Colombo Today Local News

කවුද මේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා… බුද්ධි අංශවල පුටු පෙරළියේ සැබෑ කතාව..!

buddi2

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික කතක් වන ගානියා බැනිස්ටර් සම්බන්ධ සිද්ධිය සහ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී අදාළ චෝදනා සඳහා වරදකරු යයි තීන්දු කෙරුණ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ලබා දුන් තීන්දුවත් සමග ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන වැදගත් සිදුවීම් දෙකක් පසුගිය සතියේ වාර්තා විය. මෙම සිද්ධි දෙක පමණක් රැගෙන බලන විට පෙනී යන්නේ, වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මුහුණ දෙන අභියෝගය කොතෙක් ද යන්නයි.
 

buddi6


 කමල්ගේ දැක්ම
 
 නව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග සිදු කරන ලද සාකච්ඡාවකදී පවසා සිටියේ ”අපේ බුද්ධි අංශ ලෝකයේ තිබූ විශිෂ්ට බුද්ධි බළකායක්, මම අපේ බුද්ධි අංශ නගා සිටුවීම සඳහා ගුරුකොට ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා එදා බුද්ධි අංශ නගා සිටුවූ ආකාරයයි. මම සතියට එක් දිනක් සියලූ බුද්ධි අංශ මුණ ගැසෙනවා. එක කුඩයක් යටතේ මෙම බුද්ධි අංශ පවත්වාගෙන යෑම තමයි මගේ අරමුණ. පසුගිය රජය රහස් පොලිසියේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකු උසි ගන්වලා දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව හමුදා බුද්ධි අංශය මුළුමනින්ම කඩාකප්පල් කළා. අපේ හමුදා බුද්ධි අංශය කියන්නේ අතිශය දක්ෂ, සම්පත් බහුල, අත්දැකීම් ඇති අංශයක්. එහෙම හමුදා බුද්ධි අංශයක් තියෙන හමුදාපතිවරයා පාස්කු සිදුවීමෙන් පස්සේ, නින්දෙන් ඇහැරිලා වගේ එළියට බැහැලා මොකද කිව්වේ ”අපිට පොලිසියෙන් මේ ගැන දැනුවත් කළේ නැහැ” කිව්වා. මම ඒ ප‍්‍රකාශය ගැන අදත් ලජ්ජා වෙනවා. අපි අවුරුදු ගාණක් යුද්ධය කළේ හමුදා බුද්ධි අංශයේ උපදෙස් අනුව. ඊට පස්සේ ඒ හමුදාපතිතුමා පාර්ලිමේන්තුවේ කමිටුව හමුවේ කිව්වේ ”මම මේ ගැන දැන ගත්තේ අන්තර්ජාලයෙන්” කියලා. සුදුසු නිලධාරීන් ඒ තැනට පත් කරලා, දේශපාලන පළිගැනීම් පසුපස නොගිය පිරිස ඒ සඳහා පත් කරනවා. සියලූ බුද්ධි අංශ සම්බන්ධීකරණය කරලා, ඒ අයගේ සේවය අගය කරලා, එම අංශ සඳහා යළිත් ඔක්සිජන් ලබාදීමයි මගේ කාර්යභාරය.” යනුවෙනි. ගජබා බලඇණියේම සෙන්පතියෙකු වූ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුදබිමේ සටන් සගයෙකු වූ ආරක්ෂක ලේකම්වරයාගේ මුසුවීම හේතුවෙන් ආරක්ෂක අංශ අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගෙමින් පවතී.
 
 නව බලඇණියේ මෙහෙයුම
 
 මෙම සියලූ තත්ත්වයන් තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප‍්‍රධාන තනතුරු ගණනාවක් පසුගිය සති කිහිපය පුරා වෙනස් වී ගියේය. නව ජනාධිපතිවරයා ආරක්ෂක අංශය කෙරෙහි අතිශය අත්දැකීම් ඇති පුද්ගලයෙකු හෙයින් ඔහු විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන වැදගත් ස්ථාන සඳහා දක්ෂ පුද්ගලයන් කිහිප දෙනෙකු ගෙවී ගිය දින කිහිපයේදී නම් කළේය. ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත් කිරීම, ඇල්මැරුණු ජාතික ආරක්ෂාව සඳහා නව පණක් ලබාදීමක් ලෙස හැඳින්විය හැකිය. ඔහු ජයග‍්‍රාහී සෙන්පතියෙකු වනවාට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන විශ්ලේෂකයෙකු ලෙස ද පසුගිය කාලයේ ක‍්‍රියාත්මක විය. මේ නිසා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ලැබුණු තනතුර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ජනතාවට ලැබුණු සහතිකයක් ලෙස ගත හැකිය.
 
 ජාතික බුද්ධි අංශය
 
ඇමරිකාවේ පවතින ජාතික බුද්ධි අංශය මෙන් ශ‍්‍රී ලංකාවේ ද සියලූ බුද්ධි සේවාවන්ට ඉහළින් සිටින්නේ, ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා ය. ආරක්ෂක ලේකම් තනතුරේ ගෝඨාභය රාජපක්ෂ මහතා සේවය කරන සමයේ, ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා සුවිශාල කාර්යය භාරයක් ඉටු කළේය. විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ, එකල ජාතික බුද්ධි සේවා ප‍්‍රධානියා විය. මෙම තනතුර ඇමරිකාවේදී, කැබිනට් අමාත්‍ය මට්ටමේ තනතුරකි. එසේම ඔහු ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙක් වන තරමේ බලයක් සහිත චරිතයකි. සියලූ බුද්ධි සේවාවන් අතර සම්බන්ධීකරණය සිදුවන්නේ ද, ජාතික බුද්ධි සේවා ප‍්‍රධානියා යටතේය. ප‍්‍රභාකරන් ඇතුළු නඩය පරාජය කිරීමේ මහා සටනේදී ජාතික බුද්ධි ප‍්‍රධානි, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් හෙන්දවිතාරණ විසින් සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට කළේය. මේ නිසා ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍රීය වගකීමක් දරන ස්ථානයක් බවට පත්ව තිබුණි.
 
 යහපාලනයෙන් හමුදාවට කැපිලි
 
 යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව, කපිල හෙන්දවිතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නේ, නව ආණ්ඩුවට විශ්වාසදායි චරිතයක් එම තනතුර සඳහා පත් කර ගැනීමට ඉඩ ලබාදීම සඳහාය.
 
 යහපාලන රජය විසින් යුද හමුදාව ප‍්‍රධාන ආරක්ෂක හමුදා තබාගෙන සිටියේ අතේ දුරිනි. ඔවුහු විශ්වාසය තබන ලද්දේ, පොලිසිය කෙරෙහිය. මේ සඳහා බලපෑ තිබුණු ප‍්‍රධාන හේතුව වන්නේ, යහපාලනය බලයට ගෙන එම සඳහා බෙදුම්වාදය විසි කරන ලද සේවය ය. යහපාලනය සඳහා එල්ටීටීඊ ඩයස්පෝරාවේ සිට සියලූ බෙදුම්වාදීන්ගේ සහාය ලැබුණි. මෙම බෙදුම්වාදීන් විසින්, හලා හල විෂක් සේ දුටුවේ, එල්ටීටීඊය පරාජය කරන ලද ආරක්ෂක හමුදා ය. විශේෂයෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව ය. යුද්ධය දිනා දුන් රණවිරුවන්ගෙන් පළිගැනීම සඳහා මෙම බෙදුම්වාදී බලවේග වෙත ආණ්ඩු මාරුවක් අවශ්‍ය වී තිබුණි. එම මාරුව සිදු වූ පසු, ත‍්‍රිවිධ හමුදාව, රාජ්‍යයෙන් හැකිතාක් ඈත් කර තබන තැනකට යහපාලන ආණ්ඩුව තල්ලූ වී ගියේය. නැතිනම් එහි න්‍යායාචාර්යවරුන් විසින් පත් කරන ලද්දේය. එතෙක් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ යුද හමුදාව වෙනුවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ගනිමින් ආරම්භ වූ යුද හමුදාව ප‍්‍රධාන ත‍්‍රිවිධ හමුදාව කොන් කිරීමේ යහපාලන ව්‍යායාමය, අවසානයේ නතර වූයේ, රණවිරු දඩයම ඔස්සේ, යුද්ධය දිනා දුන් වීරයන් සිරගත කරන තැන දක්වා පත් වෙමිනි. මේ හේතුව නිසාම ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ද හමුදා නිලධාරියෙක් පත්කරනවා වෙනුවට විශ‍්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් පත් කරන්නට යහපාලන ආණ්ඩුව තීරණය කළේය.
 
 සිසිර මෙන්ඩිස් කරළියට එයි
 
ලෝකයේ බලගතුම ත‍්‍රස්ත සංවිධානය වූ එල්ටීටීඊය සතුව තිබුණේ, ජාත්‍යන්තර බුද්ධි ජාලයකි. පොට්ටුඅම්මාන්, කුමාර් පද්මනාදන් වැනි චරිත පරදා, බුද්ධි මෙහෙයුම් දියත් කරන ලද ත‍්‍රිවිධ හමුදා බුද්ධි නිලධාරීන් සිටියදී, විශ‍්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් වැනි චරිතයක් ජාතික බුද්ධි ප‍්‍රධානියා බවට පත් කර ගන්නා තත්ත්වයට යහපාලනය පත්වූයේ, එහි ප‍්‍රධාන තීරකයන් වූ විජාතික බලවේග විසින් හමුදා කොන් කර දැමීම සඳහා සකසන ලද යාන්ත‍්‍රණය අනුව බව සිතිය හැකිය. සිසිර මෙන්ඩිස් සහ කපිල හෙන්දවිතාරණ අතර සැසඳීමකින් බුද්ධි ප‍්‍රධානි තනතුර සඳහා නම් විය යුත්තේ කෙබඳු චරිතයක් ද යන්න තෝරා ගත හැකිය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත් කර තිබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස්ගෙන් ප‍්‍රශ්න කරමින්, උග‍්‍ර රාජපක්ෂ විරෝධියකු වූ සරත් ෆොන්සේකා කරන ලද ප‍්‍රකාශය මෙම සැසඳීම සඳහා ප‍්‍රමාණවත්ය.
 
 ජාතික බුද්ධි ප‍්‍රධානී –
 මං හැමදේම දැනත් හිටියත් මට කිසිදු පරීක්ෂණයක් කරන්න බලයක් තිබ්බේ නෑ.”
 
 සරත් ෆොන්සේකා –
 
 “ඇයි බලයක් නැත්තේ, හෙන්දවිතාරණ ඉන්න කාලේ ඔහු ඒක කළා.”
 
 ජාතික බුද්ධි ප‍්‍රධානී-
 
 “ඔහුට ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා ඉන්න කාලේ බලය තිබ්බා, ඔහුට හොඳ ස්ටෙ‍්‍රන්ත් එකක් තිබ්බා වැඩ කරන්න, මොනවා උනත් ඒක කියන්න ඕනේ.”
 
 මෙයින් පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව විසින් පත් කර තිබූ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර තිබූ අන්තර් සම්බන්ධය සහ එම රජය විසින් ආරක්ෂාව උදෙසා ගෙන ගිය උදාසීන ප‍්‍රතිපත්තිය ය.
 
 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ප‍්‍රශ්න කිරීමට ලක්ව දින කිහිපයකින් පසු, සෞඛ්‍ය හේතු මත බව සඳහන් කරමින් සිසිර මෙන්ඩිස් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ සඳහා සැබෑ හේතුව වූයේ සිසිර මෙන්ඩිස් වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගය බව පසුව ආරංචි විය. පසුව එම තනතුර සඳහා පත් වූයේ මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංගය. ආණ්ඩු වෙනසත් සමග රුවන් කුලතුංග වෙත ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ ධුරය හිමි වූ අතර ජාතික බුද්ධි ප‍්‍රධානී තනතුර සඳහා මේජර් ජෙනරාල් ජගත් අල්විස් පත්විය.
 
 කවුද මේ ජගත් අල්විස්…?
 
1981 ඔක්තෝබර් 16 වෙනි දින බඳවා ගැනීම් 16 යටතේ ශ‍්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු ජගත් අල්විස්, දෙවන ලූතිනන්වරයකු ලෙස රජරට රයිෆල් රෙජිමේන්තුව වෙත බඳවා ගන්නා ලද්දේය. මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ අනගි නිපැයුමක් වූ ගජබා රෙජිමේන්තු බවට රජරට රයිෆල් පත්වීමෙන් පසුව ජගත් අල්විස් ද ගජබා බල ඇණියට එක්විය.
 
 සිය හමුදා ජීවිතය ආරම්භ කරමින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සමග නැදුන්කර්නි ප‍්‍රදේශයේ මෙහෙයුම් සඳහා සහභාගි වූ ජගත් අල්විස්ගේ සමකාලීන සටන් සගයන් වූයේ රොෂාන් සිල්වා, ප‍්‍රසන්න වික‍්‍රමසූරිය වැනි චරිතයන්ය. විශ්වමඩු සඳහා මෙහෙයුමක් දියත් කරන අතරේ ත‍්‍රස්තවාදීන් වෙතින් එල්ල වූ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් ජගත් අල්විස්ගේ පාදයේ යටි පතුල සුව කළ නොහැකි ආබාධයකට ගොදුරු විය. පසුව ඉරට්ටපෙරියකුලම්හි 3 වෙනි ගජබා බලඇණියේ සේවය කරන ලද අල්විස් තමන් වර්තමානයේ දරන බුද්ධි අංශ පුහුණුව සදහා පළමු පාඨමාලාව හදාරන්නේය. බි‍්‍රතාන්‍යයේ එම්.අයි.- 5 බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද එම බුද්ධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු ජගත් අල්විස් යුද හමුදා බුද්ධි අංශයේ වසර හතක කාලයක් සේවය කළේය.
 
 ආරම්භක බුද්ධි අංශ සාමාජිකයෙක්… 

buddi4

කර්නල් ලයනල් බලගල්ල විසින් යුද හමුදාව සඳහා වෙනම ඒකකයක් ලෙස බුද්ධි අංශ ආරම්භ කරන විට එහි පළමු විධායක අධිකාරි තනතුර හොබවන ලද්දේ ජගත් අල්විස් ය. ඉන් පසුව මහඔය වැනි සටන් බිම්වල සේවයේ යෙදුනු අල්විස්, ගුවන් සංක‍්‍රමණික බළකායට පිවිස එහි එක් අංශයක් භාරව ක‍්‍රියා කළේය. සුමේධ පෙරේරා, සරත් පෙරේරා වැනි නිලධාරීන් සමග උරෙන් උර ගැටී නායකත්වය ලබාදෙමින් නැගෙනහිර පළාතේ මෙහෙයුම් දියත් කළේය. ඔපරේෂන් තන්ඩර් – 5 මෙහෙයුමට නායකයෙකු ලෙස සහභාගි වෙමින් යාපන අර්ධද්වීපයේ හමුදා වපසරිය පුළුල් කර ගැනීම සඳහා ද පසුව අරාලි වැනි ප‍්‍රදේශ මුදාගැනීම සඳහා ද ජගත් අල්විස් සහභාගි විය. රිවිරැස මෙහෙයුමේදී නල්ලූර් හි කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඉදිකර තිබූ මායිම් සුන් කරමින් ඉදිරියට යෑම සඳහා ප‍්‍රමුඛ දායකත්වයක් දෙනු ලැබුවේ ජගත් අල්විස් ය. එසේම එම මෙහෙයුමේදී යාපනය කොටුව සඳහා ප‍්‍රථමයෙන් ප‍්‍රවිෂ්ඨ වූයේ ජගත් අල්විස් ඇතුළු කණ්ඩායමය. රිවිරැස මෙහෙයුමේදී කිලිනොච්චි දක්වා පැමිණෙන තෙක් සටන් කරන ලද අල්විස් පසුව යුද හමුදා මූලස්ථානයට පත්වීමක් ලැබීය.
 
 පසුව බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ සේවය කරන ලද ජගත් අල්විස්, ගජබා බලඇණියේ සේනා විධායක ලෙස පත්විය. ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය ආරම්භ කරන ලද්දේ මෙම කාලයේදීය.
 
 ඇමෙරිකාවෙන් යාපනයට…
 
 ඇමරිකාවේ ෆෝට්බෙනින්හි පාබල පාඨමාලාවක් හදාරන ජගත් අල්විස් එම පාඨමාලාව නිමවා දිනක් දෙකක් ඇතුළත යළිත් සංග‍්‍රාම භූමියට පිවිසෙන්නේ, මාන්කුලම්, අලිමංකඩ හමුදා බලය කඩා වැටෙමින් තිබෙන අවස්ථාවකදීය. සරත් ෆොන්සේකා යටතේ යාපනය අර්ධද්වීපයට පිවිසි ජගත් අල්විස් වෙත හිමි වූයේ ත‍්‍රස්තවාදීන්ගෙන් අධික තර්ජනයට ලක්වූ ස්ථාන ආරක්ෂා කර ගැනීමය. නාගර්කෝවිල්, සරසාලේ වැනි එම මර්මස්ථාන රැක ගනිමින් සිටින විට, මේජර් ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර විසින් ජගත් අල්විස් වෙත පවරන ලද්දේ දින හයක් ඇතුළත චාවාකච්චේරි ප‍්‍රදේශය අත්පත් කර ගන්නා ලෙසය, රැල්ෆ් නුගේරා, ශාන්ත දිසානායක වැනි යුද හමුදාවේ සුරු විරු චරිත සමග එම ඉලක්කය වෙත ජගත් අල්විස් පිවිසුණේ පැයක් සහ විනාඩි දහයක් ඇතුළත ය. සුමේධ පෙරේරා, ප‍්‍රසන්න වික‍්‍රමසූරිය වැනි හමුදා නිලධාරීන් සමග ලබා ගත් එම ජයග‍්‍රහණය හමුදාවේ වැටී තිබූ මානසිකත්වය නඟා සිටුවන්නට සමත් විය.
 
 ඒ අතර එල්ටීටීඊ ත‍්‍රස්තයන් විසින් නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ල කඩා හමුදාවට ප‍්‍රහාරයක් එල්ල කරන්නට පැමිණි අවස්ථාවේදී එම ප‍්‍රහාර සඳහා සාර්ථක ලෙස ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර එල්ටීටීඊ බල බිඳ දමන්නට ජගත් අල්විස් පෙරමුණ ගත්තේය.
 
 මහින්දගේ ආරක්‍ෂාව භාරගනියි…
 
 පසුව මාදුරුඔය, බටලන්ද යන යුද හමුදා පුහුණු අංශයන්හි සේවයේ නිරතව සිටි ජගත් අල්විස් 2005 වසරේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව පත්විය. අග‍්‍රාමාත්‍ය කාලයේ සිට ජනාධිපති කාලය දක්වාම මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටි ජගත් අල්විස්, එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ප‍්‍රධාන සතුරු බලඇණි
 
 ගණනාවකගේ ඉලක්කය වූ ජනාධිපතිවරයා ආරක්ෂා කර ගනිමින් අගනුවර සංග‍්‍රාම භුමිය තුළ බුද්ධි සහ සන්නද්ධ ආරක්ෂක බලය දියත් කළේය.
 
 කැබිතිගොල්ලෑව, වාකරේ, කිලිනොච්චි ආදී ස්ථාන සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිස්සි තීන්දු ගනිමින් පිවිසෙන විට ඔහු වෙත අභියෝගාත්මක ආකාරයෙන් ආරක්ෂාව සැලසීමට සිදුවූයේ ජගත් අල්විස් වෙතය.
 
 ඊශ‍්‍රායලයට සහ යාපනයට
 
 2010 වසරේදී චීනයේ හමුදා පාඨමාලාවක් සඳහා සහභාගි වූ ජගත් අල්විස් ඉන් අනතුරුව කිලිනොච්චි ආඥාපති ලෙස ද ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙස යුද හමුදා මූලස්ථානයේ ද කටයුතු කළේය. එසේම සන්නද්ධ බුද්ධි බළකා, විශේෂ බළකාය වැනි බලඝන හි තනතුරු දරන ලද ඔහු පසුව ඊශ‍්‍රායලයේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කළේය. 2015 වසරේදී විශේෂ බළකායේ අණදෙන නිලධාරී සහ යාපනයේ ආඥාපති ලෙස සේවය කරන ලද පසුව යහපාලන රජය යටතේ හමුදා මූලස්ථානයට සහ දියතලාව යුද හමුදා පුහුණු පාසලට පත්වීම් ලැබ යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගියේය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව මේජර් ජෙනරාල් ජගත් අල්විස් වෙත රටේ ප‍්‍රධාන බුද්ධි නිලධාරියාගේ ආසනය හිමිවිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන මේජර් ජෙනරාල් අල්විස්, යුද හමුදාවේ කීර්තිධර නිලධාරියෙකු සහ වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ පාසල් සගයෙකු සහ හමුදා සගයෙකු වීම හේතුවෙන් ඔවුනොවුන් අතර අන්තර් සම්බන්ධය ඉහළ වීමද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් ඇති කරන බව කිව හැකිය.
 
 සලේටත් ලොකු පුටුවක්…
 
 එසේම මෙතෙක් පොලිස් නිලධාරියෙකු යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවය සඳහා බි‍්‍රගේඩියර් සුරේෂ් සලේ පත් කිරීම ද පසුගිය සතියේ සිදුවිය. නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන දරන ලද එම තනතුර සඳහා බුද්ධි සේවා පිළිබඳව හසල අත්දැකීම් සහ උගත්භාවයක් සහිත බි‍්‍රගේඩියර් සලේ පත්වීම ද ජාතික ආරක්ෂාව දේශයේ න්‍යාය පත‍්‍රයේ මුදුනතේ තිබෙන බවට ලැබුණු අනගි සලකුණක් විය. යහපාලන ආණ්ඩුව විසින් කොන් කර දමා සිටි බි‍්‍රගේඩියර් සලේ, පසුව මැලේසියාවේ බුද්ධි පුහුණුව සඳහා පිවිසුණු අතර එම පාඨමාලාව නිමාවනවාත් සමග ඔහු වෙත නව වගකීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන්නේය. මෙම සියලූ පත් කිරීම් දෙස බලන විට පෙනී යන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක, බුද්ධි අංශය සඳහා විශිෂ්ට ප‍්‍රවිෂ්ඨයක් දැන් ලැබී තිබෙන බවය.
 
 ධම්මික යයි – නන්දන එයි
 
 හමුදා අංශ තුළ මෙන්ම ඉන් බාහිරව හමුදා සේවා ආයතන සඳහා නව රජය විසින් නව පත් කිරීම් සිදු කරමින් පවතියි. රණවිරු සේවා අධිකාරියේ නව සභාපති ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර පසුගියදා පත් කළේය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විශ‍්‍රාම යෑමට දින කිහිපයකට පෙර තමන්ගේ ආරක්ෂාව භාරව සිටි විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ මෙම තනතුර සඳහා පත් කළ අතර, නව රජය විසින් මේජර් ජෙනරල් නන්දන සේනාධීර, නව සභාපති ලෙස පත් කිරීමත් සමග ජම්මික ලියනගේ හට දින කිහිපයක් සභාපති තනතුර දරා, රණවිරු සේවා අධිකාරියෙන් නික්ම යෑමට සිදුවිය.
 
 මාධ්‍ය ප‍්‍රකාශක චන්දන
 
 යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තනතුර ඇතුළු යුද හමුදාවේ තනතුරු රාශියක් පසුගිය දින කිහිපයේදී වෙනස් විය. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ පත් කර තිබේ. නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලබන 17 වැනි දා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය. 2017 වසරේ දෙසැම්බර් සිට මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු, යුද හමුදා මූලස්ථානයට මාරුකිරීමට යුද ලේකම්වරයා කටයුතු යොදා තිබුණි. නව රජය විසින් සියලූ හමුදා ඒකාබද්ධ කරමින් මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධව ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නව හමුදා ප‍්‍රකාශකවරයා වෙත ඉදිරියේදී තවත් වගකීම් හිමිවනු ඇති බවට අනාවැකි පළ කළ හැකිය.
 
 හමුදාවේ තනතුරු වෙනසක්…
 
 නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ‍්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් ප‍්‍රසන්න චන්ද්‍රසේකර පසුගිය සඳුදා රාජකාරි ආරම්භ කළේය. මීට ප‍්‍රථම, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් ප‍්‍රධාන ක්ෂේත‍්‍ර ඉංජිනේරු ලෙස නව ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර එම ධුරයට පත්විය. නව ධුරයේ රාජකාරී භාරගැනීමට ප‍්‍රථම මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර යුද්ධ හමුදා ඉඩම්, දේපළ හා භටනිවාස අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළහ.
 
 තීන්දුවට පසු ප‍්‍රියංකට උසස්වීමක්…

buddi3

මේජර් ජෙනරාල් චන්ද්‍රසේකර නව තනතුර භාර ගැනීම හේතුවෙන් ඔහු විසින් මීට ප‍්‍රථම දරන ලද ඉඩම්, දේපළ හා භටනිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ගැමුණු හේවා බලකායේ
 
 බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු වැඩ භාර ගන්නා ලදී. බි‍්‍රතාන්‍ය අධිකරණයෙන් ලැබුණු තීන්දුවත් සමග බි‍්‍රගේඩියර්වරයා වෙත මෙම තනතුර හිමිවීම විශේෂත්වයකි. මෙම නව පත්වීමට ප‍්‍රථම බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාංකාධිපති ලෙස සේවය කළේය.
 
 නාවික හමුදාවට හැට නවයයි

buddi5

යුද හමුදාවේ තනතුරු මාරු අතරේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා සිය හැට නවවෙනි සංවත්සරය සමරනු ලැබීය. ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග‍්‍රහණය කරන ලදී. ලංකාව, බි‍්‍රතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 දෙසැම්බර් මස 09 වන දින ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර, මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ‍්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ‍්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය. සීමිත නැව් මුළුවක් සහ යාත‍්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ‍්‍රී ලංකා නාවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප‍්‍රමාණයකින් සමන්විතව අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා මෙන්ම අධිතාක්ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණවලින් සමන්විතව තිබේ.
  

Related posts

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක්

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

තිරසර සංවර්ධනයක් කරා රට මෙහෙයවීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අවශ්‍යයි – ජනපති

Admin

සෝභිත හිමියන්ගේ දේපළ අයිති කරගැනීමට පිරිසක් කුමන්ත්‍රණය කරනවා – නාග විහාරයේ ගැටළුව ගැන සිරි සුජාත හිමියන් කරුණු පහදයි

colombotoday

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday