Colombo Today Local News

රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය භාර ගන්න මම සූදානම් – රවී කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද?

මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ වර්ෂයට මුදල් අනුමත කරගත්තේ නෑ, නමුත් අතුරු සම්මත ගිණුමක් මගින් පහුගිය පාර්ලිමේන්තුවෙන් මේ අප්‍රේල් මාසයේ 30 වැනිදා වන තෙක් මුදල් වෙන් කරලා තියෙනවා. එතකොට ආණ්ඩුවට දුවන්න මුදල් නෑ කියලා කියන අය මේ ප්‍රකාශය කරන්නේ මෙන්න මේ කාරණාව පදනම් කරගෙන. ඇත්ත වශයෙන්ම ඒකේ නීත්‍යනුකූල භාවයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ රට තියෙන්නේ හදිසි ආපදා තත්ත්වයක් උඩ. මෙවැනි වෙලාවක ජනාධිපතිතුමාට තවත් මාස 3ක් ඒ කියන්නෙ දවස් 90ක් ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඔබ එහෙම කිව්වට යහපාලන ආණ්ඩුවේ හිටිය තවත් මුදල් ඇමැතිවරයෙක් වන මංගල සමරවීර මහත්තයා කියනවානේ ජනාධිපතිවරයාට එහෙම කරන්න නීතිමය බලයක් නෑ කියලා?

ඒ අය ඒ අයගේ අදහස් ඉදිරිපත් කරනවා. නමුත් මම කතා කරන්නේ මේ විෂය දෙස ප්‍රායෝගිකව බලන කෙනෙක් විදිහට. රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේ වගේ බැරෑරුම් වෙලාවක ඒ ප්‍රශ්නේ තවත් අවුළුවන එක නෙවෙයි කරන්න ඕන. අපි දැන් බලන්න ඕන මේ ගැටලුව විසඳන්න ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන මොනවද කියලා. අන්න ඒ විධිවිධානවලට අනුව කරන්න පුළුවන් දේ තමයි මම කියන්නේ. එහෙම නැතුව මම මේ වෙලාවේ දේශපාලනේ කරන්නේ නෑ. හැම දේම කරන්න ඉස්සෙල්ලා අපිට රටක් තියෙන්න ඕන. මම කරන්නේ අන්න ඒ රට රැක ගන්න එක.

ඔබතුමා කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට වඩා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විදිහට, එස්. බී. දිසානායක හිටපු ඇමැතිවරයා මේ ළඟදී කිව්වා විපක්ෂයේ මේ පුහු ආර්ථික තර්ක ගේන අය අඩුම ගානේ රවි කරුණානායකගෙන්වත් ඇහුවා නම් යමක් ඉගෙන ගනියි කියලා. මොකද එස්. බී.ගෙන් ඔබතුමාටත් දුරකථන ඇමැතැමක් ආවද මේ ළඟදී දවසක?

අනේ නෑ. මම හිතන දේ තමයි ඇත්ත කියන දේ මොන විදිහකින්වත් වහන්න බෑ. ඇත්ත කොහොම යටපත් කරන්න හැදුවත් ඇත්ත ඉස්මතු වෙනවා. මම ඇත්තටම එස්. බී. ගේ ඒ කතාව අගය කරනවා. මොකද කාලෙකට පස්සේ මං ගැන හොඳ දෙයක් කතා කරලා තියෙනවා. ඇත්තටම 2015 ඉඳන් 2017 වෙනකං මුදල් ඇමැතිවරයා විදිහට මම ගෙන ගිය ප්‍රතිපත්තියට අනුව මේ රටේ ආර්ථිකය ගෙනිච්චා නං අද මේ රට තියෙනවාට වඩා මූල්‍යමය ස්ථාපිත තත්ත්වයක රට තියෙන්න තිබුණා. 2015 දී අපි භාර ගත්තෙ සෘන ආර්ථිකයක් තිබුණු මූල්‍යම වශයෙන් කඩා වැටුණු රටක්. නමුත් මම වැඩ කළේ රජයේ නිලධාරීන්ගෙන් අහගෙන නෙවෙයි. මම වැඩ කළේ විෂය පිළිබඳව මට තිබුණු න්‍යයාත්මක දැනුමෙන් හා ප්‍රායෝගික භාවිතාවෙන්. මම රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධියෙන් යැපුනේ නෑ, මම රාජ්‍ය නිලධාරීන්ට කළ යුතු දේ ගැන අණදීමේ හැකියාවක් තිබුණු ඇමැතිවරයෙක්.

ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ආර්ථික ඔස්තාර් එහෙමත් නැත්නං කෞටිල්‍ය ඔබ කියලාද?

නෑ මං එහෙමනං කියන්නේ නෑ, නමුත් මං මගේ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතාවේදී රටේ උපරිම විශ්වාසය දිනා ගන්න පුළුවන් විදිහට කටයුතු කරලා තියෙනවා. අන්න ඒ තත්ත්වය ඉවසාගන්න බැරිවෙච්ච ඉරිසියාකාරයෝ මට විවිධ අභූත චෝදනා නගලා මගේ චරිතය ඝාතනය කරන්න කටයුතු කරලා තියෙනවා. නමුත් සත්‍යය ජයග්‍රහණය කරනවා. මම ඇත්තටම අගේ කරනවා ඒ මගේ හැකියාවන් දැකලා ඒක අගේ කරලා කතා කරන ඒ කට්ටියව. අපි හැමෝම එකතු වෙලා රට හදන්න කතා කරනවා මිසක් රට හදන අයට ගහන්න ඕන නෑ කියන එක තමයි මම විශ්වාස කරන්නේ.

හොඳයි මේ වෙලාවේ ඔබ මේ රටේ මුදල් ඇමැතිවරයා නං හෝ ජනාධිපතිගේ ආර්ථික උපදේශක නම් මොනවගේ තීන්දු තීරණද ඔබ ගන්නේ?

මේක මහ පුදුමාකාර අවස්ථාවක්. මේ හිටියනං අරකද මේකද කියලා හිතලු මත කටයුතු කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ අපි ඉන්නේ ලෝකෙම ආර්ථිකේ කඩන් වැටෙන මොහොතක. දැන් අප කළ යුත්තේ මුලින්ම කොරෝනා වෛරසය නැති කරන්න මුදල් වෙන් කරනවා වගේම දේශීය පදනමක් මත ජාතික ආර්ථිකයක් ගොඩ නගන්න අඩිතාලම දාන එක.‍
මතක තියාගන්න අපි 2015දී රට භාරගන්නකොට සෞඛ්‍යයට වියදම් කළේ සියයට 1.3ක් වගේ මුදලක්. අපි මුලින්ම කළේ ඒ මුදල සියයට 3ක් දක්වා ඉහළ දාපු එක. අන්න ඒ නිසා තමයි අද මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍යය මේ ආකාරයෙන් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැනුත් පුළුවන් තරං ඒ සෞඛ්‍යයට අවශ්‍ය මුදුල් වෙන් කරන්න ඕන.
මේ හැම දෙයක්ම අපි කළ යුත්තේ අපදා කළමනාකාරී වැඩපිළිවෙළක් යටතේ මොකද මේ වෙලාවේ ක්‍රියා කරන්න ඕන විදිහ පොත්වලවත් ව්‍යවස්ථාවේවත් නෑ, මේ වෙලාවේ තියෙන තත්ත්වය අධ්‍යයනය කරමින් ඒකට ප්‍රායෝගික පිළිතුරු හොයන එක තමයි තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ලෝකෙටත් අපිට උදවු කරන්න බෑ. මොකද ඒ ගොල්ලොත් දැන් හිරවෙලා ඉන්නේ. ඒ නිසා දැන් අපි මේකට උත්තර හොයන්න ඕන ජාතියක් විදිහට. නමුත් මේ වෙලාවේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, අසියානු සංවර්ධන බැංකුව ඇවිත් අපිට වට්ටෝරු දේවි. ඒ ගොල්ලන්ගේ කෘතිම වත්කමට කොහොමද වැඩ කරන්න ඕන කියලා. නමුත් මම හිතන්නේ දැන් අපි ඔය හැම දෙයක්ම පැත්තකට දාලා අපේම ආර්ථික ක්‍රමවේදයක් හදන්න පුළුවන් වැඩපිළිවෙළකට යන්න ඕන. අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දේම මේ රට ඇතුළේ හදන්න ඕන. ඒ ඔස්සේ විදේශ විනිමය රටෙන් පිටතට යන එක වළක්වලා රුපියල ශකිත්මත් කිරීමට පදනම දාන්න ඕන. ඒ වගේම රට තුළ අතිරික්තව නිපදවන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය දිරිමත් කරලා හැකිතාක් අපනයනය කරලා විදේශ විනිමය උපයන්න ඕන. අපි දැන් ඉන්නේ මේ හැම දෙයක් ගැනම අලුතින් හිතන්න ඕන මොහොතක. මේ දේවල් කරන එක ලේසි නෑ. නමුත් කරන්න බැරි නෑ.

ඉතිං ඔය තරං ප්‍රගතිශීලීව හිතන ඔබ ඇයි අගමැතිතුමා කැඳවපු හමුවට ගියේ නැත්තේ?

අපි යන්න තමයි හිටියේ. නමුත් ගිය පාර්ලිමේන්තුවේ හිටියේ නැති ඊට පෙර පාර්ලිමේන්තුවේ හිටිය අයවත් මේ හමුවට කැඳවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ලක්වීමක් වෙලා තිබුණා. ඉතිං එහෙම තැනකට අපි ගිහිල්ලා මොනවා කතා කරන්නද? තේ කෝප්පයක් බීලා එන්නැයි. අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය සමච්චලයට ලක් නොකර එහි ගරුත්වය රකින්න ඕන නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ අපි අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීන්දු කළේ.

හැබැයි මන්ත්‍රීතුමා ඒ තීන්දුවේ සමගි ජනබලවේගය මුල ඉඳලාම හිටියා නේද? එක්සත් ජාතික පක්ෂයට දේවල් තේරෙන්න කල්ගත වෙනවා කියන එකද මේ කියන්නේ?

ඒ ගොල්ලෝ කලින්ම හොරෙන් ගිහිල්ලා කතා කරලා ඔළුවට ටොක්කක් ඇනගෙන ඇවිල්ලා හිටියේ. අනික අවුරුදු 73ක් පැරණි එක්සත් ජාතික පක්ෂයේ අපි තීන්දු තීරණ ගන්නේ තව කවුරුවත් ගන්න තීන්දු තීරණ දිහා බලලා නෙවෙයි. ඒ නිසා අපි තීන්දු ගන්න බය වෙන්නෙත් නෑ. බයවෙලා තීන්දු ගන්නෙත් නෑ. මෙතැන අපි යන්න හිටියේ. අපි යනවා කියලා ප්‍රසිද්ධියේම කිව්වා. නමුත් ආණ්ඩුව ගිය පාර්ලිමේන්තුවේ හිටියේවත් නැති අයත් ගෙනැල්ලා මේක විහිළුවක් කරගන්නකොට අපි ඒ නාඩගම්වලට සහයෝගය දෙන්න සූදානම් නෑ.

ආණ්ඩුව එජාපයට ආරාධනා කළොත් ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න එන්න කියලා ඒකට සහයෝගය දෙන්න එජාපය සූදානම්ද?

ඔබේ ඒ ප්‍රශ්නේ හරියට අත්බෝම්බයක පින් එක ගලවලා අනිත් අය තබ්බීර්වෙලා ඉන්න වෙලාවක උත්තර දෙන්න කිව්වා වගේ එකක්. එක තමයි මේ ඡන්දයක් කට උඩ ඒ වගේ දෙයක් කරන්න අවශ්‍ය නෑ, දෙක තමයි රට හදනවා නං හරියට කරමු. එහෙම නැතිව ඔය ඇමැති වරප්‍රසාද බුක්ති විඳිමින් සැප සම්පත් විඳින එක නෙවෙයි අවශ්‍යතාව. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම මේ කොරෝනා වෛරසය නැති කරන්න. ඊට පස්සේ කරන දෙයක් නීත්‍යනුකූලව කරන්න. ඒ ඔස්සේ එක්සත් ජාතික පක්ෂයට දෙන්න පුළුවන් සහයෝගයක් මේ දවසකට දෙකකට නෙවෙයි දීර්ඝ කාලීනව දෙනවා මිසක් තාවකාලික තෘප්තියක් ලබන්න සූදානමක් නෑ. රට හදන්න අඩිතාලම දාන්න පුළුවන් නම් ඒකට එක්සත් ජාතික පක්ෂය බය නැතුව ඉදිරිපත් වෙනවා. එතැනදී ඔය එක එක්කෙනා මොනතරම් ඇනුම්පද කිව්වත් ඩීල්කාරයෝ කිව්වත් අපිට ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද ඇත්ත ඩීල්කාරයෝ කවුද කියලා අපි දන්නවා. පක්ෂ කාර්යාල අරන්, කැබිනට් පත්‍රිකා තුළින් කාර් පාව්ච්චි කරලා සැප විඳින ඇත්ත ඩීල්කාරයෝ තමයි අපිට ඩීල්කාරයෝ කියලා කියන්නේ. ඉතිං ඒ වගේ අයගේ කතා අපට වැඩක් නෑ, රට වෙනුවෙන් කරන්න තියෙන් දේ බය නැතුව කරන්න ඕන.

ටී. එන්. ඒ. එක අගමැතිත් එක්ක විජේරාම නිවසටත් ගිහින් කතා බහ කරලා තියෙනවා නේද මන්ත්‍රීතුමා?

මම ප්‍රවෘත්තිවලින් දැක්කා. ඒක හොඳයි. දැන් අපිත් එක්ක ඒ අය වැඩ කරනකොට කොටි කියලා කිව්වා. දැන් මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරනකොට ඒ අය පූස් පැටව්ද? මෙන්න මේ වගේ කුහක දේශපාලනයක් කරපු නිසා තමයි නිදහස ලබාගෙන අවුරුදු 73ක් ගෙවිලත් මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ.

ඔබ විශ්වාස කරනවාද රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන්න පුළුවන් නායකයෙක් කියලා?

මම විශ්වාස කරනවා එතුමා දැනුවත් කමක් තියෙන රටට දෙයක් කරන්න පුළුවන් නායකයෙක් කියලා. නමුත් දුර්වලතා ගණනාවකුත් තියෙනවා. කිසිම කෙනෙක් අංගසම්පූර්ණ නෑනේ, එතකොට ඔහු තුළ තියෙන දුර්වලතා පාව්ච්චි කරලා ඔහු තුළ නැති දුර්වලතාත් නිර්මාණය කරපු අය දැන් මේ පක්ෂය ඇතුළේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂය සහාය දෙනකන් කොටි ලේබල අලවපු ටී එන් ඒ එකත් නෑ. පාස්කු බෝම්බේ ගැහුව කියන පක්ෂත් නෑ. බෞද්ධ විරෝධි කට්ටියත් නෑ. සිරිකොතට ගල් ගහපු කට්ටියත් නෑ. දැන් එක්සත් ජාතික පක්ෂ සුපිරිසිදුයි. දැන් මම මේවා කියනකොට යම් යම් අයට රිදෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. නායකයාගේ අඩුපාඩු තියෙනවා කියලා නායකත්වයට එන්න කෙටි පාරවල් හොයන්න හොඳ නෑ. ගෙදර අම්මා තත්තගේ අඩුපාඩු තිබුණොත් අම්මා තාත්තා මරනවද? අන්න ඒ වගේ පිරිසක් තමයි අද එළියට බැහැලා තියෙන්නේ. ඉතිං එක්සත් ජාතික පක්ෂය දැන් පැහැදිලි ගමනක් යනවා. අපට විශ්වසයි ඉදිරියේදී ජනතාව අප කියන දේ තේරුම් ගනීවි.

මම නිවැරැදි නම් 2022-23 වෙනකම්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි එජාපයේ නායකයා. ඊට පස්සේ කවුද එජාපය භාර ගන්නේ?

ජනතාවගේ විශ්වාසය දිනාගත්ත, පක්ෂයට ආදරය කරන, ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන යන නායකයන්ගේ උරුමය රකින්න පුළුවන්, රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ආදරෙයෙන් අලියා රකින්න පුළුවන් පුද්ගලයෙක් ඉදිරිපත්වෙන්න ඕන.

ඒ වෙලාවේදී දැන් පක්ෂයෙන් එළියට ගිය අය අතරත් ඔය ගුණාංග තියෙනවා නං අවස්ථාවක් තියෙනවාද?

කරුණාකරලා මහගෙදර හොඳ නෑ කියලා අල්ලපු ගෙවල්වල බෝඩිං හදාගෙන මහගෙදරට ගල්හගන කට්ටියට මේකේ උරුමක් නෑ. ඒ අය දැන් ඒ අය හදාගත්ත පක්ෂේ ඇතුළේම ඉන්න. ඒ අය ගියේ වෙන සුරංගනා ලෝකෙකටනේ. මේ ඔක්කොම නරක නං මොකටද ආයිත් එන්නේ. අනිත් එක එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ පිය උරුමෙන් මවු උරුමයෙන් නැත්නම් පරිවේණියෙන් නායකයෝ බිහි කරන තැනක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ දඩාවතේ ඇවිදලා එන උන්ට හාන්සි වෙන්න තියෙන අම්බලමකුත් නෙවෙයි.

ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළේ රවි කරුණානායකගේත් බලාපොරාත්තුවක් තියෙනවා නේද ඊළඟ නායකයා වෙන්න?

අද මේ වගේ දේවල් නිසා තමයි අභූත චෝදනා කරලා චරිත ඝාතනය කරලා අපිව නැති කරන්න හදන්නේ. නමුත් දෙවි පිහිටින් අපි රැකිලා ඉදිරියට යනවා. මේ රටේ මින්ස්සුන්ගේ විශ්වාසය දිනාගෙන පක්ෂයක් විදිහට සාමූහිකව වැඩ කරලා රට ඉදිරියට ගෙනයාමේ හැකියාවක් තියෙනවා නං කතා දෙකක් නෑ ඔවු. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්න මම සූදානම්.

සමන් සමරක්කොඩිAruna

Related posts

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday

රට රැකි ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලා නිහඬ විරෝධතාවයක

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin