Colombo Today Local News

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

budjet-2017

ලබන වසරේ (2017) රජයේ සමස්‌ත වියදම මේ වසරට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ (21 දා) විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ ආණ්‌ඩුවේ සමස්‌ත වියදම රුපියල් කෝටි එක්‌ලක්‌ෂ අසූ එක්‌දහස්‌ නවසියයකි. පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ සමස්‌ත වියදම රුපියල් කෝටි දෙලක්‌ෂ පනස්‌ හත්දහස්‌ නවසියයකි.

එහෙත් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මේ වසරට වඩා ලබන වසරේ රුපියල් කෝටි හාරසියයකින් ඉහළ ගොස්‌ තිබේ. ඊයේ ඉදිරිපත් කළ විසර්ජන පනතට අනුව ලබන වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් හයසිය හතළිස්‌පන් කෝටි විසිහයලක්‌ෂයකි. එය මේ වසරේ රුපියල් දෙසිය තිස්‌නව කෝටි විසිලක්‌ෂයකි.

අගමැති වැය ශීර්ෂය වෙනුවෙන් ද මෙම වසරට වඩා ලබන වසරේ දී රුපියල් කෝටි හැත්තෑහතක්‌ වැඩිපුර වෙන්කර ඇත. අගමැතිවරයාට ලබන වසරේ දී වෙන්කර තිබෙන්නේ රුපියල් එකසිය විසිපන් කෝටි පනස්‌ දෙලක්‌ෂයකි. එහෙත් මේ වසර වෙනුවෙන් අගමැතිවරයාට වෙන්කර ඇත්තේ රුපියල් කෝටි හතළිස්‌ අටකි.

2017 විසර්ජන පනත් කෙටුම්පත ඊයේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊට ඇමැති මණ්‌ඩලයේ සම්පූර්ණ අනුමැතිය ලැබුණු බවද පවසමිනි.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ වැඩිම මුදලක්‌ වෙන්කර තිබෙන්නේ ආරක්‌ෂක අමාත්‍යාංශය වෙනුවෙනි. එය රුපියල් කෝටි විසි අටදහස්‌ හාරසිය හතරකි. එය මෙම වසරට (2016) වඩා රුපියල් කෝටි දෙදහස්‌ දෙසිය හැට එකක අඩුවීමකි.

දෙවනුව වැඩිපුර මුදලක්‌ ලබන වසර සඳහා වෙන්කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයටය. එය රුපියල් කෝටි විසිහතරදහස්‌ දෙසිය අසූවකි. ඉන්පසු වැඩිම මුදල පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටය, එය රුපියල් කෝටි විසි එක්‌දහස්‌ හාරසිය දොළහකි.

සෙසු අමාත්‍යාංශ හා සාපේක්‌ෂව 2017 වසර සඳහා අඩුම මුදලක්‌ වෙන්කර තිබෙන්නේ ආචාර්ය සරත් අමුණුගම මහතා ඇමැතිධුරය දරන විශේෂ කාර්යභාර අමාත්‍යාංශයටය. එය රුපියල් එකොළොස්‌ කෝටි අසූ දෙලක්‌ෂයකි.

ලබන වසර වෙනුවෙන් ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයකට වෙන්කර ඇති මුදල් මෙසේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි දහසය දහස්‌ පන්සිය විස්‌සකි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්‌දහස්‌ දෙසිය පනස්‌ හතරකි. සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි දහසයදහස්‌ අනූ හතකි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි පන්දහස්‌ එකසිය විසිනවයකි.

උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් කෝටි දහසය දහස්‌ තුන්සිය හතළිහකි. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දෙදහස්‌ එකසිය තිස්‌ නවයකි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් දෙසිය හැටනව කෝටි අසූහය ලක්‌ෂයක්‌ වෙන්කර තිබේ. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි හාරදහස්‌ හාරසිය පනස්‌ හතරකි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි පන්සිය හැත්තෑ තුනක්‌, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි හත්දහස්‌ හයසිය අනූහතරක්‌, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට රුපියල් කෝටි තුන්සිය විසිහයක්‌, ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරසිය හතළිස්‌ අටක්‌ වෙන්කර තිබේ.

මහානගර සභා සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එක්‌දහස්‌ පන්සිය අසූවක්‌ ද, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්‌කෘතික කටයුතු උදෙසා රුපියල් කෝටි හත්සිය අනූ දෙකක්‌, නීතිය හා සාමය දක්‌ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හයදහස්‌ අටසිය තිස්‌ නවයක්‌ ලබන වසර සඳහා වෙන්කර ඇත.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් කෝටි නවසිය පනස්‌ නවයකි.

2017 වසර සඳහා රජයේ සමස්‌ත පුනරාවර්තන හා ප්‍රාග්ධන වැය සඳහා මෙම මුදල් වෙන්කර ඇත. මෙම සමස්‌ත වියදම පියවාගන්නා ආකාරය මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ලබන 10 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

දිවයින

Related posts

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

colombotoday

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න තැත් කළා“ – සංවිධායකකමෙන් ඉවත් වූ රංගේ බන්ඩාර කට අරී

colombotoday