකාශ වුණා. හැබැයි ඒ මෛත්‍රීපාලයි ඒ මහින්ද රාජපක්‍ෂයි එකට එකතු වුණා. මේ රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය, ජනතාව වෙනුවෙන්, සමාජයීය කඩා වැටීම, වගේ කරුණුවලින් ගොඩගන්නද මේ එකතු වුණේ? මේ එකතු වෙලා හැදෙන්නෙත් 2015ට කලින් තිබුණු එකමයි. එහෙනම් ඒක පරාජය කළේ මොකටද? කළු දශකය තුළ විනාශකාරී අත්දැකීම් ලබාදී තිබුණු නිසයි මේ රටේ ජනතාව ඒ පාලනය පරාජයට පත් කළේ. දැන් නැවත අටවා ගන්නේ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුවයි.

මෛත්‍රීපාලට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ නව දේශපාලනයක් රටට ඉදිරිපත් කළ හැකිද? ඒ දිවුරුම් දෙන අවස්ථාවේ වටේ හිටියේ කව්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ ජනාධිපති කොමිසමේදී කරුණු 34ක් පිළිබඳව පරීක්‍ෂා කළා. එම ජනාධිපති කොමිසමේදී මහින්ද රාජපක්‍ෂ චූදිතයෙක් ලෙස නම්කර තිබෙනවා. වීරවංශට චෝදනා තිබෙනවා. මහින්ද යාපාට චෝදනා තිබෙනවා. මේ ආදී විශාල චූදිතයන් කණ්ඩායමක් වගේම මහජනයාගේ දේපොළ හොරකම් කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව නඩු දාපු බැසිල් රාජපක්‍ෂ, වීරවංශ, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වගේ අය කව්ද? දේශප්‍රේමීන්ද? මේ ගොල්ලො එක කඳවුරකට එන්නේ මොකටද? ඉතිහාසයේ වගේම අපේ රටේ කැත බල සූදුවකට තමයි මේ හවුල ඇතිවෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා අපේ රටේ බංකොළොත්ම ජනාධිපතිවරයා වී අවසන්. 2015 ජනවාරි මාසයේ ඔහුට ලක්‍ෂ 62ක් ඡන්ද ලබාදී තිබුණා. 26වැනිදා වෙනකොට ඒ කිසිවක් නැති අයෙක් බවට පත්වුණා. ඒ වගේම ඔහුට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ 58ක් දී තිබුණා. ඔහුත් ඒ වරමට පිටුපා තිබෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලක්‍ෂ 62ක ජනවරමක් ලක්‍ෂ 58ත් දෙකම අහිමි පුද්ගලයෙක් බවට පත්වී තිබෙනවා. කැත, මජර, කුමන්ත‍්‍රණකාරී ක්‍රියාදාමයක් හරහා තමන්ගේ බලය නැවත ස්ථාවර කර ගන්න ජනාධිපතිවරයාට ඕනෑ වී තිබුණා. මහින්ද රාජපක්‍ෂත් එක්ක එකතුවෙලා රට හදන්න පුළුවන් නම් 2015ට කලින් අයින් වෙලා ආවේ මොකටද?

මහින්ද මේකට දායකත්වය සපයන්නේ ඇයි? මහින්දගේ කඳවුර බලය අහිමිව හිටියේ ඉතාමත් අසීරුවෙන්. ඔහු සහ ඔහුගේ පවුලේ උදවියට විරුද්ධව ලබන නොවැම්බර් මාසයේ විශාල නඩු ප‍්‍රමාණයක් අධිකරණයේ දින නියම වෙලා තිබුණා. ඒ වගේම බලය කෑදර ලෙස විඳපු අය එය අහිමි වීමේ වේදනාවෙන් මානසිකව පවා බිඳ වැටී සිටි අයට බලය ඕනෑ වුණා. මේ කසාදය ඕනෑ වුණේ ඒකටයි. මේ අය කව්ද කියන්න ඉතාමත් හොඳින් දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා. ඔවුන් තමන්ගේ බල උවමනාව වෙනුවෙන් ඉතාමත් කැත, නින්දිත, කුමන්ත‍්‍රණකාරී ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව ඔප්පු කරලා ඉවරයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2015 ජනවාරි මස 08වැනිදා ලක්‍ෂ 62ක ජනවරමේ අපේක්‍ෂාවන් තව දුරටත් මෛත්‍රීට අයිති නැති බවත්, රනිල්ට අයිති නැති බවත් තේරුම් ගන්නා ලෙසයි. රනිල් වගේම මෛත්‍රී දෙදෙනාම ගෙවී ගිය කාලය පුරාවටම එම ජනවරම පාවාදී ඉවරයි. මේ රට නව දිශාවකට ගෙනියන්න නම් ජනවරමට වගකියන, ජනවරම නව දිශාවකට ගෙනියන ජනතාවත් එක්ක ගමන් කරමින් නව දේශපාන කඳවුරක් ගොඩනැගිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ සඳහා දේශපාලන පෙරමුණක් ගොඩනගනවා. මේ බල සූදුව අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව නිවැරදිව දේශපාලනය තේරුම් ගත යුතුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සිට වෙන්දේසියට ඇවිල්ලා තියෙනවා. සති පොළවල්වල කුණු එළවළු විකිණෙන විදිහට, මාළු ලෑලිවල කුණු මාළු විකිණෙන විදිහට මන්ත්‍රීරවරුන් වෙන්දේසියට දාලා තියෙනවා. වෙන්දේසි වන මන්ත්‍රීවරුන් අද සිට ඔබට බලාගන්න පුළුවන්. ඔවුන්ට තව දුරටත් ඔබේ දරුවාගේ අනාගතය හෝ රටේ අනාගතය බාරදිය යුතු නැහැ. මේ දේශපාලන සිදුවීමෙන් ජතාවට ඕනෑවටත් වඩා පාඩම් කියලා දීලා තියෙනවා. මේ සිදුවීම් අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගැනීම හරියට කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බල සූදුව ඉවර කළා නම් ජනාධිපතිවරයා වහාම කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවීමයි. බහුතරයේ කැමැත්ත අනුව අග‍්‍රාමාත්‍යවරයා තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන්. කුමන්ත‍්‍රණයක් කරලා පාර්ලිමේන්තුව කල් දාලා චීනේ යන්නත් ලැහැස්තියි කියලා ආරංචියක් තියෙනවා. අවිහිසංසාවාදී, විධායක බලය ක්‍රියාත්මක නොකරන, ජනාධිපතිධුරයේ අන්තිමට වාඩිවෙන කෙනා බව ආදිය කියමින් ආවේ. ඒ ප‍්‍රකාශයන්ට මුළුමනින්ම පිටුපා කටයුතු කරනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. දේශපාලන අර්බුදයක් වන වෙලාවකදී පාර්ලිමේන්තුව කැඳවීම ජනතාවගේ නියෝජිතයන්ගේ අයිතියක්. මෛත්‍රීපාල සිරිසේනගේ කුමන්ත‍්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් තියලා තියෙන්නේ. ව්‍යවස්ථාවට අනුව දින තුනකට පෙර දැනුම් දීමකින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් තැබීම අවසන් කරන්න පුළුවන්.

පාර්ලිමේන්තුව කල් තැබීමට අපේ විරෝධය පළ කරනවා. නිර්ජල්ජිතව පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල්ම මධ්‍යස්ථානය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related posts

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට අසාධ්‍යයයි

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday