Colombo Today Local News

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

ඒ 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වෙනි ඉරු දිනයි. එදින ඉරු දිනයක් මෙන්ම පොහොය දිනයක් ද වූ බැවින් වෙහෙර විහාරස්ථාන බොහෝ බැතිමතුන්ගෙන් පිරී තිබුණි. එමෙන්ම නත්තල් දිනට පසු දිනය වූ බැවින් බොහෝ කිතුනු බැතිමත්හු තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සතුටු සාමීචියේ යෙදී හුන් දිනය ද එය විය. සුපුරුදු පරිදි කාලය වියැකී යමින් තිබිණි. “මුහුද ගොඩගලනවා” යන අඳුරු බියජනක ආරංචිය අප සවන් වැකෙන්නට එතරම් කාලයක් ගත නොවුණේ ද එම පින්බර උඳුවප් පොහොයත් නත්තල් අසිරියත් පිරි දිනයක වීම ශෝකීජනකය.

මුහුද ගොඩගලන ආරංචිය එදා සවන් වැකුණු විට බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ එතරම් වැටහීමක් නොතිබුණි. එදා ශ්‍රී ලංකාද්වීපයේ මායා රට රජකම් කළ තිස්ස රජුගේ දියණිය වූ දේවී කුමරිය එනම් විහාර මහා දේවී සම්බන්ධ සිද්ධියත් සමඟ මුහුද ගොඩගැලීම පිළිබඳ ඉතිහාසගත කතා ප්‍රවෘත්තියක් අසා තිබුණ’මුත් මෙතරම් ජීවිත බිලිගන්නා රුදුරු ව්‍යසනයක් නම් අසා දැක නොතිබුණි.

පැය කිහිපයක් ගත වන විට මේ පිළිබඳ සියලු මාධ්‍ය මඟින් අනාවරණය කිරීමත් සමඟ ‘මුහුද ගොඩගැලීම’ යන වචනයට “සුනාමි” යන්න අප දෙතොලතරට පැමිණි බව ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ජපන් භාෂාවෙන් බිඳී ආ “සුනාමි” යන්න අපට එවකට අලුත් අත්දැකීමක් විය. නමුත් ජපන් ජාතිකයන්ට නම් එය අලුත් අත්දැකීමක් වූයේ නැත.

සුනාමි පිළිබඳ විමසන කල්හි එය ඇති වීමට හේතු වශයෙන් මුහුද යට ඇති වන භූමි කම්පාවන්, මුහුද යට ගිනිකඳු පුපුරා යාමකින් ඇති වන ලාවා නිකුත් වීම, අයිස් කඳු කඩා වැටීමෙන් ඇති වන ජලයේ කැළඹීම, විශාල උල්කාපාත කඩා වැටීමෙන් ඇති වන ජලයේ කැළඹීම යනාදිය සඳහන් කළ හැකිය. එදින ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි තත්ත්වයට හේතුව වූයේද මුහුද යට ඇති වූ භූමිකම්පාවක් ය. අනාවරණය වන පරිදි නම් එදින (2004.12.26) පෙ. ව. 6.58 සිට පසුදින ප. ව. 7.05 දක්වා රිච්ටර් මාපකයේ 6ට වඩා වැඩි භූමිකම්පා 28ක් සිදු වී තිබේ.

එයින් භූ කම්පන 9ක්ම සුනාමි ඇති වීමට ඍජු ලෙස බලපා තිබේ. පෙ. ව. 6.58 සිට ඇති වූ සුනාමි සංසිද්ධියත් සමඟ ඉන් ඇති වූ තරංග ඉන්දියන් සාගර කලාපයේ පැතිර ගොස් ශ්‍රී ලංකාවට පැමිණ‍ියේ පෙ. ව. 8.27ට පමණය. මෙහිදී කල්මුණේ ප්‍රදේශයට පැමිණි තරංගය කරකැවී ගොස් ලංකාවේ දකුණු වෙරළ තීරයත් මීගමුව කලාපයත් ගොදුරු කරගත්තේ මහා රකුසකු පරිද්දෙනි. පෙ. ව. 9.30 පමණ වන විට අවසන් රළ පහර ලංකාවට පැමිණ ඇත.

සුනාමි ව්‍යසනය අප රටට ව්‍යසනයක්ම වූවාට සැක නැත. දස දහස් ගණනකගේ ජීවිත හානි සිදු කරමින් දේපොළ හානි සිදු කිරීමට චණ්ඩ රළ පහරට ගත වූයේ නිමේෂයකි. ඒ ගත වූ නිමේෂය තුළ කොතරම් දෑ අපට අහිමි කරන්නට ඇත්ද? මවුපියන්ට තම දූ දරුවන් ද, දූ දරුවන්ට මවුපියන් ද, සැමියන්ට, බිරින්දෑවරුන්ද, බිරින්දෑවරුන්ට ස්වාමීන් ද ආදී වූ දස දහස් ගණනකගේ ලේ ඥාතීත්වය අහිමි කරමින් මෙලොව තනි වී අසරණ භාවයට පත් වූ අපේ ඥාති පිරිස් කොතරම් දැයි කිව‍නොහැකිය.

කෙසේ වුවත් එකම ජාතියක් ලෙස යළි නැගී සිටීමට සුනාමියෙන් අසරණ වූ ජනයාට පිහිටවීමට අනෙකුත් ජනයා ‍ෙනාපැකිලිව ඉදිරිපත්වීම පිළිබඳව මෙහිදී සටහන් තැබිය යුතුම වේ. ඇඳුම් පැළඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදෙමින් එදා ඔවුන් කළ ඒ සද්ක්‍රියාවන් නොවන්නට එකම ජාතියක් ලෙස ශ්‍රී ලංකා ද්වීපයේ යළි නැඟී සිටීමක් පිළිබඳව සිතන්නටවත් බැරි තරම් ය.

සුනාමිය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ ශ්‍රී ලංකා වැසියන් මේ රුදුරු ව්‍යසනයට මුහුණපෑවේ ඔවුනගේ නොදැනුවත් භාවය නිසා බව කිව හැකිය. සුනාමිය ඇතිවීමට පෙර මුහුද කිලෝමීටර ගණනාවක් සිඳී ගොස් තිබූ අයුරු, ප්‍රවෘත්ති වලින් ඔබට මතක ඇති. මෙහිදී ජනතාව කටයුතු කර ඇත්තේ නොවිමසිලිසහගත ලෙස බව පෙනී යන්නේ ඔවුන් සිඳී ගිය මුහුදේ මාළු ඇහිදීමට යාම මඟින් විපත ළඟා කරගත් නිසාවෙනි. මිනිසුන් කෙසේ වෙතත් සිව්පා සතුන් නම් මෙම ව්‍යසනය කල්තියාම දැන සිට ඇත.

නමුත් වර්තමානය වනවිට සුනාමි උවදුර පිළිබඳ ශ්‍රී ලංකා වැසියන්ට මෙන්ම ලෝ වැසියන්ට බියක් උපදවාගත යුතු නැත. පසුගිය සුනාමියෙන් පසු ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ පාකර යවා ඇති පාවෙන රිච්ටර් මාපක තුළින් මුහුදු වෙරළේ ඇති සුනාමි ආපදා මධ්‍යස්ථානවලට සන්නිවේදන නිකුත් කිරීම් සිදුකරනු ලැබේ. ශ්‍රී ලංකාවේද ගාල්ලේ බූස්ස, දිගන හා රත්නපුර යන නගරවල පිහිටුවා ඇති ආපදා මධ්‍යස්ථානවලින් පොලිසිය හරහා මහජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලැබේ.

අප රට සුනාමි ව්‍යසනයට ලක්ව අදට (26) වසර 11ක් ඉක්ම යමින් තිබේ. වර්තමානය වනවිට සුනාමියේ අළු ගසා එකම ජාතියක් විලස යළි අපි නැගී සිට ඇත. සුනාමියේ සුන් බුන් කොහේ කොතැනක වේ දැයි සොයාගැනීමටත් නොහැකි තරම් ය. විශේෂයෙන්ම අප රට සුනාමි ව්‍යසනයට ගොදුරු වූ රටක්දැයි කිවහැකි තත්ත්වයක් ද නොවේ. ඒ ශ්‍රී ලංකා වාසීන්ගේ එකමුතුකමේ ස්වභාවත්, පරෝපකාරී ගුණාංගත් නිසාවෙනි.

ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් විරුදාවලි ලද අප ලක් මාතාවට, මහ සයුර සමඟ ඇති බැඳීම පුදුමාකාරය. මහ සයුර රුදුරු රකුසකු විලස කොතරම් අපේ ජීවිතවලට, දේපොළවලට හානි පැමිණ වුවත් මහ ‍මුහුදට අපි වෛර නොකරන්නෙමු. ඒ මක්නිසාදයත් ලංකාවේ ජීවත්වන තවත් සෙසු පිරිසකගේ ජීවිතය නගා සිටුවීමට මහ මුහුද නිහඬ, නිසසල ව්‍යායාමයක නිරත වන බැවිනි.

Related posts

සිංහලයාගේ සමගිය තුලින් රටට එරෙහි බලවේග එකට තියා පරදවන්න හැකි වුනා. ලැබූ ජය සාමකාමිව සමරන්න – ඥානසාර හිමි පවසති.

colombotoday

ඇමති චම්පික “මව්බිමට” එරෙහිව දැමූ නඩුව හකුලා ගනියි

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

colombotoday

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday