ArticlesColombo Today Local News

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. විසිනි

මැතිවරණ බාර කොමිෂමේ සාමාජිකයෙක්ම මැතිවරණ එපා කියා උසාවියට ගියාට පසු යහපාලන ස්වාධීන කොමිෂම් සභා නමැති කයිය නිකම්ම බේගලයක් පමණක් බව රටටම එලිදරව් විය. පන්සල්වල දේශපාලන ජාතිවාදී රැස්වීම් තහනම් කරමින් කෑගල්ල තේරීම්බාර නිලධාරියා යැවූ දැන්‌වීමක් කෑගල්ලේ වට්ටාරාම පන්සලේ නොබෝදා පැවැත්‌වූ බොදු බල සේනා රැස්වීමකදී ප්‍රසිද්ධියේම ඉරා දැම්මේය. මෝඩ, ඒ නිසාම අසාධාරණ, නීති හෝ රෙගුලාසි කඩකිරීම රටවැසියාගේ අයිතියකි. ගාන්‌ධි හා ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං කලේද එයය. මේ මැකෝ, මහින්ද දේශප්‍රියගේ, සහෝදරයා මාධ්‍ය නිදහස ගැන සීමාව ඉක්මවා කතා කිරීමට ගොස් ලංකාවෙන් පැනගෙන දැන් ජීනීවා නුවර සුවසේ ජීවත් වෙමින් සිටී. නමුත් මැකෝ ලංකාවේම නැවතී නියෝජිත ප්‍රජාතන්‌ත්‍රවාදය නමැති ප්‍රෝඩාව බේරාගැනීමේ සටනක නියැලී සිටී. මල්ලී හෝ අයියා මෙන් ඔහුත් මාක්ස්වාදීයෙක්දැයි මට සැකය.

එම සැකයට හේතුව නම් ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ගැන දැණුමක් මාක්ස්වාදීන්ට, කළුසුද්දන්ට, නැති නිසාය. පිරමිඩ් බැලීමට ඊජිප්තුවට යන මොවුන්, රුවන්වැලි මහාසෑය සැදු දුටුගැමුණු රජතුමාට ගඩොල් මෝඩයෙක් යයි ඇන් ඇම්, කොල්වින්, විවියන්ලා වැනි අය ඒ කාලයේ කිව්වේ ඒ නිසාය. මේ විෂයයන් දෙක යන්තමින් හෝ දන්නවා නම් මැකෝ මෙවැනි රෙගුලාසියක් පනවන්නේ නැත. ලංකාවේ මෑත ඉතිහාසය (ඉතිහාසය කියන්නේ රටක අතීත භූගෝල විද්‍යාවටය) වනාහී එක පැත්තකින් රට පාලනයකල සුද්දන් හා 1948 සිට සුද්දන්ගෙන් රට භාරගත් කළුසුද්දනුත්, අනිත් පැත්තෙන් ජාතියේ මුර දේවාතාවන්‌වූ පන්සලත් අතර සිදුවූ නොනවතින අරගලයේ, ගැටුමේ, වාර්‌තාව බව, මැකෝට පමණක් නොව, කොල, නිල්, රතු පක්‍ෂ දේශපාලකයින්ටත්, දැන් මතුවී සිටින විකල්ප අපේක්‍ෂක ගොඩේ ඉන්නා නාගානන්ද, පල්ලෙවත්ත, මහේෂ් සේනානායක හා ගාමිණී විජේසිංහ තබා සර්වෝදයේ වින්ධ්‍යාටවත් තේරුම්ගොස් නැත.

එසේ නමුත්, ලංකාවේ සිටි ලන්දේසි නිලධාරීන් හරහා ලංකාවේ පලවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාවූ නෝත් මෙම මුර දේවතා සංකල්පය වටහා ගත්තේය. ජෝන් ඩොයිලි සිංහල ඉගෙනගත්තේත් මේ නිසාය. බ්‍රවුන්‍රිග් වනවිට කුලල්කා ගන්නා උඩරට සිංහල රදලයින් රට පාවාදී අවසානය. ඊට පෙර නානායක්කාර දෙමළ තඩියෙකුට ඔටුන්න ගියේද මොවුන්ගේ ඊර්ෂ්‍යාව හා කුහකකම නිසාය. වාරියපොල සුමංගල හා කුඩාපොල හාමුදුරුවරුන්ගේ හැසිරීමෙන් තිගැස්සුණ බ්‍රවුන්‍රිග්ලා කහසිවුරේ බලය දමණය කිරීමේ ශූක්‍ෂම ව්‍යාපාරයක් දියත් කලේය. බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් අනාගාරික ධර්‍මපාලතුමාට වෛරකිරීම, ඉන් පසු ඊට දායකවූ දෙන්නෙක්‌වූ සිංහල ඩිිෙස් හා ඩීබීජයතිලකගෙන් , ඩීබීව වෙන්කරගෙන ඔහුව ඉන්දියාවට සේන්‌දු කිරීමට අමතරව, ජපනා ලංකාවට ගොඩබැස්සොත් හාමුදුරුවරු එකතුකර හිරකඳවුරුවල තැබීමේ අද්මිරාල් ලේටන්ගේ යුද්ධ ප්ලෑනය (මෙය ජනාධිපති රූස්වෙල්ට් විසින් ඇමෙරිකාවේ වසන ජපන් ජාතික පුරවැසියන් හිරකඳවුරුවලට ගෙනගියා වැනිම ප්ලෑනකි).

ක්‍රිස්‌තියානී සිංහල පාස්ටර්ලාද හරහා පන්සල දමණය කිරීමේ ප්ලෑන කෙතරම් උග්‍ර වූවාදයත් පසුකලෙක සිදත් සඟරා පඩිවරයෙකු‌වූ ජේම්ස් ද අල්විස් විසින් 1840ස් ගණන් වල කියා සිටියේ තව අවුරුදු දහයකින් විස්සකින් ලංකාවෙන් බුදු දහම තුරන්වනවා කියාය (ඉන්දියාවේදී මෙන්). මේ කාලයේදීම දුඹුරුපාට සුද්දන් බෝකිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඉන්දියාවෙන් මැකෝලි සාමි විසින් ආරම්භ කලේය. ලංකාවේ රෝයල් කොලේජ් හා යාපනයේ, මඩකලපුවේ මිෂනාරි පාසැල් පටන් ගත්තේද මේ කාල වකවානුවේය. පානදුරේ වලානේ සිරි සිද්ධාර්‍ථ හිමිදුන් රත්මලානට පැමිණ පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භකලේ සටන් පෙරමුණේ සිට බුධාගම නඟා සිටුවීමටය. උන්වහන්සේගේ ගෝලයෝ විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් බිහිකලේය. අවසානයේ 1873 පානදුරාවාදයෙන් බුද්ධාගම කියන්නේ බොරුවක් යන මතය පරාජයට පත් විය. මෙම පාලක-පන්සල් ගැටුමේ විවිධ අවස්ථා ලංකා වෙබ් අඩවියේ ඇති පන්සලේ ඉතිහාස කතාව නම් දිග ලිපියේ විස්තර කර ඇත.

විෂ්මය ජනක කරුණක් වන්නේ 1880 දී ගාල්ලෙන් ගොඩබැස්ස ඕල්කොට්තුමාට පසු පන්සල්, පිරිවෙන්, බෞද්ධ සටන යනාදිය පිලිකන්නට තල්ලුවී යාමය. සිංහල කළුසුද්දන් බෞද්ධ නායකත්‌වය අල්ලගෙන හැමදේම විකෘති කලේය. බෝධි සත්‌වයෙක් යයි සලකන ඕල්කොට් එසේ නොවන බව ධර්‍මපාල තරුණයා හා මිගෙට්ටුගත්තේ ගුණානන්ද හිමියන් මුලදීම වටහා ගත්තත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට එය නොතේරුණේය. මෙය ලියන මටත් මෑතකදී එය ප්‍රත්‍යක්‍ෂවුණේ, ආනන්ද විද්‍යාලය ඇරඹීමට ඕල්කොට් විසින් ගෙනා ලෙඩ්බෙටර් ඉන් විශ්‍රාමගෙන ලන්ඩන් ගිය පසු තමන්ගේ පරණ පල්ලි පාස්ටර් තනතුරට ගිය බව දැනගත් විටය.

ලංකාවේ ඓතිහාසික රාජ්‍ය පාලන මොඩලය වුයේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වයය. එක්සත් සමුර්ධිමත්, යහපාලන රටක් බිහිවූයේ ඒ මතය. මේ රටේ හැම තීරණාත්මක අවස්ථාවකදීම රට අනතුරින් මුදාගැනීමේ පිටුපසින් සිටියේ පන්සලේ සංඝයාවහන්සේය. දුටුගැමුණු-තිස්ස සහෝදර ගැටුමේදීත්, වලගම්බා රජු වනගතව සිටියදීත් පන්සලේ දේශපාලනය අඛන්ඩව සිදුවිය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිදුන්ට එකැස්කණා යයි කියමින් රජුගෙන් මරණ තර්‍ජන එල්ලවු විට උඩරටින් පලාගොස් සැඟවීමට සිදුවූයේ ඒ නිසාය. උන්වහන්සේව ඝාතනය කිරීමට කොළඹින් චරපුරුෂයින් ගියා යයිද වාර්‌තා වේ. මෑතකාලයේදී රට ජාතිය වෙනුවෙන් ඉදිරියට ආ සෑම හාමුදුරුනමක්ම වාගේ හදිසියේ සැකකටයුතු අකාරයට මෙලොවින් නැතිවීයාම පුදුම සහගත වන්නේත් මේ නිසාය. නාරද හාමුදුරුවන් වැන්නෙක් ජෙොර් ට සංදේශ පිට සංදේශ යැවුවත් බොදු බල සේනාවේ ඥානසාර හිමියන් කරලියට එනතුරු ගොනාට තණකොළ කෑමට ඇති කඹයේ දුර වන සිස්ටම් එක ඇතුලත කොටුවී සිටීම හැර වෙන දෙයක් ඉටු නොවීය. වැට කඩාගෙන ගොස් මහා පෙරලියක් කර, බොරු බෞද්ධ දේශපාලකයින් ගලේ පැහැරූ බළලුන් බවට පත්කලේ ඥානසාර හිමියන් ය. පාලන ක්‍රමයට යන්තම්හෝ ගෑවුණු හැම දේශපාලකයෙක්ම, එන්‌ජී‌ඕ කාරයෙක්ම උන්වහන්සේගේ මස් රාත්තලම ඉල්ලන්නේ, සිංහල බෞද්ධයින්, සමහර පිරිමින් හිතහොඳ ගෑණුන්ට සළකනවා වගේ මෙන් තවදුරටත් නොසිටින බව උන්වහන්සේගේ ප්‍රසිද්ධියේ එලිකල නිසාය.

බොහෝ හාමුදුරුවරුන්ගෙන් වෙනස්‌ව, ධර්‍මපාලතුමාගේ මඟේ යමින් ගම-වැව-දාගැබ යන සමාජ ආර්ථික මොඩලය (දැන් කාලේ කියන තිරසර සංවර්‍ධනය) ඉතා සාර්‍ථකව ක්‍රියාවට නැඟුවේ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්‌ය. 1940 ස් ගණන්වල ප්‍රචලිතවූ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්‍ධන නම්වූ මෙම ව්‍යාපාරය සුද්දන් හා කළුසුද්දන් විසින් කඩාකප්පල් කර දැම්මේය. සූරියමල් විකුණූ, මැලේරියා ගම් වලට ආහාර ද්‍රව්‍ය ගෙන ගිය මාක්ස්වාදීන් මෙම ව්‍යාපාරයට එකතුවුනා නම් කෙතරම් අගේද? සුදු පොලිස්පතිගේ නියෝගයට යටවූ ඩොනමෝර් අවධියේ පොලිසිය භාර ස්වදේශ කටයුතු ඇමති ඩීබී ජයතිලක ගැන හාමුදුරුවන් තම ස්වයංලිඛිත චරිතකතා පොතේ ලියන්නේ බලවත් කලකිරීමකිනි. ඩිිැස් අගමැති සම්බන්‌ධයෙන් මෙවැනිම කලකිරීමක් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ටද ඇතිවිය. භික්‍ෂූ පුහුණු කිරීමේ ආයතනයක් සඳහා අධාරකිරීමට පොරොන්දුවී උන්වහන්සේගෙන් චන්ද ව්‍යාපාරයට උදව් ගත් ඩිිැස්, අගමැති පුටුවේ සිට කියා සිටියේ ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් බුද්ධාගමේ නැති බවත්, අයිවෝර් ජෙනිංන්ස්ගේ ව්‍යවසථාවේ 29 වගන්තිය අනුව එසේ ආගමික ආයතනයක් සඳහා ආණ්ඩුවට ආධාර කල නොහැකි බවත්‌ය. නැවත අගමැති කන්තෝරුවට පය නොතියනවා යයි දිවුරා හාමුදුරුවන් පිටවිය.

බුද්ධාගම රැකීමට, දළදාව ආරක්‍ෂාකිරීමට බොරුවට හෝ 1815 දී සුද්දන් විසින් ගිවිසුමක් අත්සන් කලේය. සුදු මිනිසුන් ඇමෙරිකාවේ රතු ඉන්දියන් ජාතීන් සමඟ අත්සන් කල නොයෙක් ගිවිසුම් වගේම මෙම ගිවිසුමද අදටත් වලංගුය. 1947 දී ගෙනා 29 වගන්තිය, 1815 ගිවිසුම නොසලකා දැමූ බාධකයක් වුවත්, 1972, 1978 ව්‍යවස්ථා නැවත බොරුවට හෝ 1815 ගිවිසුමේ සංකල්පය පිළිගත්තේය. නිදහස ලබාගත්තා කියන්නේ කොළඹ කළුසුද්දන් රංචුවකට බලය ලබා ගැනීමක් නොව 1815 දී නැතිවූ සිංහලේ රාජ්‍යයේ බලය, අයිතිවාසිකම් නැවත ලබාදීමය. 1923 සිට වෙනම දෙමළ රටක් යන ව්‍යාපාරය අරුණාචලම් පොන්නම්බලම් විසින් මැඩ්‍රාස් ප්‍රාන්තයේ ද්‍රවිඩ ව්‍යාපාරය හා එකතුව ගෙන ගියත්, මහ ජාතියට, දිවයිනේ ශිෂ්ටාචාරය ගොඩනැඟූ සිංහලයාට, සිංහල බෞද්ධයාට ඔවුන්ගේ නැතිවූ අයිතිවාසිකම් නැවත ලබාදීම සෙසු ජනවර්‍ගවලට හානිකිරීමක් නොවන්නේය. මේ ගැන හාව‌ර්ඩ් සරසවියේදී ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් (යුක්තිසහගත ලෙස වෙනස් ආකාරයට සැලකීම) යයි ආචාර්ය උපාධි පොතක් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත්‌වන දේවනේෂන් නේසයියා විසින් 1997 දී ප්‍රසිද්ධ කර ඇත. ඉන්දියාවේ, ඇමෙරිකාවේ හා මැලේසියාවේ එය ක්‍රියාත්මකවන අන්‌දම ඔහු විමසා බැලුවත් ඔහු උපන් රටවන ලංකාව ගැන නිහඬය.

එක්සත් සිංහලේ කිසිම ජන වර්‍ගයකට වෙනස්කම් සිදු නොවූයේ බුද්ධාගමට අනුව සියළු සත්‌වයෝ නිදුක්, නිරෝගී වියයුතු නිසාය. මිනිසුන්, කූඹින්, සතුන් හා ගස් ගල් පවා මීට අයත්‌වේ. දේව වාදී මැදපෙරදිගින් බිහිවූ ආගම් අනුව දෙවියන් විසින් සෙසු සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනයටය. පිළිකා රෝගය පවා මවා ඇත්තේ මිනිසාට පාඩමක් ඉගැන්‌වීමටය. බෞද්ධ පිලිගැනීම මිනිසා පරිසරයේ අංගයක් මිස එහි අයිතිකාරයා නොවන බවය. සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, මුස්ලිම් භේද ඇතිකලේ සුද්දන්ගේ බෙදා පාලනය කිරීමේ උපක්‍රමය උඩය. මේ අනුව ගිය පාලන බලය දැරූ සිංහල ක්‍රිස්තියානි කළුසුද්දන්, බෞද්ධ හර පද්ද්ධතිය අවුල්කර දමා විකාර රටක් බිහිකලේය. මේ වන විට ඇත්තේ කළුසුද්දන් විසින් පක්‍ෂ පාට මත කරගෙන යන බෙදා පාලනයය. පාලක නායකයෝ මළගෙවල් වලදී පමණක් නොව මඟුල් ගෙවල් වලදීත් පාටි දමද්දී, පාරේ අනුගාමිකයෝ පක්‍ෂ පාට වෙනුවෙන් මිනීමරා ගනිති. මීට වෙනස් වන්නේ උතුරේ ටී‌එන්‌ඒ හා මුස්ලිම් පක්‍ෂය. මොවුන් කල විනාශය විනාශ කිරීම පිටුපසින් සිටියේ, මේ යුද්ද්ධය නම් කවදාවත් දිනන්න බෑ යයි කියමින් කොළඹ සුදු නෙළුම් පෙරහැරවල් ගිය හා තොප්පිගල කියන්නේ කැලයක් යයි කී රනිල් වැනි අය දමණය කල, එක අතකින් දානය වළඳන ගමන් අනිත් අතින් තුවක්කුව අල්ලාගෙන යුද ගම්මානවල දුක්‌වින්ද හාමුදුරුවරුය. දුටුගැමුණු යුද්ධයේදීද හාමුදුරුවරු සිවුරු පන්සලේ තබා සටනට, ගොවිතැනට ගියේ එලෙසමය.

මැකෝ ඇතුළු ඉහත සඳහන් කල අයගේ අධ්‍යාපනය සඳහා ඉහත විස්තරය කෙටියෙන් ලියුවේ, නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් යන බයිලා බදාගෙන කලක සිටම ලංකාවේ යන සෙල්ලම ගැන ඔවුන්ගේ ඇස්පෑදීමටය. මෙය පරණ යටත් විජිතකාරයින් යූ‌එන්‌ඕ ජීනිවාකාරයින් විසින් ලංකාවේ ඩොලර් මුදලාලිලා හරහා, ඌරාගේ මාළු උගේ පිටේම කැපීම යන ස්ටැන්ලි තම්බයියා මූලිකව, ගණනාත් ඔබේසේකර, එ‌ච් ‌එ‌ල් සෙනෙවිරත්න යනාදීන් විසින් ලෝකයේ ප්‍රචලිත කල ව්‍යාපාරයකි. අවිහිංසා වාදය දෙසන ආගමක, බෞද්ධයින් මිනීමරන්නේ ඇයි යන්නට එක් හාමුදුරුනමක් දුන් උත්තරය නම්, අපිට වැරදුනේ මෛත්‍රී භාවනාව වැඩියෙන් වැඩූ නිසා යන්නය. ලෝකයේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි වාදය, ඉස්ලාම් ශාරියා වහබ් වාදය හා ඊළමක් සඳහා වන ගෝලීය ඊළම්වාදය ලංකාවේ දරුණු ලෙස ක්‍රියාත්මක වද්දී නවගුණවැල ගනිමින් ඉන්නැයි සිංහල බෞද්ධයින්ගෙන් හා හාමුදුරුවරුන්ගෙන් ඉල්ලීම අත්දෙක බැඳ වතුරට දැමීමක් නොවේද? ඉන්දියාවේ, ඇෆ්ඝනිස්ථානයේ, කොරියාවේ, මැලේසියාවේ, ඉන්දුනීෂියාවේ හා අරාබියේ පවා බුද්ද්ධාගම නැතිව ගියේ පරලොව ගැන හිතා මෙලොව අමතක කල නිසා නොවේද? මක්කම ගල යට තිබෙන්නේ සිරිපතුලක් යයි කියන්නේ සුනාපරන්තයට ගිය පුන්න තෙරුන්ගේ හා තපස්සු බල්ලික දෙබෑයින්ගේ විස්තර නිසාය.

එක කම්මුලකට ගැසුවොත් අනිත් කම්මුලත් දෙන්න යයි කිව්වේ හා කලේ ජේසුතුමා පමණය. නියඟකාලයේ වැරදීමෙන් කුස්සියේ ලිප්බොක්කට ගියා නාගයාට, ඒ ගැරඬියෙක් යයි සිතා ගහන්නට දරපොල්ලක් ගත් මැහැලියට නාගයා පෙණය පිපුවා මෙන්, ක්‍රියා නොකලොත්, බැරිම තැන බුදුහාමුදුරුවන්ම වැඩම කර රජු ලවා ජේතවනාරාමය අසල නිගන්ඨ මඩුව ඉවත් කරවා ගත්තා මෙන්, විග්නේශ්වරන්ලාගේ ඊළම් සටනේදී, ඉස්ලාම් ගර්‍භාෂ යුද්ධයේදී හා ඉවැන්ජලිකන් අන්‍යාගමීකරණයේදී කරණීය මෙත්ත සූත්‍රය හෝ ධම්මපදය පිලිසරණක් වන්නේ නැත. ඒවා බයිබලය හෝ කුරාණය මෙන් නොවීම නිසා අප නොමඟ යායුතු නැත. නාගයා ලකුණ දැන් බොදු බල සේනා පක්‍ෂයේ ලකුණය.

නීතිය ලියන්නේ හොරුන් නම්, එය පාස් කරන්නේ හොර ක්‍රමයට නම්, ඒවා ක්‍රියාවට නගන්නේ දූෂිත ලෙසට නම්, කොටින්ම කියනවා නම් හොර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ නීතිය කියන්නේ එක්තරා බලයේ සිටින පිරිසක් විසින් සෙසු බහුජනයා තමන්ගේ ග්‍රහණයේ තබා ගන්නා ආයුධයක්, උපක්‍රමයක් නම් නිතීයේ ආධිපත්‍යය කියන්නේ මායාවක් නොවේද? සෙසු සුළු ජනවර්‍ගවලට සාමයෙන්, නිදහසේ, ආත්ම ගරුත්‌වය ඇතිව ජීවත්‌වීමට ඉඩදීම සහතික කිරීම මිස නීතියේ ආධිපත්‍ය කතාව හරහා මේ රටේ පන්සල් හා හාමුදුරුවරු මේ රටේ මුරදේවතාවුන් වශයෙන් ඓතිහාසිකව කල සේවය බාල්දුකර ඔවුන් නිහඬ කිරීමට විකල්ප රැල්ල නොසිතිය යුතුය. නිර්‌මල සම්බුද්ධ ධර්‍මය, ථේරවාදී ත්‍රිපිටක ධර්‍මය ලන්ඩන්, නිව්‍යෝර්ක් පුස්තකාලවල සීඩී තැටි වශයෙන් තිබිය හැකිය. එහෙත් ලෝකයට ත්‍රිපිටක ධර්‍මය දුක් විඳිමින් රැක දුන්නේ ලංකාවේ පන්සලය. ධර්‍මය හා පිලිවෙත් සංස්කෘතිය යන දෙක ගහට පොත්තමෙන් බැඳී ඇත. තම කුඩා දරුවා මහණවීමට පෙර දෙමව්පියන්ට වඳී. මහණවූ වහාම දෙමව්පියන් පුතාට වඳී. මෙවැනි දෙයක් වෙන කිසිම ආගමක සිදු නොවේ. මේ නිසා සර්‍වාගමික පූට්ටුව යටතේ, ආගම කියවා මස් කපන (හලාල්) ලෙබ්බේත්, දෙවි කෙනෙක් මත රැඳෙන ක්‍රිස්තියානි පූජකයිනුත් සමඟ සහජීවනය කියා එක මේසයේ වාඩිවීමට හාමුදුරුකෙනෙකුට හැකිද? අන්තරේ පෙලපාලි ගොස් කදුළුගෑස් කමින් සිවුරු දියබත් කර ගෙන සිවුරට අපහාසය ගෙන දෙන තෙම්පරාද හාමුදුරුවරුන් මේ කාරිය සඳහා යැවිය යුතුය.

ඉන්ඩල්ජන්ස් යන සහතිකය පල්ලියෙන් මිලට ගෙන ස්වර්‌ගයට යාහැකි කාලයක් යුරෝපයේ තිබුණේය. දැන් ලංකාවේ සෝවාන් සහතික මිලට ගත හැකිය, රහත්‌වූ අය, බුදුවූ අය පවා සිටිත්. සිදුහත් කුමරු ඉපදුනේ හා බුදුවී වාසයකලේ ලංකාවේ යයි කියන පිරිසක්ද සිටිති. නිදහසින් පසු සිංහල බෞද්ධයින්ගේ දුක් ගැනවිලි විමසීමට පත්කල කොමිෂන් සභා වාර්තා හමස් පෙට්ටියේය. කරන ලද විසඳීම්, පිරිවෙන් දෙක සරසවි කිරීම, බුද්ධ ශාසන ඇමතිකෙනෙක් පත්කිරීම යන මේවා සාසනයට කල හානි බවට පෙරලී ඇත. මිසිස් බණ්ඩාරනායක ෆිලික්ස් හා කොල්වින් ලවාත් පසුව ජෙොර් ගෙනා 9 වෙනි වගන්තිය මඟිනුත් බුද්ධාගමට ලැබුණු විශේෂ කෙන්ගෙඩි තැනක් නැති අතර, ඒ නිසා ලෝකයේ ගෙනයන මතය නම් ලංකාවේ බුද්ධාගම රාජ්‍ය ආගමකර, සෙසු ආගමික ව්‍යාපාරවලට හානි කරණවා යන්නය. සංඝ සමාජය බලවත්සේ පිරිහී ඇත්තේ කොසොල් රජතුමාගේ සීන සැබෑ වෙනවා වගේය. සෑමදේම අනිත්‍යය, චක්‍රාකාරය කියා භාවනා කරන්නට යයි නීතියේ ආධිපත්‍යකාරයින් දෙන උපදෙස අනුව යා නොහැක්කේ මෙම ලෝකයේ බිලියන් 10 කට කිට්ටු ජනයා අතරින් සිංහල බෞද්ධයින් සිටින්නේ මිලියන 20 කටත් අඩුවෙන් මේ කුඩා දූපතේ පමණක් නිසාය.

මැකෝ විසින් දැන හෝ නොදැන පන්සල් වලට චක්‍රලේඛන නියෝග දීම ඔහු, තමා නෝත් ආණ්ඩුකාරයාගේ අවතාරය යයි සිතාගෙන කරණ ව්‍යායාමයකි. සෙසු ආගම්වල මෙන් මධ්‍යගත සංවිධාන ක්‍රමයක් පන්සල් සඳහා නැත. හැම ගමේ පන්සලකම නායක හිමියන් ස්වාධීන ස්වෛරී ඒකකයකි. බලය බෙදීමේ න්‍යාය යටතේ මොන්ටෙස්කි කිව්වේද මෙසේ බලය හැකිතරම් විසිරීගිය ඒකක විශාල සංඛාවකට යායුතු බවය. එක නිවේදනයකින් පල්ලි වලට නියෝගයක් දීමට කාදිනල්තුමාට හෝ ඉස්ලාම් පල්ලි සංවිධානවලට හැකිවුවත් මහානායක හිමිවරුන් රාශියේ කිසිවෙකුටත් එය කල නොහැකිය. කල හැක්කේ ස්වේච්චාවෙන් එකඟවන සේ ඉල්ලීමක් පමණය. කෙසේ වෙතත් ලංකාවේ බුද්ධාගම බේරාගත්තේ අස්ගිරි-මල්වතු මහානායක ආයතන දෙක නොව මුහුදුබඩ පන්සල් වල හාමුදුරුවරුන් විසින්‌ය. මෙවැනි පසුබිමක් යටතේ ආගමික ආයතන දේශපාලනයේ නොයෙදිය යුතුයයි නොබෝදා කාදිනල්තුමා කල ප්‍රකාශය, ලංකාවේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ පැවැත්ම හා නොගැලපේ. මැකෝගේ හා පරණ හා අළුත් විකල්ප දේශපාලකයින්ගේ මතවාද චන්ද දායකයින් විසින් ප්‍රතික්‍ෂේප කරණවා නිසැකය. ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් මහජනයා දැනුවත් කරමින් දරණ මහන්සිය, සුළු ජාතික චන්ද පෙරේත කමට හොරගල් අහුලමින් ඉන්නා දේශපාලකයින්ගේ බලවත් චිත්ත වික්‍ෂොපයට හේතුවනවා නිසැකය. උන්වහන්සේ රැක ගැනීම ජාතියේ යුතුකමය.

2002 චන්ද්‍රිකාගේ බෞද්ධ කොමිෂමේ නිර්දේශ අතර් අ මුස්ලිම් ශාරියා තර්‍ජනයද හඳුනාගෙන තිබුණේය. එහෙත් මේ කොම්ෂම් ඇස්බැන්‌දුම් පමණය. දැන් අළුතින් පාස්කු ප්‍රහාර පාර්ලිමේන්තු විමර්‍ශණ ජරමරයේ වාර්‌තාව, හකීම්ගේ සහරාන් සම්බන්‌ධය එලිවීමත් සමඟ නිරුව‌ත්‌ව ඇත. මෙම යහපාලන විගඩම බෞද්ධ අන්තවාදයක් ගැන ලියා ඇත. රනිල්ලා, මෛත්‍රීලා බේරා බොදු බල සේනාවටද ඇඟිල්ල දික්කිරීමට තැත්කර ඇත. අළුත්ගම හෝ වෙනත් ඕනෑම තැනක බොදු බල සේනාව මුස්ලිම් පල්ලවලට ගැසුවාද යන කාරණා සොයා බැලීම සඳහා පූර්‍ණ බලැති ජනාධිපති කොමිෂමක් පත්කරන ලෙස ඥානසාර හිමියන් කල අභියෝගය පාස්කු පාර්ලිමේන්තු පාසැල් ශිෂ්‍ය කමිටුව අමතක කර ඇත. ගෝඨාභය දිණූ පසු කල හැකි දෙයක් නම් 2002 කොමිෂන් වාර්‌තාව හම්ස් පෙට්ටියෙන් එලියට ගැනීමත්, බොදු බල සේනාවෙන් ඉල්ලන කොමිෂම පත්කිරීමත්‌ය.

Related posts

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමට ආණ්ඩුව පයින් ගහලා” – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරුන් 40ක්.. ඒකාබද්ධයට කැපිල්ලක්… බෙලිඅත්ත සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට

colombotoday

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

colombotoday

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday