Colombo Today Local News

මහ නාහිමි ශ්‍රී දේහය අස්ගිරියට වැඩවමති.. අවසන් කටයුතු ඉරිදා

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය අද අස්ගිරි මහා විහාරයේ උරුලෑවත්ත පන්සලට වැඩමකරවනු ලැබුවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබදව අවසන් කටයුතු ලබන ඉරිදා (13)සිදු කිරීමට තීරණය කර තිබෙන අතර ආදාහන පූජොත්සවය පැවැත්වෙන්නේ මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගනයේදීයි.

එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ ශ්‍රීමත් මහා නාහිමියන්ගේ පැවිදි ජීවිතය ගැන තැබෙන සටහනකි.

ඓතිහාසික මාතලේ ජනපදයේ අස්ගිරි පල්ලේසියපත්තුවේ ගලගම නම් වූ නයනාභි රමණීය ග්‍රාමවරයෙහි රා.ව 1922 දී කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බංඩා නිලමේතුමා හා තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචිඅම්මා කුමාරිහාමි යන සිල්වත් ගුණවත් දම්තීන්ට දාව උපත ලැබූහ. නමින් කිරිබංඩාර නම් වූ මෙම කුලදරුවා යටවත්ත වීරපරාක්‍රම මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා දසසතර වන විය දක්වා මාපිය සෙනෙහසේ සුව සැපය විඳිමින් හැඳුනේය, වැඩුනේය.

අනතුරුව රා.ව 1936 ගමේ පන්සල වූ උරුලෑවත්තේ පුරාණ විහාරයෙහි එවකට විහාරාධිපතිව වැඩවිසූ සිල්වත් ගුණවත් අතිපූජ්‍ය උඩුරාවණ ශ්‍රී ධම්මානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආචාරීත්වයෙන් උතුම් පැවිදි බිමට පත්වූහ. ගලගම අත්ථදස්සි සාමණේරයන් වහන්සේ නමින් පැවිදිබව ලැබූ සඟපරපුර, අතිසම්භාවනීය සඟ පරපුරකි. අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රථම මහානායක අතිගෞරවාර්හ උරුලෑවත්තේ ශ්‍රී පියදස්සි ධම්මදස්සි මහානායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන එම සඟ පරපුර මේ වන විට මහානායක පදවි නමයකින්ද‍, අනුනායක පදවි නමයකින්ද, සමන්විත වීම මහත් වූ විරල සිදුවීමක් වන්නේය.

අතිගෞරවාර්හ ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්‍යාභිධයන මහානායක මාහිමිපාණන් වහන්සේ රා.ව 1937 – 1947 දක්වා මාතලේ ධර්මරාජ මහපිරිවෙනින් පැවිදි බණදහම් හා පාලි, සංස්කෘත, දෙමළ ආදී භාෂා ශාස්ත්‍ර මැනවින් උගත්හ. ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන පරීක්ෂණ සියල්ලම උසස් ලෙස සමත් වූහ. විද්‍යෝදය පිරිවෙනින් ත්‍රිපිටක ධර්ම පරීක්ෂණය ඉහලින් සමත්ව, සද්ධර්මාචාර්ය උපාධිය ලබා මජ්ඣිමභානක උපා‍ධියද දිනාගත්හ.

නිසි බණදහම් උගෙන විසිවයස් සපිරූ කල, ගරු ගලගම අත්ථදස්සි සාමණේරයන් වහන්සේ 1942 මැයි මස වෙසක් දින අස්ගිරි මංගල උපෝසථාගාරයේදී ගරුතර උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ ආචාර්ය කොට අස්ගිරි මහා වාරයේ වැඩසිටි අති ගෞරවාර්හ මුල්ලේගම ශ්‍රී ගුණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා ගරුතර උරුලෑවත්තේ ගුණරතන හා ගරුතර ගම්මුලුලේ චන්දජෝති හිමිවරුන්ගේ කර්මාචාරිත්වයෙන් අධිශීල සංඛ්‍යාත අපසම්පදාව ලැබූහ. පියවරෙන් පියවරට විවිධ සාසනික පදවි ලැබූ අප මහනාහිමිපානන් වහන්සේ රාජ්‍ය වර්ෂ 1999 දෙසැම්බර් මස 13 වන දින අතිපූජ්‍ය අනුනායක පදවියට පත්විණි.

ඓමෙන්ම අතිගෞරවාර්හ අස්ගිරි මහාවිහාර පාර්ශ‍‍වයේ ගලගම ශ්‍රී අත්තදස්සී අනුනායක මාහිමිපාණන් වහන්සේ රා‍ජ‍්‍ය වර්ෂ 2015 වැන්‍‍නේ මැයි මස අටවන දින අති ගෞරවාර්හ මහානායක පදවියට පත්විණි.

උන්වහන්සේට නිවන් සුව ලැබේවා!

 

Related posts

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin