Colombo Today Local News

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

mnhi454

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්මතකරගත් ඇමරිකානු ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව අනුව පිහිටුවීමට නියමිත අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම තුලින් සන්නද්ද හමුදා පාවා දීමට යනබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය තුළින් සන්නද්ධ හමුදා පාවා දීම

රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයයේ වුවත් ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට, පිහිටුවීමට එකග වූ ආයතනවලින් එකකි. යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතේ අපේ ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන අතර ඉන් කිහිපයක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමැත්තෙමි.

  1. මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැත. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
  2. මෙය කාර්යාලයක් ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත. මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව, ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුල් වීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයෙකුට උසාවියට අපහස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක.
  3. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ෂන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි.
  4. පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරේ.
  5. ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයෙකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැක.
  6. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත් එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත.
  7. මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි භාරගත හැක
  8. ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුලු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ
  9. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)(iii) වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් සාක්ෂි ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ
  10. මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියෙකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලුව මොනම උසාවියකටවත් බලයක් නැත.

මෙම කරුණු අනුව අපට පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකග වී තිබෙන යුධ අපරාධ විමර්ෂණ යාන්ත්‍රණයේ එක් කොටසක් බවයි. මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇත.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

Related posts

ගොවීන්ට නව තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක්

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

colombotoday

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

colombotoday

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

Admin

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday