Colombo Today Local News

ජනපති ඝාතනය වුණොත් වාසයි එජාපයටයි… අගමැති රනිල් ‘වැඩ බලන ජනපති‘ වීමේ සිහිනයකට…

28%ක ජන බලයක් පමණක් ඇති ආණ්ඩුවේ එජාප පාර්ශ්වය, බරපතළ චෝදනා එල්ල වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දර තවදුරටත් පුටුවේ තබා ගැනීමට සියලු උත්සාහයන් දරන්නේ ‘2019 පවත්වනු ලබන ජාතික මැතිවරණයක දී ඔහුගේ සහායෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජය ගැනීමට ද?’ යන බලවත් සැකය මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“බරපතළ අපරාධ සැලසුමක්, එනම් රටේ රාජ්‍ය නායකයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනයට සකස් කළ සැලසුමක් නාමල් කුමාර නැමැත්තකු විසින් හෙළිදරව්කර සති 02ක් ඉක්ම ගොස් තිබෙනවා. මෙම ඝාතන සැලැස්ම සැකසූ බව පැවසෙන ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, නාමල් කුමාරගේ චෝදනා ප්‍රතික්ෂේප කළා. නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පිළිගනු ලැබුවා, නාමල් කුමාර කියන්නේ ප්‍රබල පොලිස් ඔත්තුකරුවකු බව. ඒ නිසා නාමල් කුමාර පැවසූ කරුණු සුළු කොට තකන්න කිසිසේත්ම බැහැ.

‘සාධාරණ පරීක්‍ෂණයකට ඉඩ නැහැ’

නමුත් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය සහ පොලිස්පතිවරයා මේ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් සඳහා තිබෙන ඉඩකඩ සෑම අතකින්ම අහුරමින් සිටින බව පෙනෙනවා. අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පැවැත්විය යුතු බරපතළ චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අඩුම තරමින් අනිවාර්ය නිවාඩු යැවීමටවත් පොලිස්පතිවරයා කටයුතු කළේ නැහැ. මුලින් සිදු කළේ මේ පරීක්‍ෂණවලට ඉතා වැදගත්, පොලිස් තොරතුරු තාක්‍ෂණ අංශයට නාලක ද සිල්වා, ප්‍රධානියා ලෙස පත් කිරීම. පසුව ඒකාබද්ධ විපක්‍ෂයෙන් සහ ජනතාවගෙන් එල්ල වූ බලපෑම් මතයි ඔහුව අනිවාර්ය නිවාඩු යැව්වේ. මේ බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පසුව නාලක ද සිල්වා, පොලිස්පතිවරයා සමඟ කැලණිය රජ මහා විහාරයේ බෝධි පූජා පිංකමක් පැවැත් වූ බව මාධ්‍ය මගින් අනාවරණය කළා. ඒ විතරක් නොවෙයි, නාමල් කුමාර නැමැත්තා අනාවරණය කර තිබුණා ‘මාව නාලක ද සිල්වා මහතා වෙත යැව්වේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතායි’ කියා. මේ අනුව පෙනෙනවා පොලිස්පතිවරයා නාලක ද සිලවා රකින හැටි. ඉතිං පොලීසිය පැත්තෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදු වීම බලාපොරොත්තු වෙන්න බැහැ.

‘පොලිස්පති රකින එජාප නායක රංචුව’

අනෙක් පැත්තෙන් පොලිස්පතිවරයාව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය විසින් රකින හැටි බලන්න. නීතිය හා සාමය භාර ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා පොලිස්පතිවරයාට පාර්ලිමේන්තුවේ දී පවා චරිත සහතික දුන්නා. එජාප සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පසුගිය දිනවල පැවැති මාධ්‍ය හමුවල දී පොලිස්පතිවරයා සහ නාලක ද සිල්වා රකින ප්‍රකාශ තමයි නිකුත් වුණේ. ‘පොලිස්පතිවරයාට සති දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස අගමැති – ජනපති කියයි’ යනුවෙන් පළ වූ ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍ය ඒකකය මෙතෙක් ප්‍රතික්ෂේප කර නැහැ. නමුත් මෙම මාධ්‍ය වාර්තාව පළ වී පැය කිහිපයක් ඇතුළත අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ‘අගමැතිවරයා එසේ ඉල්ලා නොමැත’ කියා නිවේදනයක් නිකුත් කළා. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ එජාප පාර්ශ්වය පොලිස්පතිවරයා සහ නාලක ද සිල්වා රකිමින් මේ ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත යට ගැසීමට කටයුතු කරන බවයි.

‘වැඩ බලන ජනපති වීමේ සිහිනයක් ද?’

නාලක ද සිල්වා පවසා තිබෙන්නේ ‘අපි අගමැති පුම්බන්න ඕනි’ කියලයි. ජනාධිපති ඝාතනයකින් පසුව රටේ වැඩ බලන ජනාධිපති වන්නේ කවුද? අගමැතිවරයා. සැඟවුණු න්‍යාය පත්‍රයක් නැතිනම් මේ ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත පිළිබඳ පරීක්ෂණ අඩාල කිරීමට එජාපයට උවමනාවක් නැහැ. 2019 කියන්නේ ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත වර්ෂයක්. මේ ආණ්ඩුවට කිසිඳු ජන බලයක් නැහැ, කියා 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේ දී ඔප්පු වුණා. ඒ නිසා ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයක දී එජාපයට තියුණු පරාජයක් හිමිවන බව පැහැදිලියි. ඒහිදී ‘ජනපති ඝාතන චෝදනා, මූල්‍ය වංචා පිළිබඳ චෝදනා, ප්‍රභූ ඝාතනයන් සඳහා යොදාගත හැකි ස්නයිෆර් අවි අතුරුදන්වීමේ චෝදනා එල්ල වී ඇති පොලිස්පතිවරයා, එජාපය විසින් රකින්නේ ජන බලවේගයක් නැති තමන්ට 2019 පවත්වන මැතිවරණයකින් කුමන්ත්‍රණකාරී ලෙස දිනන්න අවශ්‍ය ඉඩ හදා ගන්න ද?’ යන පැනය අපට ඇති වෙනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

“මැලේසියා තානාපතිට ගුටි ඇන්නේ කොටි නෙවෙයි.. මහින්ද හිතවාදී ඩයස්පොරාවයි” – එජාප මන්ත්‍රී

colombotoday

“1948න් පසු ජාතිය අවදානම් මොහොතක” ජිනීවා අනතුර ගැන හිටපු ජනපති කල සම්පූර්ණ කතාව – Video

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව 9 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි !

colombotoday