ArticlesColombo Today Local News

ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව – කොඩිකාරගොඩ සුනීත හාමුදුරුවෝ

ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන හාමුදුරුවෝ ඒ කියන්නේ ලොව ප්‍රථම ප්‍රවෘත්ති කියන සහ කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන වෘත්තීය නිවේදක භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරන්නේ අපේ ශ්‍රීලංකාවේ ය. උන්වහන්සේ නමින් කොඩිකාරගොඩ සුනීත හිමි. උන්වහන්සේ ඉදිරිපත්කරන ලොව පුරා ජනප්‍රිය වැඩසටහනක් තමයි චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයෙන් විකාශය වන “සංසාරේ අපි ගී බණ ටීකාව” මේ නවම් පුර පසළොස්වක පොහොය දිනයට එම වැඩසටහනට වසර තුනක් සම්පූර්ණ වෙනවා. මේ සටහන ඒ වෙනුවෙන්.

අපි කැමති ඔබ වහන්සේගේ කුඩා කාලය සහ අධ්‍යාපන කටයුතු පිළිබඳව දැනගන්න.

මගේ ගම මොරවක කොඩිකාරගොඩ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ආසනයට අයිති ගමක්. ඉතාම සුන්දර ගැමි පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක් මම.රඹුකන කොඩිකාරගොඩ කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන වයස අවුරුදු දොළහේ දී පැවිදි වුණා. මේ අවුරුද්දේ ජනවාරි මාසේ 27 වැනි දිනට පැවිදිවෙලා වසර විසි පහක් සම්පූර්ණ වුණා.
පැවිදි වීමෙන් පසුව හොරවල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙනෙන් මුලික දහම් අධ්‍යාපනය ලැබුවා. ඊට පසුව පාදුක්ක ශ්‍රී විමලජෝති පිරිවෙන් අධ්‍යාපනය හදාරා පිරිවෙන් අවසාන විභාගය සමත් වී නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙන් උසස් පෙළ හදාරා අනතුරුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් පාලි විශේෂවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා.

එතකොට මාධ්‍යය කලාවට පිවිසුණේ කොහොමද..?

කුඩා කාලයේ සිටම තිබුණු ලොකු ආසාවක් තමයි මාධ්‍යයට එකතු වීම. ශ්‍රී ලංකා ගුවන් විදුලිසංස්ථාවේ “හඳමාමා” සාර ළමා සංග්‍රහය තමයි මගේ මාධ්‍ය ජීවිතයේ මහ ගෙදර. ළමා කාලයේ පුංචි කවි සිතුවම් වැඩසටහනට යොමු කළා. පැවිදි වුණාට පසුව තමයි හඳමාමා වැඩසටහනේ බණ කතා කියන්න සුමනා ජයතිලක නන්දා ළඟට වැඩම කළේ. ලැම්බට් පෙම්මාවඩු මමත් සුමනා ජයතිලක නැන්දත් අපිට අම්ම තාත්ත වගේ. සුභද්‍රාරාම විද්‍යායතනයේ උසස් පෙළ කරන කාලෙ තමයි පිරිවෙන් මාධ්‍ය ඒකකයේ තනියම ප්‍රවෘත්ති සංස්කරණය කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කළේ. එදා ගුරුවරු සහ යාලුවෝ කිව්වෙ මම උසස් පෙළට පස්සේ සිවුරු ඇරලා ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙයි කියලා. කොටින්ම මගේ ගුරු හාමුදුරුවෝ විලගම ජිනරතන ලොකු හාමුදුරුවෝ එහෙම තමයි හිතුවෙ. ලොකුහාමුදුරුවෝ දායක සභාවටත් කිව්වා සුනීත උන්නාන්සේ සිවුරු ඇරලා ගුවන්විදුලියට යන්න හදන්නේ කියලා. ප්‍රථම කටහඬ පරීක්ෂණයෙන් ද අහන්න ලැබුනේ සිවුරු ඇරියොත් නිවේදකයෙක් වෙන්න පුළුවන් කියලා. මට ඕන වුණේ චීවරයත් රැකගෙන සමාජයට හොඳ දෙයක් කරන්න. උසස් පෙළට පස්සේ ජනමාධ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. එතකොට තමයි ලොකු හාමුදුරුවෝ ඇහුවේ උන්නාන්සේ සිවුරු අරින්න ද හදන්නේ කියලා. විශේෂ වේදී උපාධිය අවසන් වූවාට පසු රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියට එකතු වුනා. පසුව බෞද්ධයා ගුවන්විදුලියේ වසර එකහමාරක් වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා. ඊට පස්සේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ රාජකාරී කළා.තාමත් හඳ මාමා ළමා වැඩසටහන්ට වඩිනවා වැඩිහිටියෙක් විදිහට ළමයින්ට උපදෙස් දෙන්න. අපි ඉතිං හඳ පැටව් නේ දැන් ලොකු උනාට.

භික්ෂුවකට සන්නිවේදනය නැත්නම් නිවේදක කලාව ගැලපෙනවද…?

ඔව් ලොව පහළවුණු විශිෂ්ටතම සන්නිවේදකයා තමයි ලොව්තුරා බුදු පියාණන් වහන්සේ. ඉතිං මම උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බුද්ධ පුත්‍රයෙක්.ඒ නිසා චීව‍යේ ගෞරවය රැකගෙන ලොවට යහපත් දේ ඉදිරිපත් කරන්න පුළුවන්.

කොහොමද චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය ට සම්බන්ධ වුණේ…?

චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයට එකතු වෙන්නේ ඇත්තටම ආරාධනාවක් මත.ඒ මගේ සහෝදර කසුන් සමරවීර මල්ලි නිසා. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ වැඩසටහන් අධ්‍යක්ෂක ජේෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් ගුරුතුමාගේ ආරාධනාවෙන් ඒ 2016 වසරේ ජනවාරි මාසයේ දී.

පළමු සාකච්ඡාවෙන් පසු වැඩසටහනට නම පවා මට කැමති විදියට යොදා ගන්න අවසර දුන්නා. ඉතිං මම සංසාරේ අපි ගී බණ ටීකාව කියලා නම යෙදුවා. දැන් ලොවපුරා සිංහල භාෂාව දන්න විවිධ ජාතික ශ්‍රාවක ශ්‍රාවිකාවන් අපේ වැඩසටහන අහනවා. හින්දි, සිංහල, චීන, ජපන් විතරක් නෙමෙයි ඒ ඒ රටවල රසිකයන්ගේ ප්‍රතිචාර අනුව විවිධ භාෂාවල බෞද්ධ ගීත අපි වැඩ සටහනට එකතු කර ගන්නවා.වැඩසටහන නිෂ්පාදන දායකත්වය ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක පියරත්න සොහොයුරාගෙන් තාක්ෂණික හැඩ වැඩ වැඩ සිදුකරන්නේ තරිඳු පෙරේරා සොහොයුරා. පෙබරවාරි මාසේ ඒ කියන්නේ නවම් පුර පසළොස්වක පොහොය දිනට අපේ වැඩසටහනට වසර තුනක් සම්පූර්ණ වෙනවා. අපි අපේ වැඩසටහනෙන් කතා කරන්නේ සමාජ යුතුකම් වගකීම් ගැන. සසර අපි තාම ගමන් කරන්නේ ඇයි..? ඒ ගමනේ දුක සැප ලාබ අලාබ යස අයස නින්දා ප්‍රශංසා සමව දරා ගන්නේ කොහොමද කියන එක ගැන කොටින්ම කිව්වොත් අටලෝ දහම ගැන. යුතුකම් සහ වගකීම් කතා කරලා වැඩක් නෑ ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒ නිසා අපි අපේ සංවත්සරය සමරන්නේ මව්පියන්ට උපස්ථාන කරලා.2019 පෙබරවාරි 16 වැනි දා සෙනසුරාදා අපි බත්තරමුල්ල කලු කපුගේ ලුවිස් පෙරේරා වැඩිහිටි නිවාසයේ අම්මලා තාත්තාලාට දානයක් දෙනවා. ඇඳුම් පැළඳුම් එක්ක. ඒ අය එක්ක එදාට සංසාරේ අපි ගී බණ ටීකා නවම් පොහෝ දින වැඩසටහන පටිගත කරනවා.

එතකොට කොහොමද ඔබවහන්සේ ප්‍රවෘත්ති නිවේදකයකු වුණේ…?

ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න තමයි මගේ පුංචි කාලෙ ඉඳලම ආසාව තිබුණේ. ඒත් අවස්ථාව ලැබුණේ නැහැ. මේක අහඹු සිදුවීමක්. දවසක් සංසාරේ අපි ගී බණ ටීකාව පටිගත කිරීමක් අතරතුර අපේ සංස්කරණ ශිල්පියා තරිඳු හවස ප්‍රවෘත්ති පිටපත් ටික මගේ අතට දීලා මැදිරියෙන් එළියට යනවා හදිසි වැඩකට. ඒ වෙලාවේ මම ආසාවට ප්‍රවෘත්ති ටික කියෙව්වා. මේක අහගෙන හිටපු අපේ නිෂ්පාදකතුමා හදිසියේ අතුරුදහන් වෙනවා. ටික වෙලාවකින් ඇවිත් කියනවා හාමුදුරුවන්ට ලොකු සර් හමුවෙන්න කිව්වා කියලා. මම සීලරත්න සර් ළඟට වැඩියම සර් ඈහුව හාමුදුරුවන්ට ප්‍රවෘත්ති කියන්න පුලුවන්ද..? කියල. මම ඔව් කිව්වා. එහෙනම් මේක කියවන්න කියල මගෙ අතට කොලයක් දුන්නා. එක පාරක් මම ඒක කියවපු ගමන් සර් පුටුවෙන් නැගිටලා ඔය තියෙන්නෙ නියම ප්‍රවෘත්ති කටහඬක් කියලා මට වැන්දා. හාමුදුරුවෝ හවස ප්‍රවෘත්තිය කියන්න කිව්වා. මට අදහගන්න බැරි වුණා. මම කිව්වා සර් එක පාරටම කියන්න බෑ මම රෑ ප්‍රවෘත්ති කියන්නම් කියල. සර් මට තව හඬවල් කිහිපයකින් ප්‍රවෘත්ති කියන්න පුළුවන් කියලා මම කිව්වා. හා හා කියන්න කියන්න සර් හරි උනන්දුවෙන් කිව්වා. මම බීබීසී ලෝක සේවයේ එල්මෝ ප්‍රනාන්දු මහත්තයා විදිහට ප්‍රවෘත්තියක් කියලා පෙන්නුවා. සර් සතුට වැඩි කමට සාදු සාදු කිව්වා.
මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිස්ස ජයවර්ධන මහත්තයා තමයි ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා කුඩා කල සිට අධ්‍යයනය කළේ. එතුමාගේ හඬ හරි ගැඹුරුයි පැහැදිලියි.
ඉතිං ඔහොම තමයි ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක ප්‍රවෘත්ති කියන ලොව ප්‍රථම භික්ෂුව උනේ. අපේ ප්‍රවෘත්තිවල මරණ දැන්වීම් ස්ත්‍රී දූෂණ වගේ දේවල් නෑ. ප්‍රවෘත්ති කියන්නේ රට වටේ මැරෙන මිනිස්සු ගැන කියන වැඩසටහනක් නෙමෙයි කියල තමයි අපි හිතන්නේ. අපි කියන්නේ ලෝකයේ සිදුවූ වැදගත් දේවල්. ඒ වගේම ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල්. ඒවා තමයි ප්‍රවෘත්ති කියන්නේ.

ඔබ වහන්සේ කවියෙකු, ගීත රචකයෙකු, ළමා නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස තමයි අපි පෙර හඳුනාගෙන හිටියේ. ඒ චරිත වලට මොකද වුනේ….?

ඒ චරිත මදක් පසු බැසල තමයි. ඒත් අවශ්‍ය වෙලාවට ඒ හැම චරිතයක්ම සක්‍රීයයි. ඊටත් වඩා භික්ෂු චරිතය ගැනත් හිතන්න ඕන. හැම චරිතයක්ම සමබරව පවත්වාගෙන යනවා. ලෝකෙට හොඳ දේ කරනවා වගේම මගේ ආධ්‍යාත්මික ජීවිතය ගැනත් හිතන්න ඕන නේ. සසර හරි දිගයි. ඒ ගැන අමතක වෙලා නෑ. සංසාරේ අපි ගී බණ ටීකාවෙන් අපි කතා කරන්නෙත් ඒ ගැන තමයි. එෆ් එම් 97.9 න් සහ www.crisrilanka.com වෙබ් අඩවියෙන් අපේ වැඩසටහන හැම පුරපසළොස්වක පෝය දිනකම සවස පහට අහන්න පුළුවන්.සංසාරේ අපි ගී බණ ටීකාව වැඩසටහන අපි යූ ටියුබ් වෙත ද යොමු කරනවා.

ඔබ වහන්සේට ස්තුති කරන්නත් අය ඇති..?

මේ දුර ගමන එන්න උදව් උපකාර කළ දෙමව්පියන් ඇතුළු සියලුම ගුරුවරුන්ටත් කල්‍යාණ මිතුරන්ටත් මාධ්‍ය ආයතනවල මිතුරන්ටත් ස්තූතිය පළ කරනවා..

Related posts

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

colombotoday

ඥාණසාර හිමියන්ට සිදුවු අසාධාරනය සම්බන්දව ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රකා ලක්ෂ 50ක් බෙදාදීම ඇරඹෙයි

colombotoday

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

ජනපති නිවස වට කල 54 ක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday