Colombo Today Local News

කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට මරණ තර්ජන

කතරගම කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කර වෙඩි ප්‍රහාර එල්ල කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියදීම කිරිවෙහෙර නාහිමියන්ට මරණීය තර්ජන එල්ල කර නිර්නාමික ලිපියක් යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ පරීක්‍ෂණ සිදු කරන බවත් කතරගම පොලිසිය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලය වෙත යවන ලද සැකකරුවන්ගේ අතුල් පතුල් හා ඇඟිලි සලකුණු වාර්තාවන් මෙන්ම රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවන ලද වෙඩි තැබීම සඳහා භාවිත කළේ යැයි කියන ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා බෝර 12 තුවක්කුව, එයින් නිකුත් වූ උණ්ඩ කොටස්, වෙඩි වදින අවස්ථාවේ නාහිමි ඇඳ සිටි සිවුර හා ලේ සාම්පල ආදියට අදාළ වාර්තාවක්ද ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවන් ඔස්සේ පරීක්‍ෂණ සිදු කරමින් තිබෙන බවත් කතරගම පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අදාළ සියලුම වාර්තා ලබාදෙන ලෙස ඉල්ලමින් ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලය සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පසු විපරම් ලිපි යවා තිබෙන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. 1996 අංක 22 දරන ගිනි අවි සංශෝධන පනතේ 44 (අ) සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ විධි විධාන පනතේ 300 වැනි වගන්තිය යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර ඇති බැවින් සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සිද්ධියට අදාළව කතරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 07 දෙනා 2019 පෙබරවාරි මස 13 වැනි දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් කාංචන මාලා සුසන්තා ගුණසේකර පෙරේරා මහත්මිය, පරීක්‍ෂණ අවසන් කර උද්ධෘත අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් පොලිසියේ භාරයට ගෙන තිබෙන නඩුවට අදාළ සියලු භාණ්ඩවල වාර්තාවන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කතරගම පොලිසියට දැනුම් දුන්නාය. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රංගිකා අමරවීර මහත්මිය, කතරගම පොලිසියේ සැරයන් මනිමෙල්දුර සමන් (28030), පොලිස් කොස්තාපල් අමරසිරි (3646) මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දීපිකා සමන්මලී මහත්මිය, තම සේවාදායකයන්ට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ අවසන් නොවීම ගැටලුවක් බව ප්‍රකාශ කළාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), එකම පවුලේ නිවුන් සොහොයුරන් දෙදෙනකු වන ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක (24), මාරපතිරගේ කවිශ්ක දිල්ෂාන් නොහොත් කුරුලු (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලී (18), දීපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාලහාමි යන සැකකරුවන්ය.

වෙඩි තැබීම සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු නාහිමියන්ගේ ආරක්‍ෂාවට යොදවා සිටි ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු විසින් තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයේදී මීට පෙර හඳුනා ගැනීමටද සමත් විය. කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමට ගිනි අවි අතැතිව පැමිණි බව කියන මාරපතිරගේ දිල්ෂාන් (18) නොහොත් කුරුලු නමැත්තා මෙසේ හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගනු ලැබුවේ කතරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් දිසානායක (73870) හා සිවිල් ආරක්‍ෂක කේ.ඒ. නිශාන්ත යන නිලධාරීන් විසිනි.

2018 ජුනි මස 12 වැනි දින රාත්‍රි 10.40ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුළු තවත් හිමිවරුන් කිහිප නමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වන්දනාමාන කර ආපසු සංඝා වාසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකදී විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරිවෙහෙර රජමහ විහාරය ඇතුළු පංචමහ විහාරයන්හි විහාරාධිපතිත්වය දරන රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ද මෙම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව බරපතළ තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කතරගම රෝහලට ඇතුළත් කරන ලද හිමිවරුන් දෙපළ වැඩිදුර ප්‍රතිකාර සඳහා තිස්සමහරාම හා හම්බන්තොට යන රෝහල්වලට මාරු කර යැවූ බවත් හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් ඊට පසු දින ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ බවත් කතරගම පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ සඳහන් වේ.

පළමු වැනි සැකකාර අසේල බණ්ඩාර නමැත්තා වසර ගණනාවක් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඔහු ඉන් ඉවත් කිරීමට කිරිවෙහෙර නාහිමියන් කටයුතු කිරීම නිසා රුපියල් ලක්‍ෂ 30ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත නායක හිමියන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහුගේ පාපෝච්චාරණවලින් හෙළිවන බවද කතරගම පොලිසිය තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීය.

ඔහු විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයන් දෙදෙනාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරීමේ චෝදනා මතත් සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කරමින් ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මතත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කතරගම පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කතරගම පොලිස් ස්ථානාධිපති අයි.කේ.එස්.යූ.කේ. ලියනගම මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මනිමෙල්දුර සමන් (28030) ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

Related posts

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

පොලිස් නිලධාරියාට පහර දුන් මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

colombotoday

රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නැහැ – චීන තානාපති කාර්යාලයෙන් පිණිවුඩයක්

Admin

RDA සේවිකාවට කාර්යාලයේදී පහර දුන් ඉංජිනේරුවා අත්අඩංගුවට

colombotoday

ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදයක්

Admin