Colombo Today Local News

වයඹ සභාපති “කාලකණ්ණි මාධ්‍යවේදීන්“ කියා මාධ්‍යවේදීන් සභාවෙන් එලවා දමයි!

wayamba sabhapati

ජනාධිපතිවරයා නායකත්වය දරන පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන තමන් අතින් සිදුවන වැරදි හා අඩුපාඩුකම් නිරන්තරයෙන් මාධ්‍ය මගින් හෙළි කරමින් තමන් අපහසුතාවට පත් කරන “කාලකණ්ණි මාධ්‍යවේදීන්” වහාම සභාවෙන් පිටව යා යුතු බවත්, මින් ඉදිරියට කිසිදු මාධ්‍යවේදියකු සභා රැස්වීම් ආවරණයට කැඳවීමට කටයුතු නොකරන බවත් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී ඊයේ (16) පැවති වයඹ පළාත් සභා රැස්වීම අතරවාරයේදී නියෝගයක් කරමින් මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේ ය.

ඊයේ පැවති වයඹ පළාත් සභා මාසික රැස්වීමේදී පෞද්ගලික කරුණු දැක්වීම් යටතේ පසුගිය දිනවල පළවූ පුවත්පත් වාර්තා කිහිපයක් මගින් තමන්ට සිදුවූ අපහසුතා පිළිබඳ කරුණු දැක්වූ පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ ප්‍රකාශයට අනුබල දෙමින් සභාපතිවරයා මෙම නියෝගය කළේ ය.

වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරු පසුගිය දිනවල නිරත වූ විදෙස් සංචාර හා මන්ත්‍රීවරුන් විසින් කොටස් වශයෙන් එක්ව සිදු කළ සාකච්ඡා ගණනාවක් පිළිබඳ මාධ්‍ය මගින් පසුගිය සති කිහිපය තුළ වාර්තා කොට තිබුණි. ඒ අතර සභාපතිවරයාගේ නිල කාමරය තුළ පැවති රහස් සාකච්ඡාවක් පිළිබඳවද වාර්තාකොට තිබිම මෙහිදී සභාපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

පළාත් සභාවේ මතෛක් සර්ව සාධාරණ මන්ත්‍රීවරු ලෙසින් පෙනීසිටි විපක්ෂ නායක ශමල් සෙනරත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රංජිත් ගුණසේකර යන මන්ත්‍රීවරුන් මෙහිදී මාධ්‍යවේදීන් විවේචනය කරමින් සභාපතිවරයාට සහාය දැක්වීම කැපී පෙනිණි.

“දිගින් දිගටම මෙවැනි පුවත් ප්‍රචාරය වීම තුළින් තමන් මතෛක් ගොඩනගාගත් දේශපාලන පසුබිම කඩා වැටෙන බවත්, පුවත්පත්වලින් මෙම සභාව වාර්තා කිරීමට යොදවා ඇත්තේ “කාලකණ්ණින්” පිරිසක් බවද සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මෙහිදී සඳහන් කළේ ය.

මෙවැනි මාධ්‍යවේදීන් සභාවට කැඳවා ගැනීමෙන් “අපිම කෙළවා ගන්නවා” ඒ නිසා මින් ඉදිරියට වයඹ පළාත් සභාවට මාධ්‍යවේදීන් කැඳවීම තහනම් කිරීමට මා නියෝග කරනවා” යැයිද සභාපති ටිකිරි බණ්ඩා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නීතිඥ පියුමාල් හේරත් (එජනිස) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් වීමට කිසිවකු නොමැති බවත් සභාපතිවරයාගේ තීන්දුව ගැන නැවත වරක් සිතා බලන ලෙසත්ය.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ සභාපතිවරයා කියා සිටියේ තමන් ගත් තීන්දුව පළමුවරටත්, දෙවනවරටත්, තෙවන වරටත් ස්ථිර කරන බවය.

වයඹ පළාත් සභා ඉතිහාසයේ සිදුවූ අප්‍රසන්නම සිදුවීම මෙය බවත්, මතෛක් සිටි කිසිදු සභාපතිවරයෙක් හෝ ප්‍රධාන අමාත්‍යවරයෙක් තමන් විවේචනය කළ කිසිදු මාධ්‍යවේදියකුට මෙවැනි අප්‍රසන්න ආකාරයෙන් සලකා නොමැති බවත් පළාත් සභාවේ සේවකයන් විශාල පිරිසක් මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියහ.

සුනිල් එස්. පැල්ලන්දෙණිය
-Rivira

Related posts

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

colombotoday

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා.. | ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

colombotoday