Colombo Today Local News

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි.

කෝවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය තම දින 21 වයසැති බිළිදාගේ සිරුර සම්බන්ධයෙන් මියගිය බිළිදාගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද (22)දින විවෘත අධිකරණයේ දී සදහන් කළේය.

පෞද්ගලික හේතූන් මත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට අකැමැති බවද විනිසුරු නවාස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

බිළිදාගේ සිරුර ආදාහනය කළ ආකාරය අභිරහස්, සැකසහිත සිදුවීමක් බවත්, එමගින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සදහන් කරමින්, මේ සිද්ධිය පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට කැදවා පරීක්ෂණයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඇතුළු බලදාරීන්ට නියෝග කරන ලෙසත්, සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙසත්, ඉල්ලා මව්පියන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේ එම පෙත්සම අද (22)දින ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච් එම්.ඩී නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අවස්ථාවේදීය.

ඒ අනුව එම පෙත්සම සළකා බැලීම ලබන මාර්තු 29 වැනි දිනට කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

කොළඹ 15 , ෆර්ගියුසන් පාරේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිමා ෂෆ්නාස් නැමැත්තන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී.විජේසූරිය, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි,ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ කටුයතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සංජය මුණසිංහ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන්ගේ දරුවා මෙලෙස ආදාහනය කිරීම ඔවුන්ගේ ආගමට මතවාදයන්ට අනුව පටහැනි ක්‍රියාවක් වේ.

කෝවිඩ් ආසාදිත මෘත ශරීරයකින් වෛරස් භූගත ජලයට එක් නොවන බව ලෝ ප්‍රකට ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා පවසා ඇත.

මෙම සමස්ත ක්‍රියාවලියම හේතුවෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්, මෙම සිද්ධියට වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත්, කෝවිඩ් වැළද මියගිය අයගේ සිරුරු භූමිදානය පිළිබඳ විමර්ශන සදහා විද්වත් කමිටුවක් පත් කිරීමට නියෝග කරන ලෙසද, සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා, පුලස්ති රූපසිංහ, හෆීල් ෆාරීස්, ශාන්ත ජයවර්ධන යන නීතීඥවරුන් පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

Related posts

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි.. යහපාලනය ගේන්න අපි සෝභිත හිමියන් පාවිච්චි කළා

colombotoday

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday