Colombo Today Local News

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්දගෙන් උපදෙස්

ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේ අම්පාර, පොතුවිල්හි පිහිටි එම විහාරස්ථානයේ පෙරේදා (11 වැනිදා) කළ නිරීක්ෂණ චාරිකාවේදී ය. විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, වරකාපොළ ඉන්දසිරි නාහිමි, අක්කරේපත්තුව ශ්‍රී විජයරාමාධිපති දේවගොඩ සෝරත හිමි, බෞද්ධයා නාළිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාාන හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ. විහාරස්ථානයට අයත් භූමිය අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම පිළිබඳව පසුගිය ආණ්ඩු සමයේ විශාල ආන්දෝලනයක් පැවතිණි.

එම ගැටලු නිරාකරණය කරමින් මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර එය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ බලපත්‍රය ලබා දීමට අගමැති හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහින්ද රාජපක්ෂ තමන්ට උපදෙස් ලබා දුන් බව මෙම අවස්ථාවට එක් වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන කියා සිටි‍යේය. එමෙන්ම මෙම භූමිය ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම යටතේ නාවික හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කටයුතු කර තිබේ.

ඵෙතිහාසික මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමිය ආරක්ෂා කර දෙන ලෙසත්, නැගෙනහිර පළාතේ හඳුනා නොගත් පුරා විද්‍යා ප්‍රදේශ ආරක්ෂා කර දෙන ලෙසත්, මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළ‍ාතේ ප්‍රධාන සංඝ නායක වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2003 වර්ෂයේ මුල්ගල තැබූ ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ අග්‍රාමාත්‍යවරයාට දැන්වූහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, අම්පාර දිස්ත්‍රික් ලේකම් එන්.එල්. ඩබ්ලිව් බණ්ඩාරනායක මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්ව සිටියහ.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව සංචාරක පුරවරයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ වෙරළ ඛාදනය වන ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයා එක් විය.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday