Colombo Today Local News

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

හොර ඡන්ද දැමීම සහ අනුන්ගේ ඡන්ද වැළකීම සාමූහික ස්ත්‍රී දූෂණයකට සමාන බරපතල වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැති ඡන්දය තම අයිතියක් බව ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හොර ඡන්ද දානවා කියන්නේ, අනුන්ගේ ඡන්දයක් වළක්වනවා කියන්නෙ සාමූහික ස්ත්‍රී දූෂණයකට සමාන කරන්න පුළුවන් වරදක්. ඇත්ත වශයෙන්ම ඊටත් වඩා බරපතළ අපරාධයක්. අපේ ගම්වල මිනිස්සු ඡන්දපොළට එන එක වැළැක්වුවා. ඡන්දපොළට ඇවිල්ලා පෙන්නල ඡන්දය දාන්න කියලා බල කළා. නීතියෙන් බැරිනම් ඔළුවට තියන්න කියලා අණ දීලා හරි අපි ඒක නතර කළා. ඒ තත්ත්වය ආරක්ෂා කිරීම නීතිගරුක පුරවැසියන්ගේ වගකීමක්.

අද අපේ රටේ තරුණයන්ට දේශපාලනය ඇලජික් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අද ඉන්න දේශපාලකයන් ගැන ඔවුන් තුළ තියෙන කලකිරීම. දේශපාලනඥයන් හොරුන්, තක්කඩියන්, යක්කුත් කන පරසාස්සයන් විදියටයි ඔවුන් තුළ ආකල්ප ඇති වෙලා තියෙන්නේ. නමුත් මම කියන්නෙ දේශපාලකයන්ද මනුෂ්‍යයෝය කියලයි. මොකද ඒ අයට ඡන්දය දුන්නෙ පැපුවා නිව්ගිනියාවෙන් ආපු අයවත් ස්වාසිලන්තයෙන් ආපු අයවත් මැක්සිකෝවෙන් ආපු අයවත් නොවෙයි. මේ අපේම රටේ අයයි.

අපේ රටේ මළ ගෙදරකට ගියොත් වාඩි වෙන්න තියෙන පුටුවල පිටි පස්සෙ ගහල තියෙනව අහවල් මන්ත්‍රිතුමා විසින් පරිග්‍යාග කරන ලදී කියලා. අපට අවශ්‍ය වන්නේ මෙහෙම බඩු බෙදන මන්ත්‍රීවරුද? නෑ. රටකට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන ජනතා නියෝජිතයන්. ඒ නිසා වගකියුතු ඡන්දදායකයන් විදිහට ඊට ගැළපෙන මන්ත්‍රිවරුන් ව්‍යවස්ථාදායකයට යවන්න කටයුතු කරන්න ඕනෑ.

වයස අවුරුදු දහ අටට වැඩි හැමදෙනාටයි, ඉපදුණු හැම දෙනාටයි අනිවාර්යයෙන්ම හිමි වන දෙයක් තමයි ඡන්ද බලය හා මරණය. ඡන්ද බලය ජාති, කුල, ආගම්, උගත්-නූගත්, දුප්පත්-පොහොසත් හැම දෙනාටම කිසිම භේදයක් නැතිව ලැබෙන දෙයක්. ඒ නිසා ඡන්දය සම්බන්ධයෙන් ඇති ඉතාම වැදගත් දේ තමයි ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම. සමහරු කියනවා අපි හොයාගෙන කන්නෙ අපිට ඔය ඡන්දය ඕනෑ නෑ කියලා. එයින් ඔබේ පාලකයා තෝරා ගැනීමේ අයිතිය ඔබට අහිමි වෙනවා. ඡන්දය නැත්නම් ඔබට කිසිම දෙයක් නෑ. අද හැම දෙයක්ම ප්‍රයිවට්. නමුත් මතක තියා ගන්න ආණ්ඩුව ප්‍රයිවට් වෙන්නෙ නෑ. ඒ නිසා හොඳ දේශපාලකයන් පත් කර ගැනීම ඔබේ වගකීමක්. එදා ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද පාවිච්චි කළේ ඔබේ විධායක බලයයි. අද මෛත්‍රි පාවිච්චි කරන්නෙත් ඔබේ විධායක බලයයි. නැතිව ඒ අයට පරම්පරාවෙන් උරුම වූ බලයක් නොවෙයි.

අපේ රටේ අවුරුදු තිස්පහට අඩු ඡන්දදායකයන් ලක්ෂ විසි පහක් ඉන්නවා. ඒ ප්‍රතිශතය අනුව පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රිවරු අනූවක් විතර ඉන්න ඕනෑ. නමුත් ඉන්නෙ දහයයි ‍ෙදාළහයි. ඉතින් තරුණයන්ට දේශපාලනය එපා වෙන එක පුදුමයක්ද? ඒ වගේම අපේ රටේ ඡන්ද දායක කාන්තාවන් ලක්ෂ අසූවක් ඉන්නවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියන් එකසිය විස්සක් විතර සිටිය යුතුය. නමුත් ඉන්නේ දහතුනයි. ඒ ඉන්නෙත් පියා මියගිය සැමියා මියගිය හෝ සහෝදරයා මියගිය අයගේ කාන්තාවන්. එහෙම නැත්නම් නිළියන්. කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කෙරෙන නීති සම්පාදනය නොවන්නේ ඒ නිසයි.

අපේ රටේ නිදහස් හා සාධාරණ ඡන්ද පැවතී ඇත්තේ අවස්ථා කීපයකදී පමණයි. අනික් හැම ඡන්දයක්ම මිනී මරා ගත්ත, ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ඉතා බිහිසුණු මැතිවරණ. ඡන්දපොළට එන අය පලවා හරිනු ලැබූ මැතිවරණ. කාන්තාවන් ඡන්දපොළට එන එක වළක්වන්න ඇතැම් ස්ථානවල අරක්කු බීපු පිරිමින් නිර්වස්ත්‍රව ඇවිද්දවූ අවස්ථා තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. ඒ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, යහපත් දේශපානඥයන්, පොලිසිය, රජයේ නිලධාරීන් හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කැපවීම නිසා. ඒ තත්ත්වය ආරක්ෂා කරගැනීම මේ රටේ සියලුම පුරවැසියන්ගේ වගකීමයි. ඒ වගකීම ඉටු නොවන විට තමයි මැකෝට ඇවිද ඇවිද ඉන්න වෙලා තියෙන්නෙ.

Related posts

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත බලාත්මකයි

colombotoday

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin