Colombo Today Local News

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම

ඇමරිකාව ප‍්‍රධාන බොහෝ බටහිර රාජ්‍යයන්ට මානව හිමිකම් යනු අදාළ නොවන්නකි. එහෙත් ලෝකයේ සෙසු රාජ්‍යයන්ට මානව හිමිකම් හා මූලික අයිතීන් පිළිබඳ උපදෙස් දෙන්නේ ඔවුහුය.

 ස්විට්සර්ලන්තය යනු අද එකී රාජ්‍යයන් අතර ප‍්‍රධාන තැනක ඇති රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවා පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.

 වසරකට දෙවතාවක් පමණ එහි රැස්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය ඇතුළු සෙසු කි‍්‍රයාකාරීහු ලොව සෙසු රාජ්‍යයන්හි මානව හිමිකම් රැකීම පිළිබඳ නියාමන ඉදිරිපත් කරති. අර්ථකථන දෙති.

 එහෙත් හැමදාමත් මෙකී බලවත් ජාතීහු මානව හිමිකම් යනුවෙන් සෙසු ලෝකයාට දේශනා කළේ වැදි බණම වූහ. එයට හොඳම උදාහරණය මේ වන විට සපයමින් සිටින්නේ ශී‍්‍ර ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතාය.

 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියමින් ඉකුත් 26 වැනිදා අමූලික බොරුවක් පවසා මේ මොහොත වන විට හත්පොළේ උලාගෙන සිටින ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් අද කරමින් සිටින්නේ සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අපි වගකීමෙන් කියන්නෙමු.

 මන්ද යම් රටක ස්වෛරීත්වයට අභියෝග කරමින් එරට අභ්‍යන්තර කි‍්‍රයාවලියට අත පෙවීමට ලොව කිසිදු රාජ්‍යයක තානාපති නිලධාරියකුට අයිතියක් නැත. යමෙකු එසේ කරන්නේ නම් ඔහු ලොව රටවල් අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇති වියානා සම්මුතිය බිඳ දමමින් අත්තනෝමතිකව හැසිරෙන මන්ද බුද්ධිකයකු යැයි කීමේද වරදක් නැත.

 තානාපති නිලධාරියකු ලොව යම් රාජ්‍යයක් තුළදී එසේ කටයුතු කරයි නම් ඉන් එරට සමස්ත ජනතාවගේම මූලික අයිතීන් උල්ලංඝනය වන බව අමුතුවෙන් පෙන්වා දියයුතු කරුණක්ද නොවේ.

 එහෙත් මේ මොහොතේ ශී‍්‍ර ලංකාවේ සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයා හැසිරෙමින් සිටින්නේ අත්තනොමතික ස්භාවයකින් නොවේද? සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ගේ කතාව පසෙක තබා අනෙකුත් කරුණු ගෙන හැර බැලූවද ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා මේ වන විට කරමින් සිටින්නේ සිය තානාපති කාර්යාලය තුළදීම අතිශය දරුණු ලෙස මානව අයිතින් උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිවම පෙන්වා දීමට පුළුවන.

 ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා සිය සේවිකාවක පැහැරගැනීමකට ලක්ව ඇති බවට ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශය හරහා ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය.

 මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ රාජකාරි කළ කොළඹ මාලිගාකන්දේ සුපිරි නිවසක පදිංචිව සිටි ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් යනු එසේ පැහැර ගැනීමට ලක්වූවේ යැයි කියන කාන්තාව වූවාය.

 මේ අනන්‍යතාව කිසිවිටෙකත් හාන්ස් පීටර් මහතා අනාවරණය කළ කරුණක් නොවූවකි. එය ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍යංශයට අදාළ පැමිණිල්ල රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් යොමුවූවාට පසු ඒ පිළිබඳ ශී‍්‍ර ලංකා පොලිසිය සිදු කළ විමර්ශන අතරතුරු හෙළිකර ගත්තක් විය.

 ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා එරට විදේශ අමාත්‍යංශය හරහා මෙකී පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා රජයේ උපදෙස් මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ඇරඹීය.

swiz2

අදටත් ස්විස් තානාපතිවරයා වැන්නවුන් තුළ තිබෙන්නේ ශී‍්‍ර ලංකාවේ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ ලොසේ ලොස්ට් වූ අදක්ෂයන් නිසා ලොව අංක එකේ ත‍්‍රස්තවාදියා යැයි ඔවුන් විසින්ම අපට කී වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ජීවත්ව සිටින්නේ යැයි යන මනෝමය සිතුවිල්ලේ දැයි අපි නොදනිමු.

ඇමරිකාව, ස්විට්සර්ලන්තය ඇතුළු බටහිර කඳවුරේ සාදාතනික පැතුම වී තිබුණේද එසේ වනු දැකීමය. පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා මෙකී විජාතික කඳවුර ශී‍්‍ර ලංකාවට පහරපිට පහර දුන්නේද ඒ සිහින බොඳවූ නිසාය.

 මංගල සමරවීර, රාජිත සේනාරත්න වැනි ද්‍රෝහීන් සහ එක්සත් ජාතික පක්‍ෂ කඳවුරේ ක්‍ෂණික බෞතීස්මය ලබාගත් සිල් බිඳගත්තවුන් සේම සෙසු දේශපාලන අපතයෝ රට ගන්ධබ්බ තැනකට ඇද දැමූ ගෙවී ගිය සිව් වසර තුළ නන්දිකඩාල් කලපු වැල්ලෙන් මොට්ටු තබාගෙන සංහිඳයාව යැයි දොඩවමින් ඊළම වන්දනාමාන කරන්නට වූයේද මෙකී විජාතික කඳවුරේ වුවමනාව අනුවය.

 රටටත්, ජාතියටත්, ආගමටත් අමු අමුවේ ගරහමින් සිය කුජීත වූ දේශපාලන භාවිතාව තුළ ඔවුන් එසේ හැසිරෙද්දී ඉකුත් 2015 වසරේ අලි හංස පූට්ටුව ඔස්සේ මේ පිංබිමේ විජයග‍්‍රාහී ගමන ආපසු හරවන්නට ද මෙකී විජාතික කඳවුර සමත් විය.

 එහෙත් ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් හෙවත් ස්විස් අක්කාගේ නාටකය නිසා අද අංගොඩ යන තැනට ඇනගෙන සිටින ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ මනෝභාවය කුමක් වුවත් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සහ පොලිසිය සිටියේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් අපාගත කිරීමෙන් ලද පන්නරය සමගය.

 එදා ප‍්‍රභාකරන් දකුණට එවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඹා ගිය මේ රටේ පොලිසියට සහ ආරක්‍ෂක අංශවලට ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ පිටපතේ සිටි ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස්ගේ කතාව සොයා යෑම ඉර මැදියමේ සෙවනැල්ල සොයනවාටත් වඩා පහසු කාර්යයක් වී තිබිණි.

 එහෙයින් ස්විස් තානාපති විදේශ අමාත්‍යංශයට දුන් ගාලියා බැරිස්ටර් පිටපතට අනුව ඔවුහු රාජකාරිය ඇරඹූහ. සීසීටීවී තාක්‍ෂණය පිළිබඳ දක්‍ෂයෝ පිරිසක් සිද්ධිය වූ බව කී තැන සිට අවට ප‍්‍රදේශයේ තිබූ සියලූම සීසීටීවී කැමරා නිරීක්‍ෂණය කළහ.

 එහිදී ඔවුන්ව පෙනී ගිය ප‍්‍රථම කරුණු වූයේ ගාලියා බැරිස්ටර් ඉස්සුවේ යැයි ස්විස් තානාපති කී දිනයේ කොළඹ නගරයේ දඩාවතේ ගිය පූසෙක් කාණුවක දුවයන මීයකුවත් පැහැරගෙන නැති බවය.

 ඊළඟට ඔවුහු ස්විස් තානාපති කාර්යාලය කී අන්දමට ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කාට වුණ දේ සෙවීම සඳහා ප‍්‍රයෝජනයට ගත්තේ ගූගල් අක්කාවය. එසේ නැතහොත් ජීපීඑස් තාක්‍ෂණය ය.

 එහිදී පැහැරගත්තේ යැයි කී ස්විස් අක්කා ගිය මග සොයා ගන්නට විමර්ශකයන්ට වැඩි කාලයක් ගත වූයේ නැත. එසේ ජීපීඑස් තාක්‍ෂණය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී අවසානයට අනාවරණය වූයේ පැහැරගත්තේ යැයි කී ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කා පැය දෙකක පමණ කාලයක් සිය මිතුරියකගේ නිවසක රැඳී සිට ඇති බවය.

 ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර්ගේ පිටපතට අදාළ කතාව පිළිබඳ සෙවූ ශී‍්‍ර ලංකා විමර්ශකයන්ට ඉන් එහා සොයන්නට දෙයක් ඉතිරිව නොතිබිණි. එකී පිටපතට අනුව කියැවෙන ආකාරයේ කිසිදු පැහැරගැනීමක් සිදුව නැති බව සක්සුදක් තහවුරු කරගත් ඔවුහු අවසානයේ ඒ බව ඉහළට වාර්තා කළහ.

 මෙසේ සත්‍ය අනාවරණය වෙමින් තිබියදී පසුගිය කාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කිඹුල් රැවුලා වේදිකාවට ගෙන ආ රාජිත සේනාරත්න නින්දෙන් ඇහැරැණාක් මෙන් රට ඉදිරියට පැමිණ කරනු ලැබුවේ කුමක්ද?

 වහා මාධ්‍ය හමුවක් කැඳවූ හේ ස්විස් තානාපතිගේ පිටපත තවත් හොඳට සංස්කරණය කරමින් ගාලියා බැරිස්ටර් පැහැරගත්තවුන් ඇගේ කටට පිස්තෝලය ඔබා කරකවා තර්ජනය කරමින් ප‍්‍රශ්න කර ඇති බවත් ඉන් භීතියට පත්වූ ඇය නිවැසියන් සමගද කතා නොකර උඩ බලාගෙන සිටින බවත් ප‍්‍රසිද්ධියේම කීවේය.

  මේ හමුවේ අපි එකක් කියමු. ජනාධිපතිතුමනි, මෙවන් බල්ලන් බැඳ දැමිය යුතුය. මුං සපා කමින් සිටින්නේ මේ රටය. රටට ආදරය කරන ජනතාවගේ හදවත්ය. ඒ අනුභවය ඉතාම වෛරීය. ප‍්‍රකෝපකාරීය. දේශද්‍රෝහීය. එහෙයින් මෙවන් මළ පෙරේතයන් හමුවේ දුම්මළ වරම අතට ගෙන මුන් අල්ලා ගැටගසා සත්සමුදුරෙන් එහාට වීසි කර මෙවන් අපතයන් ජනිත කිරීමට වෙහෙසෙන තුන් බියෙන් මෙරට මුදා ගැනීමට ඔබ තවත් කල්ගත කළ යුතු නැත.

 මේ අන්දමට පොලිසිය සියල්ල අනාවරණය කරගැනීමෙන් අනතුරුව හරියටම සිද්ධියෙන් දෙදිනකට පමණ පසු මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් හමුවූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහත්වරුන් තාක්‍ෂණික සාක්‍ෂි සහිතව ස්විස් අක්කාගේ නාටකයේ විචාරය ඔහුට ඉදිරිපත් කළේය.

 මේ විචාරයත් සමග උන්හිටි තැන් අමතක වූ ස්විස් තානාපති හාන්ස් පීටර් කියන්නට වූයේ ගාලියා බැරිස්ටර් පැහැර ගැනීමේ සිද්ධිය නිසා දැඩි ලෙස රෝගීව සිටින බැවින් වහාම ඇය සහ පවුලේ සාමජිකයන් ස්විට්සර්ලන්තයට රැගෙන යෑමට අවශ්‍ය බවය.

 ඔහු එසේ කීවද එල්ල වූ චෝදනාවේ බරපතළකම නිසා ඊට ඉඩ දෙන්නට ශී‍්‍ර ලංකා රජය කැමැති වූයේ නැත. රජයේ ප‍්‍රතිචාරය වූයේ පැහැර ගැනීමට ලක්වූ තානාපති කාර්යාල සේවිකාවගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන සත්‍ය අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය බවය.

 එය මේ පිළිබඳ විමර්ශනය කළ විමර්ශන නිලධාරීන්ගේද ඉල්ලීම වී තිබිණි. එසේ වුවද රජය කළ එකී දැනුම්දීමට නිසි ප‍්‍රතිචාර දක්වන්නට ස්විට්සර්ලන්ත තානාපතිවරයා කටයුතු නොකළේය.

 ඒ අනුව පැහැර ගැනීමට ලක් වූවේ යැයි කී ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නම් වූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අවසානයේ පොලිසිය කි‍්‍රයා කළේය.

 ඉකුත් අඟහරුවාදා එම අධිකරණ නියෝගය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවද මේ දක්වා පැහැරගැනීමට ලක් වූවේ යැයි කියන ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් පොලිසියට පැමිණ ප‍්‍රකාශයක් ලබා දුන් වගක් වාර්තා නොවුණි. ඒ සඳහා ඇයට අධිකරණය විසින් කාලය ලබා දී ඇත්තේ ලබන 9 වැනිදා තෙක්ය. එහෙත් තවමත් පොලිසියට ප‍්‍රකාශයක් ලබා නොදුන් ඇය සිය පවුලේ ඥාතීන්ද සමග ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රැඳී සිටින බවක් දැනගැනීමට ඇත.

 දැන් අප එන්නේ ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කාගේ සිද්ධිය හරහා මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් තානාපති කාර්යාලය තුළදීම බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි අප මෙහි මුලින් කළ සඳහනටය.

  මේ මොහොත වන විට ගාලියා බැරිස්ටර් යනු තානාපති කාර්යාලය කියන පරිදි රෝගියෙකි. ඇය සිටින්නේ ප‍්‍රකාශයක් ලබාදීමට පවා නොහැකි තරමේ රෝගියකු බවට පත්වය.

 රෝගයකට ප‍්‍රතිකාර ගැනීමට අවස්ථාව හිමිවීම යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. එසේ වුවද මේ වන විට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා ගාලියා බැරිස්ටර්ගේ එම අයිතිය උදුරාගෙන නොතිබේද? ශී‍්‍ර ලංකාව තුළ ඕනෑ තරම් රජයේ මෙන්ම පහසුකම් ඇති පෞද්ගලික රෝහල් පවා තිබුණද රෝගීව සිටින ස්විස් අක්කාට ප‍්‍රතිකාර කරන්නට ස්විට්සර්ලන්ත තානාපතිවරයා මෙතෙක් පියවරක් ගෙන නැත.

 තානාපතිවරයා රෝගීව පසුවන සිය කාර්යාල සේවිකාව සහ ඇගේ පවුලේ ඥාතීන්ද නිවාස අඩස්සියේ තබාගෙන ඇත.

 එසේ නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මියගෙන් අපට අසන්නට තිබෙන්නේ රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියකු වූ ස්විට්සර්ලන්ත තානාපතිවරයා මේ සිදු කර ඇත්තේ මානව හිමිකම් කඩකිරීමක් නොවේද යන්නය.

 මේ විමසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බව අපි දැන සිටිමු. එසේ වුවද සත්‍ය සෙසු ලෝකයා දැනගත යුතු බැවින් අපි ඇගෙන් එම විමසීම කරන්නෙමු.

 මේ අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ විධායක ජනාධිපතිවරයා වී දෙසතියක් යන්නටත් මත්තෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සිය නිලධාරිනියක වූ ගාලියා බැරිස්ටර් යොදාගෙන මෙවැනි නාටකයක් රඟ දැක්වීමට කුමක් හේතු වූයේද?

 එයට ආසන්නම හේතු වූයේ පසුගිය කාලයේ බුද්ධි අංශ දඩයමක යෙදෙමින් ජාතික ආරක්‍ෂාව වනසා දමන අතරේ විජාතික කොන්ත‍්‍රාත්තුවකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කරන්නට වෙහෙසුණු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පාගේ පලා යෑමය.

 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ඔහු පැනගියේ ස්විට්සර්ලන්තයට ය. එකී පැන යෑමේදී කන්දප්පාගේ වීසා අවසර ලබාගැනීමේ කටයුතුවලට මැදිහත් වූයේ ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැති පැහැරගත් බව කියන තානාපති කාර්යාල සේවිකාව බවද කියැවෙමින් ඇත.

 නිශාන්ත කන්දප්පා යනු මෙරට අධිකරණයක් තුළ මිනීමැරුම් චෝදනා එල්ල වී සිටින චූදිතයෙකි. එසේම පසුගිය කාලයේ නීතිය අවභාවිත කරමින් සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, ඒ.එස්.පී. තිසේරා යන නිලධාරීන් සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිරගත කිරීමට කුමන්ත‍්‍රණ කෙරූවෙකි.

 ඒ කුමන්ත‍්‍රණයේදී විජයකාන්තන් නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයකු යොදාගෙන අසත්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීමක් පිළිබඳව ද කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේදී අනාවරණය වී තිබේ. එසේම නිශාන්ත කන්දප්පා යනු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරූවකු බවට වරදකරු වූවකුද වේ.

 පසුගියදා මෙරට තුළ සිදුවූ දේශපාලන පෙරළියත් සමග ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා විසින් දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලනත්යට පිටත් කර හරිනු ලැබුවේ මේ නිශාන්ත කන්දප්පාය.

 පැහැරගැනීමට ලක්වූ තානාපති කාර්යාල සේවිකාව තානාපති හාන්ස් පීටර් මහතාගේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ද අනුදැනුම මත මෙරටින් පලා යෑමට සලස්වනු ලැබුවේ එකී නිශාන්ත කන්දප්පාටය.

 ඉහළින් මානව හිමිකම් පිළිබඳ කතා කරන ස්විට්සර්ලන්තය වැනි රටක් නිශාන්ත කන්දප්පා වැනි කුජීත පොලිස්කාරයකුට රටින් පැන යෑමට සහාය දක්වමින් මෙසේ තුට්ටු දෙකේ හැසිරීමක් ප‍්‍රදර්ශනය කිරීම පුදුම සහගතය.

 ස්විට්සර්ලන්ත තානාපතිවරයා ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් හෙවත් ස්විස් අක්කාගේ කතාව කරළියට ගෙන එන්නේ එකී තුට්ටු දෙකේ හැසිරීම තිරය පිටුපසට ගෙන සඟවා ගනු පිණිසය. රාජ්‍යතාන්ත‍්‍රික විශ්වසනීයත්වය අවභාවිත කරමින් ස්විස් තානාපති හාන්ස් පීටර් සිය අධිරාජ්‍යවාදී කුහකත්වය ලෝකයට පෙන්නුම් කළ ගාලියා බැරිස්ටර් හෙවත් ස්විස් අක්කාගේ කතාව පිටුපස ඇත්තේ මේ සත්‍ය හැර වෙන කුමක්ද?

 මේ කුමන්ත‍්‍රණකාරී සැලසුමේ අවසන් ඉලක්කය වූයේ ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී නිශාන්ත කන්දප්පා සහ ගාලියා බැරිස්ටර් ශී‍්‍ර ලංකාවට එරෙහිව සාක්‍ෂකරැවන් ලෙස එකවර ඉදිරිපත් කිරීම වූවා විය යුතුමය.

 එහිදී ප‍්‍රධාන ඉලක්කය වන්නට ඇත්තේ හැටනව ලක්‍ෂයක ඡුන්ද ප‍්‍රමාණයක් ලැබ ඉනුත් දහහතර ලක්‍ෂයක වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් මේ රටේ විධායක ජනාධිපති වී 2015 දී විජාතික කඳවුර විසින් සිදුකළ කුමන්ත‍්‍රණකාරී දේදුණු විප්ලවය ආපසු හැරවූ ගෝඨාභය රාජපක්‍ෂ සාධකය වූවා නිසැකය.

 ඒ අනුව මෙතෙක් දේශද්‍රෝහීන් සහ කොටි ඩයස්පෝරාව ඇතුළු විජාතික බලවේග විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව දියත් කළ කුමන්ත‍්‍රණවලට තටු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ගෙන් අපට අහන්නට ඇත්තේ මේ පව් කන්දටත් කරගහන්නට දැන් ඔබ සූදානම්ද යන්නය.

 එසේ විමසීමට සිදුව තිබෙන්නේ කිසිදු වගවිභාගයකින් තොරව බලවත් රාජ්‍යයන්හි පහත් අරමුණු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හසුරුවන මිචෙලි බැචලට් ඉකුත් මානව හිමිකම් සැසිවාරයේ දී සිය වාර්තාවට නිශාන්ත සිල්වා කන්දප්පා වැනි අනීතික මිනිසකුගේ නම ඇතුළත් කිරීමට තරම් පහතට ඇද වැටුණු නිසාය.

swiz3

Related posts

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

colombotoday

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

colombotoday

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

colombotoday