Colombo Today Local News

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් මියගිය ගණන මේ වන විට 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම කුණු කන්ද ඉවත් කරන්නා ලෙස මීට වසර ගණනකට පෙර සිටම උද්ඝෝෂණ කරමින් හඬනැගූ මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතාට අවසානයේ උරුම වූයේ ඔහුගේ ළඟින්ම සිටි බිරිඳ, බෑණනුවන් මෙන්ම මිණිබිරියද අහිමි වීමයි.

ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් පොලු පහරවල් කමින් තමන්ගේ අරගලය දියත්කළ කීර්තිරත්න මහතා එක් අවස්ථාවක ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකිරීමට පවා ලක්වුණා.

මහා විපතක් අත ළඟ බව ඔහු බලධාරීන්ට මෙන්ම ලෝකයටම හඬනඟා කීවද එය කිසිවෙකු විශ්වාස නොකළ නිසා අද ඔහු අරගලය ජයගන්නට පෙර තමන්ගේ සමීපතමයින් මෙන්ම අසල්වාසීන්ද සමඟ සෝසුම් හෙලන්නේ වලක්වාගත හැකිව තිබූ විපතක් පෙනි පෙනීම තමන්ගේ බිරිඳ හා පවුලේ පිරිස් බිලිගත් සොවින්.

අවසානයේ ඔහු මීතොටමුල්ල නායගිය ස්ථානය ගොස් පවසා තිබුණේ මෙවන් දෙයක්..

”මුණුබුරයි මායි විතරයි මේකෙන් ගැලවුණේ, මුන් ඔක්කොටම කීවේ මේ ටික වෙනවා කියලා, මට මගේ දුවගේ මිනිය විතරයි හොයාගන්න ඕනි, ඒක ගත්තයින් පස්සේ මං ආයේ මේ පැත්ත බලන්නේ නෑ, මට උරුම වුනේ මෙච්චරයි”

“අවුරුද්ද දවසේ (14) පාන්දර 2.00ට විතර ගෙදරට එළිය එන්න දාලා තිබුණු වීදුරුවක් ඉරිතැළී ගියා. පාන්දර පහට විතර ඒ වීදුරුව සම්පූර්ණයෙන්ම පිපිරී කෑලිවලට කැඩිලා ගියා. උදේ හත විතර වෙද්දී උඩ ගෙදර බිත්තිය අපේ නිවසට ආසන්න වෙනවා දැක්කා. දවල් ගෙදර සින්ක් එකේ ටැප් එක සින්ක් එකේ මායිමෙන් එළියට පැනලා තිබුණා. ඒක හදන්න යද්දී හවස 2.45 ට විතර එහා ගෙදර බිත්තියේ ගල් ගැලවිලා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි බයවෙලා ගෙදරින් එළියට ආවා. මම, මුනුපුරාත් එක්ක දිව්වා. බිරිඳට සහ මිනිබිරියට දුවාගන්න බැරිවුණා. ඒ අය ගෙවල්වලට යටවුණා. මගේ බිරිඳගේ ඉණෙන් පහළ කොන්ක්‍රීට්වලින් යටවෙලා තිබුණේ. එයාව එළියට ගන්න බැකෝ යන්ත්‍රයක් ගේන්න පැය හතක් ගියා. මම ඒ පැය හතම බිරිඳ සමග හිටියේ. ඒ අතරෙත් එයා කතා කළා. එයාව බේරාගන්න හැදුවත් ඒක කරගන්න බැරිවුණා.

“අපේ නිවසට ඉහළින් පිහිටි නිවස දැනට වසරක කාලයක පමණ සිට පහළ ප්‍රදේශයක පිහිටි අපේ නිවසට ළංවෙනවා කියලා අපට තේරුණා. වහලවල් දෙක හේත්තු නොවෙන්න අපි ‍පොඩි ඉස්තෝප්පුවක් හැදුවා.ජාතික රෝහලට ගෙනාවට පස්සේ බිරිඳ නැතිවුණා. මගේ දුවයි, නෝනයි, බෑනයි, මිනිබිරියි හතර දෙනාම නැතිවුණා.”

ඒ මහ අව්වේ මීතොටමුල්ලට ජනතාවට සෙතක් සලසන්නට කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් අරගලය ගෙනගිය කීර්තිරත්න මහතාගේ මුවින් පිටවූ ශෝකබරිත වූ වචන කිහිපයයි.

ජීවිත 30ක් බිලිගත් පසුව බලධාරීන් කුණු කන්දට විකල්පයක් සොයනු ඇත. අහිමි වූ ජීවිතයකට රුපියල් 100,000ක තක්සේරුවක් ලබාදෙනු ඇත. නමුත් ඒ මුදලින් හෝ ඔවුනට අලුතින් ලබාදෙන නිවසින් තමන් සමඟ එකට සිටි සමීපතයින්ගේ මතකය කිසිදා මකාලනු නොහැකි වනු ඇත. එදා කීර්තිරත්තනලාගේ හඬට බලධරයින් ඇහුම්කන් දුන්නේ නම් අද මෙවන් විපතක් ඔවුනට හිමි වන්නේ නැත.

Related posts

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday

රජයේ බැංකු නිලධාරීන්ට දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් ඉවත් කරනවා- ජනපති

colombotoday

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin