Colombo Today Local News

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

කොමදෝරු ඩී කේ පි දසනායක මහතා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ බව පෙන්වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ නිර්ලැජ්ජිත උත්සාහයක නිරත වුණා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විධියට කොමදෝරු දසනායක අපරාධකාරයෙකු බවට වාර්තා කරන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ. මේක පට්ටපල් බොරුවක්.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ නිලය භාවිතා කරමින් කොළඹ අහිංසක දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩට මහතාට තොරතුරු ලැබෙනවා. මේ පිළිබදව නාවික හමුදාව සිදු කරපු අභ්‍යන්තර විමර්ෂණයේදී එම කාරණා සත්‍ය බවට ඒත්තු ගැන්වුණු නිසා ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට කරන්නාගොඩ මහතා පොලීසියට පැමිණිලි කරනවා.

මෙම කප්පම් ගැනීම් සිදු කළ සමයේ කොමදෝරු දසනායක බුද්ධි අංශ භාරව සිටියේ නෑ. ඔහු කටයුතු කලේ නාවික හමුදාවේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කුඩා බෝට්ටු මෙහෙයුම් ප්‍රධානියා ලෙසයි. ඒ වගේම නාවික හමුදා බුද්ධි අංශත් මේ කප්පම් සිද්ධියට කිසිදු සම්බන්දයක් නෑ. සම්පත් මුණසිංහ කියන නාවික හමුදා නිළධාරියත් ඔහු යටතේ සිටි යම් පිරිසකුත් තමයි මේ සම්බන්ධයෙන් සැක කරනු ලබන්නේ. ඔවුන්ට එරෙහිවයි පැමිණිලි තිබෙන්නේ.

රණවිරුවන් මොන අපරාධය කළත් ඉවසා ගෙන සිටිය යුතු දැයි එන්ජිඕකාරයින් අපෙන් අහනවා. කවුද එහෙම කරන්න කිව්වේ? දැන් ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහත් යුද බිමේ විශිෂ්ට දස්කම් පෑ දක්ෂ රණවිරුවෙක්. ඒත් අපි ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නෑනේ. ඒ වගේම මේ වන විටත් නාවික හමුදා නිලධාරීන් හත් දෙනෙක් මේ කාරණය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා. අපි ඒ සෑම දෙනා වෙනුවෙන්ම පෙනී සිටින්නේ නැහැ. අපි කොමදෝරු දසනායක වෙනුවෙන් පෙනී සින්නේ ඔහු රණ බිමේ පෑ දස්කම් නිසා දෙමළ බෙදුම්වාදීන්ගේ මණදොළ සැපරීමේ අරමුණින් පදනම් විරහිත ලෙස අත් අඩංගුවට ගෙන ඇති නිසයි.

අපට සම්පත් මුණසිංහ පිළිබඳ සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා ඔහු අධිකරණය හමුවේ සිය නිර්දෝෂි බව ඔප්පු කළ යුතුයි. නමුත් කොමදෝරු දසනායක සම්බන්ධයෙන් සිදු වන්නේ පදනම් විරහිත චෝදනා නැගීමක්. අපි දිගු කලක් මේ නිළධාරීන් ඇසුරු කර තියෙනවා. නාවික හමුදාවෙන් පොලීසියෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි මේ පිළිබද තොරතුරු ලබාගෙන තිබෙනවා. ඒ තොරතුරු ඇසුරෙන් ඉතාම වගකීමෙන් බිය සැකයකින් තොරව අපි කියනවා කොමදෝරු දසනායක මහතා මෙවැනි අපරාධයකට කිසිම සම්බන්දයක් නෑ කියලා. දසනායක අනාගත නාවික හමුදාපතිවරයෙකු බව අවිවාදිත කරුණක්. අවාසනාවට දසනායකට චෝදනා නගලා නාවික හමුදාවෙන් ඉවත් කර ගත්තොත් තමන්ට නාවික හමුදාපති විය හැකි යැයි සිතන නිළධාරින් අතලොස්සක් ද මේ මහා පාවා දීමට උල් පන්දම් අල්ලනවා.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ද පිටු 51 වාර්තාවක් සකසා තිබෙනවා. එම වාර්තාවට අනුව කොමදෝරු දසනායකට එරෙහිව චෝදනා ගොනු කිරීමට කිසිම පදනමක් නෑ. සැබෑ සැකකරු වන සම්පත් මුණසිංහ ඇප ලබා එළියේ. දසනායක රක්ෂිත බන්ධනාගාරයේ.

අතුරුදහන් කළ අයගේ දෙමව්පියන් කොමදෝරු දසනායක හමු වුණු බවට තමන්ට සාක්ෂි ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කිව්වා. එහෙම කිසිම දෙයක් වෙලා නෑ. රජිව් නාගනදන් නම් පැහැරගැනීමට ලක් වු තරුණයෙක් සිය දෙමව්පියන්ට ත්‍රිකුණාමලය හමුදා කඳවුරක සිටිය දී දුරකතනයෙන් කතා කර තිබෙනවා. ඔහු ඉතා පැහැදිලිව කියා තිබෙනවා තමන්ව පැහැර ගත්තේ සම්පත් මුණසිංහ ඇතුළු පිරිසක් බව. මේ තරුණයා වැඩි දුරටත් කියනවා මේ කඳවුර බාරව දසනායක නැමැති නිළදාරියෙකු සිටින බව. එයාව අම්මලා හමු වුණොත් බේරෙන්න පුළුවන් වේවි කියලා මේ තරුණයා කියනවා. නමුත් ඇත්තටම කොමදෝරු දසනායක ඒ කාලයේ සේවය කලේ කොළඹ මූලස්ථානයේ මිස ත්‍රිකුණාමලයේ කඳවුරක් බාරව නොවේ. ඒ වගේම තම දරුවා අතුරුදහන් වුනා කියලා දෙමව්පියන් ඇවිල්ලා කාට හරි කිව්ව පලියට ඔහු සැක කරුවෙක් වෙනවද? එහෙම කියලා නෑ. එහෙම කිව්වත් එම පුද්ගලයා සැක කරුවෙකු වෙනවද? ඒ කාලේ දකුණේ තරුණයන් අතුරුදහන් වුනාම මහින්ද රාජපක්ෂ මත්තයා ගාවට ගිහින් තමයි දෙමව්පියන් දැනුම් දුන්නේ. එතුමන් තමයි අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංගමය පවා බිහිකිරීමට කටයුතු කලේ. එහෙම කළා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතුරුදහන් වුවන් පිළිබද සැක කරුවෙක් වෙන් නෑනේ.

රජිව් නාගනදන්ගේ දෙමාපියන් කොමදෝරු දසනායක මහතා හමුවීමට ගොස් නෑ. එසේ ගියත් එය කොමදෝරු දසනායක අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු සැක කිරීමට කිසිම පදනමක් වෙන්නෙත් නෑ. 58 දෙනෙක්ගෙන් මේ වන විට මේ පිළිබදව සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. ඉන් තුන්දෙනෙකුගේ විකෘති කරන ලද සාක්ෂි ඉදිරිපත්කර තිබෙනවා අධිකරණයට කොමදෝරු දසනායක කෙසේ හෝ රක්ෂිත බන්ධණාගාර ගත කිරීම සඳහා. අතුරුදහන් වුනු තරුණයින් පස් දෙනාගේ දෙමව්පියන් විසින් අධිකරණය ඉදිරියේ හබයාස් කෝපස් නඩු ගොනු කළා. ඒ නඩු වාර්තා බැලුවොත් පෙනේවි සැබෑ සැකකරු දසනායක ද මුණසිංහ ද කියන එක. කොමදෝරු දසනායක මේ ප්‍රශ්නයට ඈදා ගන්න කෙස් ගසක තරම්වත් කරුණු නැති බව මේ නඩු වාර්තා අධ්‍යයනය කලාම පැහැදිලිව පේනවා.

නාවික හමුදාවේ නම විකුණා කප්පම් ගැනීම් සිදු කළ නිළධාරින්ට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන්න. නමුත් කිසි වරදක් නොකළ මේ විශිෂ්ට නිළධාරියා දඩයම් කිරීම ආණ්ඩුව නැවැත්තුවේ නැති නම් අනාගතයේ තමන්ගේ දරුවන් හමුදාවට එකතු කරන්න කිසිම දෙමව්පියෙක් ඉදිරිපත් නොවේවි. දශක තුනක් රණවිරු දෙමව්පියෝ බියෙන් සැලෙමින් සිටියේ කොයි මොහොතේ තමන්ගේ පුතා කොටි මරාවි ද කියලා. දැන් වසර තුනක් තිස්සේ රණවිරු දෙමව්පියන් බියෙන් සැලෙමින් ඉන්නේ කොයි මොහොතේ තමන්ගේ දරුවා පොලීසියෙන් කුදලාගෙන් යාවි ද කියලා? අද කොටි ත්‍රස්ථවාදයේ පරාජයත් සමග අපි සාමයෙන් සැනසීමෙන් ජීවත් වෙනවා. නමුත් අපිට සාමය සැනසීම ගෙනැවිත් දුන් රණවිරුවා අද බියෙන් සැලෙමින් ජීවත්වෙනවා. ලෝකයේ කිසිම ජයග්‍රාහි හමුදාවක් මුහුණ නොදුන් අවාසනාවන්ත තත්වයක් මේක. මම මේ පරගැති රූකඩ ආණ්ඩුවට අභියෝග කරනවා අපේ රණවිරුවන් මුහුණ දෙන මේ අවාසනාවන්ත තත්වයට මුහුණ දුන් තව එකම එක හමුදාවක් නම් කරන්න කියලා.

ඒ වගේම මම පොළිස් මාධ්‍ය ප්‍රකාශකට අභියෝග කරණවා ඒන්න මා සමග විවාදයකට පාළු ගෙයි වලං බිදින් නැතුව. මේ පොලීසිය කරන අමන තකතීරු වැඩේ ජාතිය ඉදිරියේ හෙළි කරන්න අපි ගාව තොරතුරු තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමණි ඔබ පවසන්නේ සත්‍ය යැයි ඔබේ හදවත කියනවනම් එන්න මා සමග විවාදයකට. ඔය කාකි සූට් එක ඇදීමට ඔබ නුසුදුසු බව මම එහිදී ඔප්පු කර පෙන්වන්නම්.

– අරවින්ද අතුකෝරල

Related posts

මධුෂ් උපදින වේලාවේ වින්නඹුකම් කළේ මගේ අම්මා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම ඔහු මගේ යාළුවෙක්‌

colombotoday

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

මොරගහකන්ද ජලාශය ජනපති අතින් අද ජනතා අයිතියට !

colombotoday

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday