Colombo Today Local News

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශ විනිමයක් උපයා ගත හැකි බවද ජපානය හා ප්‍රංශය මේ වනවිටත් ලෝක වෙළෙඳ පොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බවද ඇමැතිවරයා කීවේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්‌යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පෙරේදා (20)දින එම ආයතනයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහාචාර්යවරුන් වන සමන් සෙනවීර, රොහාන් වීරසූරිය, අතුල සේනාරත්න, ලක්මාල් ජයරත්න යන මහත්වරු මෙම පර්‌යේෂණය සිදුකර හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි බව තහවුරු කර තිබේ.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස අපනයන වර්ධනය කිරීමේ වගකීම තමන්ට පැවැරී තිබෙන බවත්, වෙළෙඳ පොළ විවිධාංගීකරණයට ලක් කරමින් බටහිර යුරෝපය දෙසට යොමුව තිබෙන වෙළෙඳ පොළ අප්‍රිකානු හා ආසියානු කලාපවලට යොමු කළ යුතු බවත් පැවැසුවේය.

‘‘ශ්‍රී ලංකාව ජල සම්පතින් පොහොසත් ජල කළමනාකාරණයෙන් හා ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑම පිළිබඳ ඓතිහාසික උරුමයක් අපට තිබෙනවා. ජල ආර්ථිකයක් ගොඩ නැගීම අපට අසීරු ඉලක්කයක් නොවේ යැයි’’ ද ඔහු එහිදී පැවැසීය.

දේශීය වශයෙන් පානීය ජල බෝතල් ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් ලෙස රටේ ක්‍රියාත්මක බවත් ගුණාත්මක තත්ත්වයෙන් හා පානීය ජල බෝතල් වෙළෙඳ ​පොළට නිකුත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පාරිභෝගික සේවා අධිකාරියට පැවැරෙන බවත් කීය.

එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව පයිප්පවලින් වතුර ගෙන බෝතල් කර විකුණන අවස්ථාද තිබෙන බැවින් දේශීය පාරිභෝගිකයන් සඳහා උසස් තත්ත්වයේ ජලය සැපයීමට අවධානය යොමු කරන අතුරතුර ජලය අපනයනය මගින් අපනයන ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

නාමල්,පවිත්‍රා,රෝහිත,ඇතුළු 06 මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට පනතක් !!

colombotoday

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

Admin

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

Admin

මෙරට වරායන් සංවර්ධනයට යුරෝපීය නවීන තාක්ෂණික සහය බෙල්ජියමෙන්

Admin