Colombo Today Local News

ගල් අගුරු මාෆියාව මිලියන 4000 ක් ගිල්ල හැටි හෙළිවෙයි

ගල් අගුරු මිල දී ගැනීම සම්බන්ධයෙන් වන දුෂිත ගණුදෙණුව පිළිබද සවිස්තරාත්මක විගණන වාර්තාව 2016 දෙසැම්බර් 30 දින පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අතර, අවම වශයෙන් රුපියල් මිලියන 4,145 ක පාඩුවක් මෙම ගණුදෙනුව නිසා රටට අහිමි වි ඇති බව එහි දැක්වේ.

එසේ තිබිය දී මෙම සතිය අවසානයේ හෝ ඉදිරි සතියේ දී නැවත වරක් රටට රුපියල් මිලියන 4000 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක පාඩුවක් සිදුවන අයුරින් මෙම දුෂිත ගිවිසුම යටතේ ගල් අගුරු මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සුදානම් වේ.

දූෂණ විරෝධි පෙරමුණ අද (04) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එම පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි, එහ උපදේශක කීර්ති තෙන්නකෝන්, නිශාන්ත වර්ණසිංහ, චමීර පෙරේරා, යන අය එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා දූෂිත ගල් අඟුරු වංචාව පිළිබඳව විගණකාධිපති වාර්තාව පදනම්ව කර ගනිමින් නවතම තොරතුරු හෙළිදරව් කරන ලදී.

මිල උච්චාවචනයින් හි වාසිය :

ගල් අගුරු මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති වරයා විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් නිර්දේශ අතර අංක 12 යටතේ “ගල් අඟුරු සම්බන්ධයෙන් වෙළඳ පලෙහි වන මිල උච්චාවචනයින් හි වාසිය රජයට ලැබෙන පරිදි ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ලංසු කැඳවීම සහ ප්‍රසම්පාදන තීරණය කිරීම සිදුකළ යුතුය“. යනුවෙන් සඳහන් වෙයි.

එමෙන්ම එහි අංක 16 යටතේ

“තාක්ෂණික වශයෙන් සුදුසුකම් ඇති සැපයුම්කරුවන් වාර්ෂිකව ලියාපදිංචි කර එම සැපයුම්කරුවන් මඟින් තරඟකාරී මිලගණන් කැඳවා අවශ්‍ය අවස්ථාවලදී එම ලංසු මත ක්ෂණික මිලදී ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය“. යනුවෙන් සඳහන් වෙයි.

තවද එම වාර්තාවේ අංක 21 යටතේ සඳහන් වන්නේ,

“ලංසු ලේඛණවල ඇතුළත් තොරතුරු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබීම, ලංසුකරුවන් වෙත සංශෝධන ප්‍රමාණවත් කාලයක් ඇතිව ලබා නොදීම, තාක්ෂණික ඇගයීමේදී යොදාගන්නා නිර්ණායකයන් වල අඩුපාඩු, ලංසු තීරණවල අඩුපාඩු, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අසාමාන්‍ය කාලයක් ගත කිරීම, ලංසු ලේඛණ වල විනිවිද භාවය වැඩිදියුණු කර ගැනීම වැනි අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පැවතිය යුතු තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුය.“ යනුවෙනි.

වගකිවයුතු නිලධාරීන් හඳුනාගත යුතුයි :

විගණාකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාවේ මෙම ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නිගමන කිහිපයක්ද සඳහන් කර තිබේ. ඒවා අතර (ආ) යන්න යටතේ සඳහන් වන්නේ ,

“මෙම වාර්තාව මගින් අනාවරණය කර ඇති රුපියල් මිලියන 4,145.45 ක ඇස්තමේන්තුගත අලාභය / අමතර වියදම/ ආදායම අහිමිවීම සඳහා වගකිවයුතු නිලධාරීන් හඳුනාගත යුතු අතර ඉදිරියේදී එවැනි අලාභ/ අමතර පිරිවැය / ආදායම් අහිමිවීම ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව නිගමනය කරනු ලැබේ “ යනුවෙන් දැක්වෙයි.

එමෙන්ම එහි (ඇ) යන්න යටතේ සඳහන් වන්නේ,

“මෙම වාර්තාවෙන් අණාවරණය වූ කරුණු අනුව මෙම ප්‍රසම්පාදන කටයුතු වලදී එවකට පැවති විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සීමා සහිත ලංකා ගල් අඟුරු සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා නැව් සංස්ථාව යන ආයතන ද මෙම මිලදී ගැනීම සඳහා පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය මඟින් පත්කෙරෙන ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් සිය කටයුතු ඉටු කිරීමේදී නිසි වෘත්තීය පරීක්ෂාවකින් (Professional due care)කටයුතු කර ඇති බවට තහවුරු නොවූ බව නිගමනය කරනු ලැබේ “ යනුවෙනි.

විනිවිදභාවයේ දැවැන්ත බිදවැටීමක්:

මෙලෙස විගණකාධිපති වාර්තාව නොසලකා හරිමින් ලබන සතියේදී නැවතත් මෙම දූෂිත ක්‍රියාවලිය ඔස්සේම මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබද අද කැෆේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ ලිපිය සහ විගණන වාර්තාවේ නිර්දේශ ඇමුණුමක් ලෙස මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

“විගනකාධිපති වාර්තාවේ නිර්දේශ නොතකා තවදුරටත් ගල් අගුරු මිලදී ගැනීම සිදුවන්නේ නම් එය රජයේ මුල්‍ය විනිවිද භාවය සම්බන්ධයෙන් දැවැන්ත බිදවැටීමක් බවට පත්වනු ඇත‘‘ යන්න අපගේ විශ්වාසය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

එමෙන්ම ‘‘රටට රුපියල් බිලියන 4 ක පාඩුවක් සිදු කළ නිලධාරීන් සම්බන්ධයෙන් වහා විමර්ශන ඇරඹිය යුතු බව ද කැෆේ සංවිධානය‘‘ අවධාරණය කරයි.

කෙසේ නමුත් අද කැෆේ සංවිධානය මෙම විගණකාධිපති වාර්තාව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට ලිපියක් යැවූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය බි.එම්.එස්.බටගොඩ මහතා විසින් විසින් ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය මේ වන විට විධිමත් කර ඇති බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ලේකම්ගේ කථාව බොරු :

එලෙස මාධ්‍ය නිවේදන නිකුත් කරමින් රට මුළාවට පත් කර නැවත වරක් දූෂිත ආකාරයට ගල් අඟුරු මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

තවද විදුලි බල අමාත්‍යංශ ලේකම් වරයා අද දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මඟින් විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු නිශේධනය කිරීමට උත්සහ දරා තිබේ.

කැෆේ සංවිධානය නැවත අවධාරණය කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශය සත්‍යය නොවන බවයි.

Related posts

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

colombotoday

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin