Uncategorized

විදෙස් ණය වල පොලී ගෙවන්න වසරේ මුළු රාජ්‍ය ආදායමත් මදි…

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් 2018 වර්ෂයට නියමිත පොලිය ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත වාර්ෂික ආදායමවත් ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුව නිසා බදු නිදහස් කිරීම් අවම කර නව බදු පනත ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අද (05) ගාල්ලේදී පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ “බදු වගකීමක් නොව සමාජ යුතුකමක්” යන මැයෙන් උණවටුන සැවෙන්රෝ ගාඩ්න් හෝටලයේ පැවති නව ආදායම් බදු පනත පිළිබඳව බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමිනි.

“අපේ රටේ ජාතික ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග තුන වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවයි. 2018 ඇස්තමේන්තුවට අනුව රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 2200යි. සමස්ත වියදම රුපියල් බිලියන 2152යි.

2200ක් හම්බකරලා 2152ක් අපේ කෑම බීම හා රජයේ නඩත්තු වෙනුවෙන් වියදම් කළොත් ඉතුරු වෙන්නේ කීයද? නමුත් මේකෙ තියෙන අනිසි ප්‍රතිඵලය තමයි පසුගිය කාලෙ ගත්ත ණය වෙනුවෙන් මේ 2018 අවුරුද්ද තුළ ණය වාරිකය ලෙස රුපියල් බිලියන 1150ක් සහ ණය පොළිය ලෙස රුපියල් බිලියන රුපියල් බිලියන 852ක් ගෙවීමට සිදුවීම. දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ 2018 වර්ෂයේ බලාපොරොත්තු වන ඉලක්කගත සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 792යි. නමුත් අපිට ණය පොළිය විදියට රුපියල් බිලියන 852ක් ගෙවන්න වෙනවා කියන්නේ සමස්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායමම මදි අපි අරගෙන තියෙන ණය පොළිය ගෙවන්න. මේ නිසා අපි හැම කෙනෙක්ම ආදායමට සරිලන නිවැරදි බදු ගෙවලා අපේ යුතුකම ඉටු කලොත් මේ රට ණය වලින් ගැලවිලා සංවර්ධනය කරා ගමන් කරන ස්වාධීන රටක් වෙන්න පුළුවන්.

මෙහිදී අයිවන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසල් සිසුවකු වෙනුවෙන් රුපියල් 47000ක්ද වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහමාරක්ද ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක්ද රජය වාර්ෂිකව වියදම් කරන බවයි.

ලක්ෂ පහකට වඩා වැඩි වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් දේශීය ආදායම් කාර්යාලයට ගොස් ලිපි ගොනුවක් විවෘත කර ගෞරවනීය බදු ගෙවන්නකු බවට පත්වී රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළයුතු බවද දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසීය.

Related posts

“බලය ඇති විට ජනතා සහය නොපතා, බලය නැති විට ජනතා සහය පැතීම නොකර අර්බුදය ජය ගැනීමට කටයුතු කරන්න.” – ශ්‍රී පාදස්ථානාධිපති හිමි

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

ගෝඨා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන් – වසන්ත සේනානායක

colombotoday

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin